free stats

දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට දෝතට පත් වන තෙක්ම ගතවන මවක් පසුවන්නේ දරුවා පිළිබඳ බියෙන්ය. දස මසකට පසු නිරෝගී දරුවෙකු දෝතට ගත හැකි නම් මව්වරුන් අසීමිත සතුටට පත්වේ. එහෙත් එසේ නොවීමෙන් දුකට පත්වන මව්වරුන්ද සමාජයේ නැතුවාම නොවේ. මේ සියල්ල මඟ හරවා ගනිමින් නිරෝගී දරුවෙකු ලැබීමේ සිහිනය මිලින නොවන්නට කටයුතු කළ හැකි බව කිවහොත් මව්වරුන් පුදුමවෙනවා නිසැකයි.

නීරෝගී දරුවකු ලැබීමේ සිහිනය මිලින වන අවස්ථා මොනවාද?

දරුවකු ජානමය ගැටලු සහිතව කුසෙහි වර්ධනය වන අවස්ථා ඇත. එවිට ශාරීරික අඩු පාඩු හේතු කොට ගෙන ජීවත්වීම අපහසු වන නිසා කුස තුලදීම අවධානමට ලක්වේ. බොහෝ අඩු පාඩු සහිතව උපත ලැබුවද ඇතැම් දරුවන් දීර්ඝ කාලයක් ජීවත් වන අවස්ථා ද ඇත. එසේම කුසේදී විෂ බීජ ආසාදනය වීම නිසා ද දරුවාගේ ජීවිතයට අවදානමක් ඇති වන අවස්ථා ඇත. කෙසේ වුවත් මෙම කාරණා සුලබව දැකිය නොහැකිය.

කුස තුලදී දරුවෙකුගේ වර්ධනය මැනිම සිදු කරන්නෙ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින්ය. ටේප් පටියක් ආධාරයෙන් බුද්නයේ උස මැනීම මගින් එම ප්‍රමාණය මැන බලයි. සති ගණනට සරිලන පරිදි බුද්නයේ උස නොමැති නම් දරුවාගේ වර්ධනය අඩු බව තීරණය කරයි. නමුත් මෙම දළ මිනුම් ක්‍රමය මගින් නිවැරදිව වර්ධනය අඩු දරුවන් හඳුනා ගැනීම අපහසුය.

තාක්ෂණික දියුණුව නිසා ස්කෑන් යන්ත්‍ර ආධාරයෙන් දරුවාගේ බර අනුමාන කල හැකියි. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැලපෙනවාදැයි විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයා ගත හැකිය. මෙම පරීක්ෂණයන් මඟින් සෑම සායන වාරයක දීම මවගේ උදරය පරීක්ෂා කිරීමකට ලක් කරයි. යම් හෙයකින් එවැනි අවස්ථාවක වෛද්‍යවරයාට දරුවාගේ වර්ධනය අඩු යැයි හැඟී ගියහොත් එවැනි මව්වරුන් විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යොමු කරනු ලබයි. එහි දී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවාගේ වර්ධනය ප්‍රමාණවත්වේද නොවේද යන්න තීරණය කරයි. දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් නොවේ යැයි තීරණය වුවහොත් සුදුසු පරිදි විශේෂඥ වෛද්‍ය සායනයේ වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කරයි. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයක් මගින් පරික්ෂා කිරීමකට ලක් කරයි. එහිදී අවදානම් තත්ත්වයන් හඳුනා ගතහොත් කලින් දරුවා බිහි කිරීමට නිර්දේශ කරයි. එසේ අවදානමක් නොමැතිනම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය නිසි ප්‍රමාණයකට පැමිණෙන තෙක් සිටිය හැකිය.

