free stats

ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි ඉන්නවා මිස තාම නිදාගත්තේ නැද්ද? හරියට බඩගිනි වෙලා වගේ අතත් කටේ දාගෙන, ඒ මදිවට හොරෙක් වගේ චූටි කටෙන් හෙමිහිට හිනා වෙනවා. ඔව් ඉතින් හිනා වෙන්නම වැඬේ නේ. මේ හොර ගෙඩියා අම්මගෙයි තාත්තාගෙයි නින්දත් නැති කරලා.”

පුංචි පැටවුන්ගේ නින්ට කිසිම පිළිවෙලක් නැහැනේ. එයාලා තවම නින්ද ගැන දන්නේ නැහැ. වැඩිහිටියන් ට වගේ හිතුනු වෙලාවට තනියම නිදාගන්න බැරි නිසා බබෙකුගේ නින්ද ගැන විශේෂ අවධානයක් අවශ්‍ය වනවා. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැටියාගේ පිළිවෙලක් නැති නින්දට උදව්වක් වෙන්නේ කොහොම ද කියන කාරණය ගැනයි. …… මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා කියන මේ කතාව හොඳින් කියවා බලන්න. ඔබට අලුත් අදහස් කිහිපයක් ම ගන්න පුළුවන් වේවි.

පිළිවෙලක් නැති නින්දක් නේ…….

වෛද්‍යවරු නම් කියන්නේ දවසකට පැය දාසයක් දාහතක් නිදාගන්නවා කියලානේ. ඒත් පැටියා මේ පැය ගණන එක දිගටම නිදාගන්නේ නැහැ. එයාට හිතුනාම පැය දෙකක් විතර එක දිගට නිදාගෙන ආයෙම ඇහැරෙනවා. ඊට පස්සේ ටිකක් අඩලා බඩ පිරෙනකල් කිරි බීලා ආයෙත් ඇස් පොඩි කරලා නිදාගන්නේ අම්මාට හොඳම වදයක් දුන්නට පස්සේ. පැටවුන්ගෙන් 99% ක්ම රාත්‍රියට වැඩිවේලාවක් නිදාගන්නවා. රාත්‍රියට නම් පැය දෙකත් හතරත් අතර කාලයක් නිදාගන්න පැටියා සමහර වෙලාවට රෑ මැද දී ඇහැරෙනවා. මේ අයගේ නින්ද හෝ නින්දේ ප්‍රමාණය ගැන කියන්න බැහැ. පොඩි පොඩි පැය ගණන් තමයි නිදාගන්නේ. නමුත් සති හතරක් හෝ හයක් ගෙවුණට පස්සේ රෑට ලොකු නින්දකට වගේම දහවලට පුංචි නින්දකටත් හුරු වෙනවා.

පැටියා රෑ මැද ඇහැරිලා

හුඟක් වෙලාවට මෙහෙම ඇහැරෙන්නේ නැපිය තෙත් වුණාමයි. නැපිය මාරු කරලා පිරිසුදු කළාට පස්සේ කිරි ටිකක් බීලා පැටියා ආයෙමත් නිදාගන්නවා. බඩගිනි වුණාමත් බබා ඇහැරෙනවා. නමුත් ඇඟිලි කටේ දාගන්නවා එහෙමත් නැත්නම් රෙදි කෑල්ලක කොනක් හපනවා ඇරෙන්න පැටියා අඬන්නේ නැහැ. එයා අඬන්නේ මුත්‍රා හෝ මල පිටවීමෙන් ඇතිවෙන තෙත් ගතිය සහ අපහසුතාවය නිසා විතරයි.

බඩගිනි ද දන්නෑ. ඇහැරවලා කිරි දෙන්නද

පැය දෙකෙන් දෙකට නිදාගෙන ඉන්න බබාව ඇහැරවලා කිරි දෙන්න කරදර වෙන්න ඕන නැහැ. ඒක නින්දට බාදාවක්. බබෙකුට කිරි වගේම නින්දත් හුඟක් වැදගත්. නින්ද වෙහෙස මහන්සිය නැති කරනවා වගේම මොළයට අවශ්‍ය රුධිරය නිසි පරිදි සපයන්නත් හේතුවක්. අපි වුණත් හොඳ නින්දක් අතර මැද ඇහැරවනවට කැමති නැහැනේ. බබාලත් එහෙමයි. එක දිගට හොඳ නින්දකට පැටියාව හුරු කරන්න ඕන නම් නිදාගන්න කලින් හොඳට කිරි පොවලා පැටියාව නිදිකරවන්න. අතර මැදදි බඩගිනි වෙලා ඇහැරුනොත් විතරක් කිරි දෙන්න.

