free stats

“අපේ බබා ඔයාගේ බබාට වඩා මිටියි ද මන්දා අනේ”

සමාධි එයාගේ බබා දිහා බලාගෙන තාරකා එක්ක කිව්වේ දුකෙන්

“එහෙම දෙයක් නෑ අනේ. ඔයත් මහ ලොකු උසක් නැහැනේ.”

“නෑ අනේ බබාගේ වර්ධනය වෙනුවෙන් මම මහ ලොකු දෙයක් කලේ නැහැ. මට හිතට හරි නැහැ ඒ නිසා.”

“සමහර විට බබාගේ අස්ථි වර්ධනයේ ගැටළුවක් ද කියලත් හිතෙනවා.”

“එහෙම වෙන්න විදියක් නැහැනේ.”

“මම ඒ වෙනුවෙන් මොනවත්ම කළේ නැහැනේ”

“එහෙම මොනවත් කරන්න ඕන නැහැ. බබා සාමාන්‍යයෙන් කරන ක්‍රියාකාරකම් ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්”

පැටියෙක් ඉපදුනු දවසේ ඉදලම අම්මා කෙනෙකුට තියෙන්නේ පුදුම කුතුහලයක්. එයාගේ වර්ධන සිදුවෙන්න ඕන කොහොමද, ඒ වෙනුවෙන් එයා කන්න ඕන මොනවද කියන දේ ඇරෙන්න අම්මා කෙනෙකුට හිතන්න වෙන කිසිම දෙයක් නැහැ. පැටියාගේ අස්ථි ශක්තිමත් කරන්නේ කොහොමද, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද මේවා තමයි අම්මා කෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්න වෙන්නේ. තාක්‍ෂණයත් එක්ක ඉන්න අම්මා කෙනෙක් නම් ගූගල් එකට ගිහින් පරීක්‍ෂා කරලා බලන්නත් පෙළබෙනවා. අන්න ඒ නිසාම අපි හිතුවා ඇත්තටම බබාගේ වර්ධනය ගැන අම්මා මේ තරම් කලබල වෙන්න ඕනද කියන කාරණය ගැන කතා කරන්න.

අස්ථි වර්ධනයට මව්කිරි

බබාගේ අස්ථි වර්ධනය ගැන හිතන අම්මා කෙනෙකුට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි බබාට හොඳින් මව්කිරි දෙන එක. අස්ථි වර්ධනයට වඩාත් වැදගත් වෙන කැල්සියම් සහ පොස්පේට් අඩංගු මව්කිරි මාස හයක කාලයක් නිසි පරිදි නොකඩවා ලබා දීම ඉතාම වැදගත් වනවා.

ආහාර ලබාදීම

මාස හය සම්පූර්ණ වුණු සෑම බබෙක්ම මව්කිරිවලට අමතරව අතිරේක ආහාරත් ගන්නවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ බත් තලප කියන්නේ මෙන්න මේ අතිරේක
ආහාරවලටයි. වයස අවුරුද්ද සම්පූර්ණ වෙද්දි බබා සාමාන්‍ය වැඩිහිටියන් ගන්නා
විදියේ ආහාර වේලකට යොමු කිරීම මෙයින් අපේක්‍ෂා කරනවා. මාස හයක කාලයක් මව්කිරි දෙන්න කිව්වත් සමහර මව්වරුන් රැකියා සඳහා යන නිසාත්, සමහර විට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදිත් මාස පහේදි පමණ අතිරේක ආහාර සඳහා යොමු වනවා.

ක්‍රියාකාරකම්වලට ඉඩ දෙන්න

පැටියාගේ ක්‍රියාකාරකම්වලට ඉඩ දීම අස්ථි වර්ධනය සඳහා ඉතාම වැදගත් වෙනවා. මුණින් අතට පෙරලීම, අත් පා ගැසීම, හිස සෙලවීම වගේ ක්‍රියාකාරකම් නිසා පැටියාගේ අස්ථිවලට ව්‍යායාම ලැබෙනවා. පැටියා ගේ අස්ථි සවිවෙන්න විශේෂ ව්‍යායාම අවශ්‍ය නැත්තේ ඒ නිසයි. සෙමින් අල්ලාගෙන නැගිටීම, පියවර කිහිපයක් ඇවිදගෙන යාම වගේ ක්‍රියාකාරකම් තුළින් එයා තනිවම අස්ථි වර්ධනය සඳහා සහය ලබාගන්නවා.

විටමින් A

අස්ථි වර්ධනය සඳහා විටමින් A ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විටමින් ලබාගත හැකි පහසුම ක්‍රමය වන්නේ හිරු එළියට නිරාවරණය වීමයි. කුඩා දරුවන් එළියෙ සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වන නිසා හිරු එළියට නිරාවරණය වීම ඉතාම පහසුයි.

තනිව ආහාර ගන්න ඉඩ දෙන්න

අවුරුදු එක හමාරෙන් පසුව තනිව ආහාර ගැනීමට හුරුකරවීමත් වැදගත් වෙනවා. එවිට දරුවා තනිව කැබලි ආහාර අහුලා ගැනීම මෙන්ම හැදි භාවිතයෙන් ආහාර ගැනීමත් වර්ධනයේ වැදගත් පියවරක්. එයින් උපකරණ භාවිතයට දරුවා හුරුවන අතර අතැගිලි වලට ලැබෙන ක්‍රියාකාරකම් ස්නායු අතර සබධතා වර්ධනයට වැදගත් වනවා.

දරුවාගේ වර්ධනය සඳහා ආහාරවල පෝෂණයත් ඉතාම වැදගත් වනවා. එහිදි මේදය අඩංගු ආහාර, පිෂ්ඨය, ඛනිජ ලවන ආදී පෝෂක දරුවා වෙත හොඳින් ලැබේ නම් හොඳ වර්ධනයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. නමුත් ලේසිය පහසුව ගැන සිතා කෘතිම ආහාර ලබාදීම නම් අනුමත කරන්න බැහැ. ඒ වෙනුවට පහසුවෙන් සකසාගත හැකි පෝෂ්‍යදායි ආහාර ඕනෑතරම් තිබෙන නිසා හොඳ පෝෂණයක් ලබාදීම පහසුයි. දරුවා කෘතිම ආහාරවල රසයට ඇබ්බැහිවන නිසා ඉන් පසු වෙනත් පෝෂ්‍යදායි ආහාරවලට හුරුකරවීම ඉතාම අපහසුයි. එමෙන්ම අධික ලුණු සහ අධික සීනී සිරුර කිසිසේත්ම සුදුසු නැහැ. දරුවාගේ වර්ධනය ගැන අවධානයෙන් සිටින මව්වරුන් ඒ පිළිබඳව වඩාත් සිතිය යුතුයි.

සටහන චාපා හංසිනි ආටිගල