ගර්භණී බව ස්වභාව ධර්මය විසින් දායාද කරන ලද්දක් විනා රෝගයක් නොවේ. එමනිසා ගර්භණීව සිටින කාලයේ පවා කාන්තාව සාමාන්‍ය ජීවිතය පවත්වා ගැනීමට උත්සහ කිරීම වැදගත්.විශේෂ කොට අවශ්‍ය වන්නේ මනා සුපරීක්ෂාකාරිත්වය, නිසි පෝෂණය සහ සතුටෙන් කල් ගෙවීමයි. එක් සුළු අතපසුවීමකින් ජිවිතය පුරා පසුතැවිලිවීමට හේතුවක් සාදා නොගනු පිණීස මේ වගකීම ගර්භණී මවට, ඇගේ සැමියා ඇතුළු පවුලේ ඥාතීන්ටද පැවරෙයි. තනිව ගැබිණියට මෙම නව තත්වයට මුහුණූ දීමට ඉඩහැර වෙනදා මෙන්ම ඇගේ සේවය පෙර අයුරින්ම බලාපොරොත්තු නොවීමට පවුලේ අනෙකුත් සාමාජිකයන් වගබලා ගැනීම වැදගත්ය.
මව ගර්භණී වූයේ දෙවන හෝ තුන්වන වතාවට නම් වැඩිමහල් දරුවන් නව සාමාජිකයා පිළීගැනීම සඳහා සූදානම් කිරීම මව්පියන්ගේ අනිවිර්ය වගකීමක් වෙයි. අලුතෙන් පවුලට එකතුවන ඔවුන්ගේ බාල සහෝදරයා පිළීබඳ චිත්‍රයක් ඔවුන්ගේ සිතේ අන්දවා එය ඔවුන් ලවා වර්ණ ගැන්වීමට අවශ්‍ය පසුබිම මව්පියන් කළ යුතු වේ. මවගේ අපහසුතා පිළිබඳ ඔවුන්ට වැටහෙන පරිදි කියාදියුතු වේ. ඔවුන් වෙනුවෙන්ද මව මේ අයුරින්ම කාලය ගතකළ බව ඔවුන්ට කියා දීම වැදගත්ය. මේ සඳහා තාත්තාට කළ හැකි දේ විශාලය. දරුවන්ගේ වයසට අනුව ඔවුන්ට කළ හැකි සුළු කාර්යයන්, රාජකාරි පැවරීමට උත්සහ කිරීම කළ යුතු වේ. එසේ කිරීමෙන් දරුවන්ට ස්වාධින වීමේ පාඩම කියාදීම ආරම්භ කළ හැකිය. එම
පුහුණුව මවට පහසුවක් ඇතිකරනු ඇත.
“අම්මා මල්ලි කෙනෙක් ගේනවා ඔයාලට. එයා ඉන්නෙ අමමගෙ බඬේ. ඒ නිසා අම්මට නැවෙන්න අමාරුයි. පුතා මේ සපත්තු අර රාක්කෙන් ලස්සනට තියන්න“
“ ඔයාගේ කිළුටු ඇඳුම්, කිළුටු කූඩයට දාන්න හොඳ පුතා වගේ“
“ එන්න අප්පච්චි අද පුතාට කත්න්දරයක් කියන්නම් දොයිය ගන්න“
“ ඔයාගේ සෙල්ලම් බඩු ටික එකතු කරලා බාස්කට් එකකට දාන්න පැටියෝ“
මේ අයුරින් කුඩා දරුවාට ඔහුට කළ හැකි වැඩ පවරා දීමත් ඔහු එය ඉටු කල විට ප්‍රශංසා කිරීමත් ඉතා වැදගත්ය. ආදරෙන් තුරුළු කරගනිමින් සිප ගනිමින් ඔහුව අගයන්න.