සාමාන්‍යයෙන් සති 34 පමණ වන විට වැදෑමහ මගින් දරුවාට ලැබෙන රුධිර සැපයුම අඩු බව තහවුරු කරගැනීම පහසුය. එහෙත් සති 38 න් පසු දරුවාගේ වර්ධනයට අවශ්‍ය පරිදි ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මවගේ වැදෑමහ මගින් දරුවාට ලැබේද යන්න තහවුරු කරගැනීම තරමක් දුෂ්කරය. එයට හේතුව වන්නේ මෙම අවදිය වන විට දරුවා සාමාන්‍යයෙන් ඒ වන විට තිබිය යුතු නියමිත බර සපුරා හොඳින් වැඩී සිටින නිසාවෙන්ය. යම් හෙයකින් මෙම අවදියේදී දරුවාට අවශ්‍ය පරිදි ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබුන හොත් දරුවා විසින් මොළයෙහි ක්‍රියාකාරීත්වයට වැඩි රුධිර සැපයුමක් යොමු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් අවයව වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් අවම හේතු කොට ගෙන දරුවාගේ ජීවිතය අවදානමකට ලක්වේ.

කායික වශයෙන් දුබල උපතක් සිදුවන්නට හේතූ සාධක කවරේද ?

පෙර දරු උපත් වලදී කායික වශයෙන් දුබල හෝ මල දරු උපතක් සිදුව ඇති මවකට නැවත පිළිසිඳගෙන සිටින දරුවාද එවැනි තත්ත්වයකට පත්වීමේ සම්භාවිතාවය වැඩිය. එම නිසා තම වෛද්‍යවරයාව කලින්ම ඒ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන් පෙර සිදු වූ නොමේරු දරු උපත් සහ ගැබ් වලිප්පුව පිළිබද අවධානය යොමු කල යුතු වේ. නොමේරු දරු උපත් යනු සති 34 පෙර දරු ප්‍රසුතිය සිදු වීමයි. ගැබ් වලිප්පුව යනු ගැබිනි සමයේ හදිසි ආබාධ තත්ත්වයකි. මෙම තත්වය මවට මෙන්ම දරුවාටද හානිකර විය හැකිය. මෙහිදී දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සීග්‍ර ලෙස අඩු වේ. තවද ඩවුන් සහ ලක්ෂණය සහිත දරු උපතක් කලින් සිදු වී ඇත්නම්, මෙවර ද එවන් දරු උපතක් සිදුවීමට ඇති අවකාශය වැඩි නිසා එවැනි මව්වරු ද අධි අවදානම් ලෙස හඳුනා ගනු ලැබේ.

■ මවගේ වයස අවුරුදු 40ට වැඩි වීම.
■ මවට අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයක් ඇතිවීම.
■ දුම් පානය (මව දුම් පානය කිරීම හෝ අක්‍රිය දුම් පානයට ගොදුරු වීම).
■ මවගේ බර අඩු වීම (මන්ද පෝෂණය).
■ මව අධික ලෙස ව්‍යායාම වල යෙදීම.

මව හරහා කුසේදීම විෂ බීජ ආසාදනයක් වීම හේතුවෙන් දරුවාගේ ජීවිතයට අවදානමක් ඇති වන අවස්ථා කුස තුල දී දරුවාට දැඩි ලෙසා හානි කරන ආසාදන අතර රුබෙල්ලා, පැපොල, ටොක්සොප්ලාස්මා සහ සයිටොමෙගලො වෛරස් ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