මේ දවල් ද රෑ ද?

බබාට රෑ සහ දවල් කාලය අතර වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතින් රෑට හොඳ නින්දක් ඕන නම් මුලින්ම එයාට රාත්‍රිය සහ දහවල අතර වෙනස වටහා දෙන්න වෙනවා. දවල් කාලෙට කාමරේ හොඳින් එළිය වැටෙන්න සලස්වලා පුංචි පුංචි ලස්සන සද්ද ඇහෙන්න දෙන්න. බබා එක්ක සෙල්ලම් කරද්දි එයා කොහොමටත් දවල්ට නිදාගන්නේ නැහැ.

ඒ වගේම රෑට කාමරය අඳුරු ගතියෙන් තියෙන්න ඕන. සද්ද අඩුකරලා බබාට නිදාගන්න දුන්නා නම් එයා කාලයක් යද්දි රෑ සහ දවල් වෙනස හොඳින් අඳුනගන්නවා. නිදාගන්න ක්‍රමය යහපත් නම් බබා සෞඛ්‍ය සම්පන්න බබෙක් වෙනවා.

මේ කියන්නේ නිදිමතයි කියල ද?

ඇස් පොඩි කරලා ලොකු ඈනුමක් යවලා වටපිට බැලුවද? එහෙනම් බබාට නිදිමත හැදිලා තමයි. කන් දෙක දෙපැත්තට ඇදලා, අඬනවා නම් පැටියා ඉන්නේ ලොකුම ලොකු නිදිමතක. අම්මයි තාත්තයි දෙන්නම පැටියාගේ මහන්සිය, නිදිමත ගැන වගේම එයාගේ සංඥා ගැනත් හොඳ අවධානෙන් ඉන්න ඕන. බබා හැමවිටම නිදාගන්න ඕන සිහියෙන් ඉන්න විටයි. හොඳටම නිදිමත හැදිලා මහන්සි වෙලා නිදාගන්න එක ඒ තරම් සුදුසු නැහැ. ඒ වගේම එයාට නිදාගන්න එකම වෙලාවක් හුරු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට කාලයක් යද්දි බබා පුරුද්දට වගේ ඒ වෙලාවටම නින්දට යනවා.

අම්මේ මගේ කාමරේ ලස්සනයි ද?

පැටියා නිදාගන්න කාමරයත් එයාගේ නින්දට හේතුවක්. කාමරය විවිධ බඩු බාහිරාදිය නැති ඉක්මනින් අතුගාන්න අස් කරන්න පුළුවන් තැනක් වීම අනිවාර්යයි. ඒ වගේම දිනකට දෙවතාවක් මොබ් කරන්න පුළුවන් නම් විෂබීජ හරනය කිරීම පහසු වනවා. පිරිසුදු ඒ වගේම නිදහස් පරිසරයක් පැටියාගේ මනස සැහැල්ලු කරන්නට හේතුවක්. ලස්සන පින්තූර අලවලා තවත් ටිකක් කාමරය ලස්සන කරන්නත් නිර්මාණශීලි අම්මා කෙනෙකුට පුළුවන්. කාමරයට හොඳ වාතාශ්‍රයක් වගේම හිරු එළිය හොඳින් ලැබීමත් අත්‍යවශය වනවා. අනතුරු අඩු ආරක්‍ෂා සහිත වටපිටාවක් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

මම වෙනම නිදාගන්න ද?

යුරෝපා රටවල අලුත උපන් දරුවන් වෙනම නිදිකරවිය යුතු බවට මතයක් පවතිනවා. අපේ රටෙත් වෛiවරු මේ ගැන කිව්වට අම්මලා නම් තමන්ගේ උණුසුමෙන් පැටියාව ඈත් කරන්න කැමති නැහැ. නමුත් දරුවෙක් වැඩිහිටි වියේ දී ස්වාධීනව වැඩෙන්නට නම් කුඩා කාලයේ ඉදන්ම තනිව වැඩීම සිදුවිය යුතුයි. ඒ නිසා පැටියාව තනියම නිදිකරවන්න බෑ කියලා හිතෙනවා නම් නිදන ඇඳටම සම්බන්ධ වුණු පුංචි කොට් එකක නිදිකරවන්න.

සටහන චාපා හංසිනි ආටිගල

විශේෂඥ ෙෙවද්‍ය ඉන්දික සේනාරත්න