“හොඳ පුතා. ඔයා දැන් ගොඩක් දේවල් කරන්න දන්නවා. මගේ පුතා හපනා“
“ හොද පුතා , ස්තූතියි. ඔයා අම්මට උදව් කරනවා. මම මල්ලි ආපුවාම කියනවා අයියා කොච්චර අම්මට උදව් කරාද කියලා“
මෙසේ නව සාමාජිකයා ගැන දරුවාට වැටහෙන අයුරින් පහදා දීම ඉතා වැදගත්ය. නිදසුනක් ලෙස නව සාමාජිකයා බිහිවූ පසු ඔහු ලොකුවන්නේ මවගේ කිරි බීමෙන් බවත් හැමෝම ලොකු වන්නේ ඒ අයුරින් බවත්. ඔවුන් ලොකු වූයේද ඒ අයුරින් වටහා දෙන්න. ළඟදී නිවසට එන මල්ලීට කිසිවක් තනියෙන් කරගැනීමට නොහැකි බැවින් ඒ සියල්ල අම්මා ඔහුට කරදිය යුතු බවත් ඒ සදහා අයියා උදව් කළ යුතු බවත් පවසන්න.
මෙසේ දරුවා සූදානම් කිරීම නිසා නව සාමාජිකයා නිවසට පැමිණී පසු නිවසේ
සැමගේම අවධානය ඔහු වෙත යොමුවීම, මව වැඩි කාලයක් බිළිඳා සමග ගත කිරීම, මව බිළිඳාට කිරිදීම, බිළිඳා බැලීමට නෑහිත මිතුරන් තෑගි රැගෙන ඒම ආදිය නිසා වැඩිමල් සොයුරාගේ හිත තුළ දුක, කාංසාව වැනි හැඟීම් මතු නොවෙයි. ඒ අවස්ථාව තමා උපන්විටත් තිබූ බව මව පැවසූ බව ඔහුට මතක් වෙයි.
එහෙත් නෑහිතමිතුරන් පැමිණී සෑම අවස්ථාවකම වැඩිමල් දරුවාත් ළංකරගැනීමටත් ඔහු පිළිබඳව අමුත්තන් ඉදිරියේ ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමත් වැදගත්ය. එමගින් ළදරු සිතේ ඇතිවිය හැකි “සහෝදර එදිරිය“ නම් වූ මානසික ආතතිය ඇති නොවනු ඇත. මෙම සූදානම මව්පියන් විසින් සිදු නොකළහොත් වැඩිමහල් දරුවා , අලුත උපන් බාල සහෝදරයා සමග අමනාපවීම, ඊර්ෂ්‍යා සහගත වීම, ඔහුට රිදවීම, ඔහුගේ
රාජකාරිත් මව කළ යුතුයැයි බලකිරීම, තමාට වැඩි අවධානයක් දිනා ගැනීමට වෙනදා නොකළ දඟකාරකම් හෝ අකීකරුකම් කිරීම, කෝපවීම, ආවේගශීලීවීම සහ නිතර දුකෙන් පසුවීම වැනි ලක්ෂණ ඇතිවිය හැකිය.
අධ්‍යාපනය ලබන්නෙක් නම් ඒවායින් බැහැරවීම, වෙනදාට වඩා පාඩම් කටයුතු දුර්වලවීම සිදුවිය හැකිය. එය පසුකාලීනව වෙනත් මානසික සංකුළතාවලටද හේතු විය හැකි බැවින් පවුලේ සාමාජිකයන් වැඩිමහල් දරුවාට වෙනදා කළ සැලකීම නොවෙනස්ව තබාගැගීමටත්, ඔහුට සහෝදරයා සමග සිටිමින්
සහෝදරයාගේ තත්වය අවබෝධ කරගැනීමටත් ඉඩ ලබාදීම වැදගත්ය. නව සාමාජිකයා බැලීමට නිවසට තෑගි බෝග ගෙන පැමිණෙන නෑයන් වැඩිමහල් දරුවා සමග පළමුව කතාකිරීමට යොමුකරවීමත්, ඔහු වෙනුවෙන්ද ත්‍යාගයක් සූදානම් කරතබා අමුත්තන් අතට එය රහසේ ලබා දී එය දරුවාට දීමට සැලැස්වීමෙන් වැඩිමහල් දරුවාට ඔහුගේ තත්වය, ඔහුට ඇති පිළිගැනීම ගැන සතුටක් ඇතිවනු ඇත.