රුබෙල්ලා

මෙම ආසාදනයෙන් මිදීමට නම් ගැබ් ගැනීමට පෙර ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගත යුතුයි. රුබෙල්ලා එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දරුවන්ට ලබා දෙන බැවින් එයින් වන බලපෑම් අද වන විට බෙහෙවින්ම අඩුය. මෙම එන්නත ලබා නොගත් කාන්තාවක් නම් එන්නත ලබා ගත යුත්තේ ගර්භණී වීමට මාස තුනකට පෙර බව තරයේ මතක තබාගන්න. කෙසේ වුවත් ගර්භණී සමයේ මුල් අවධියේ දී එනම් සති 13 ට අඩු කාලයේ දී මවගෙන් මෙම වෛරසය දරුවාට ඇතුලු වුවහොත් දරුවාගේ මොලය කුඩා වීම, මන්ද බුද්ධිකතාවය, ඇසේ සුද, අසාමාන්‍ය ලෙස කුඩා ඇස්, හදවතේ සිදුරු, බිහිරි බව, තයිරොයිඞ් හෝමෝනය අඩු වීම, මොලය ඉදිමීම හා දියවැඩියාව ආදී රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකියි.

පැපොල

සති 20 ට අඩු ගර්භණී කාලයේ දී මවට පැපොල වැලඳුනහොත් 1% ක් පමණ කුස තුල සිටින දරුවාට ද වෛරසය බලපෑ හැකියි. මේ වෛරසය නිසා දරුවාගේ මොලයේ කුටීර විශාල වීම, මොළයේ පිටත ස්ථරය කුඩා වීම, මන්ද බුද්ධිකතාවය, ළමා කාලයේ දීත් ඉබේම මුත්‍රා හා මල පහ වීම, සමේ විශාල කැලැල් ඇති වීම, ඇස් අසාමාන්‍ය ලෙස කුඩා වීම, ඇසේ සුද, අත් පා කෙටි වීම, අක්මාව හා පෙනහළු ප්‍රදාහය ඇති විය හැකියි. ගර්භණී සමයේ අවසාන කාලයේ, ප්‍රසූතියට දින කිහිපයකට පෙර මවට පැපොල වැළඳුනහොත් දරුවා ඉපදුන පසු සහ ප්‍රතිදේහ ලබා දීමට සිදු කරයි.

සයිටොමෙගලො වෛරස්

අසාදිත පුද්ගලයකුගේ කෙල, මුත්‍රා ආදී ශ්‍රාවයන්ගෙන් තවත් පුද්ගයකුට වෛරස් ශරීරගත වේ. ගැබිනි මවක් ආසාදනයට ගොදුරු වුවහොත් කුස තුල සිටින දරුවාගේ අක්ෂි ආබාධ, මොළයේ කැල්සියම් තැන්පත් වීම, බිහිරි බව, මොළය කුඩා වීම, මන්ද බුද්ධික බව, අක්මාව හා ප්ලීහාව විශාල වීම සිදු විය හැකිය.

ටොක්සොප්ලාස්මා

අපිරිසිදු වූ ආහාර වලින් හා බළලුන්ගේ මල පහ හේතුවෙන් මෙම ආසාදනය ඇති විය හැකිය. මෙම ආසාදනය හේතුවෙන් උණ, ඇඟ පතේ වේදනාව හා කුද්දටි ඉදිමීමක් සිදු වේ. මවගෙන් දරුවාට මෙම ආසාදනය ගියොත් දරුවගේ මොලයේ කැල්සියම් තැන්පත් වීම, මොලය කුඩා වීම, මොලයේ කුටීර තුල මස්තිෂ්ක සුෂුම්නා තරලය එකතු වීම, අපස්මාරය හා අක්ෂි ආබාධ ඇති විය හැකිය. මෙම ආසාදනයේ හානි වැඩි වන්නේ ගර්භණී සමයේ මුල් අවධියේ දී යි. මෙම වෛරසය ශරීරගත වීම වැලැක්වීම ඉතා වැදගත් වන අතර මවට ප්‍රතිජීවක ලබා දීමෙන් හානිය අවම කර ගත හැකියි.

නිරෝගී දරු සම්පතකට පෙරුම් පුරන ඔබ මෙම කරුණු කාරණා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් දස මසකට පසු ඔබේ සිහිනය නීරෝගීව විකසිතව වනු ඇත.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය ටිරාන් ඩයස් මහතා

සටහන දිශාන්ති වෙදගේ