සමහර මව්පියන් නව බිළිඳා ඉපදීමට පෙර දින දක්වා වැඩිමහල් දරුවා තම තුරුලේ නිදි කරවා නව සාමාජිකයා පැමිණී විගස දරුවා එතැනින් ඉවත් කිරීම කරනු ලබයි. එය දරුවාගේ සිත බලවත් සේ පාරවන්නක් බැවින් එසේ නොකර නව සාමාජිකයා තොටිල්ලක තබන්නට හැකි නම් අගේය.
මේ අයුරින් පවුලට පැමිණෙන නව සාමාජිකයා පවුලේ අනෙක් දරුවන් විසින් ද ආදරයෙන්
පිළිගැනීමට සූදානම් කිරීම මගින් නිවස තුළ ඇතිවිය හැකි අමිහිරි වාතාවරණ අවම කිරීමට මග පාදා ගත හැකිය. මව්පියන් වැඩිහිටියන් මනා ඉවසීමකින් සහ අවබෝධයකින් මේ කටයුත්ත සිදුකල යුතු වේ. සමහර වැඩිහිටියන් විහිලු තහලු මගින් දරුවන් කෝප කර දුකට පත්කර සතුටක් ලැබීමට කැමතිය. නිදසුනක් ලෙස
“දැන් අපිට ඔයා ඕන නෑ . අපිට ඉන්නවා ෂෝක් මල්ලියෙක්. එයා ඔයා වගේ කළු නෑ. සුදුම සුදුයි“
ආදී වශයෙන් පවසනු දක්නට ලැබේ. මෙවන් කතා මගින් කුඩා හිත පෑරෙන ප්‍රමාණය පිලිබඳ වැඩිහිටියන්ට අවබෝධයක් ඇත්නම් එය කිසි දිනක සිදු නොකරනු ඇත.
ඉහත ප්‍රකාශය තුළ කොන් කිරීම, අවතක්සේරු කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම ගැබ්ව ඇත. කුඩා කළ දරුවෝ ආදරය, අවධානය සහ පිළීගැනීම ලැබීමට මහත් කැමැතෝය. එවන් විටෙක මෙවන් ප්‍රකාශයක් ඔවුන්ගේ ළමා සිතට ඇති කරන විපත අතිමහත්ය. එමනිසා එවන් සිදුවීම නොවන්නටත් වගබලා ගැනීම පවුලේ යුතුකමකි.
ලෝකයට දරුවන් සම්පතකි. එම සම්පත ආරක්ෂා කරගැනීම මව්කුස පිළිසිඳ ගැනීමටත් පෙර සිට අප සූදානම් විය යුතුය. පුහුණූ විය යුතුය. ඒ ගැන කියවිය යුතුය. ලෝකයට ආදරය කරන මිනිසුන් බිහිවන්නේ එසේවීමෙනි. අපගේ ළමාකාලයේ මානසිකව බලපෑ යම් අඩුලුහුඩු කම් තිබුණද අපගේ දරුවන්ටද එය ලැබීමට අවශ්‍ය නැත. එහෙත් අප සුන්දර ළමාවියක් ගත කලේ නම් ඒ සුන්දරත්වය දරුවාට ලබාදීම සෑම මවකගේම පියෙකුගේම අපේක්ෂාව විය යුතුය. ඒ සඳහා කායික සුව පහසුව සහ සැප සම්පත් ප්‍රණීත
ආහාර පාන පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නැත. දරුවාට වැඩිහිටියන්ගෙන් මානසික සංවර්ධනයට අවැසි ආදරය, පිළිගැනීම සහ රැකවරණය අනිවාර්යයෙන් ලැබිය යුතුවේ. මේ කාරණා තුන නිසි අයුරින්
නොලබන දරුවෝ ජීවිතයේ පසුකාලීනව පෞරුෂ ඌනතාවලට, පසුබෑම් වලට ලක්ව පීඩා විදිනු උපදේශනයේදී බහුලව අත්දකින ශෝචනීය තත්වයකි.
එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා