මාපිය ඔබ මේ ගැන සැලකිලිමත් වන්න.
සටහන – වෛද්‍ය අරුණි ලියනමාන
දරුවෙකු බිහි කිරීම මාපිය ඔබේ සුන්දර සිහිනයක්. නමුත් එය සැලසුමක් නොමැතිව සිදුකිරීම එතරම් නුවණැති ක්‍රියාවක් නොවෙයි. “දරුවා” ප්‍රවේශමෙන් කළයුතු ඉතා වැදගත් ව්‍යාපෘතියක් මිස ඔබ විවාහ වූ පමණින් කරන්නන් වාලේ නොසැලකිලිමත් ලෙස කළයුතු හුදු කාර්යයක් නොවෙයි. පසුගිය සමයේ දරුවන් බිහිකිරීම හා රැක බලාගැනීම පිළිබඳ සිදුවූ විවිද සිදුවීම් සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. ඒවායින් සමහරක් අපව දැඩිලෙස කම්පනයට ලක් කළා. එහෙයින් මේ පිළිබඳ යම් මගපෙන්වීමක් ලෙස මෙම සටහන තබන්නට අප කල්පනා කළා.
- වගකීම් හා කාර්යයභාරයන් බෙදා ගැනීම.
දරුවෙකු බිහිවීමත් සමග වගකීම් රාශියක් මාපිය, වැඩිහිටි ඔබ වෙත පැවරෙනවා. එය තරමක් වෙහෙසකර දින චර්යාවක්. එක් පාර්ශවයකට පමණක් දරුවාගේ සියලු කටයුතු පැවරීම නුසුදුසුයි. දරුගැබ දරන්නට පුලුවන් කාන්තාවට පමණක් වුවත්, අනෙක් බොහොදේ දෙදෙනා අතර බෙදාහදා ගත හැකියි. දරුවා නිදිකරවීම, නෑවීම, කැවීම (මව්කිරි දීම හැර), ඩයපර මාරු කිරීම, රැකබලා ගැනීම ආදිය උදාහරණ ලෙස දක්වන්නට පුලුවන්. දරුවා බිහිවීමට පෙර මේ පිළිබඳව පූර්ව එකඟතාවයට පැමිණ සිටීම වැදගත්. මින් අදහස් වන්නේ එක් අයෙක් නිශ්චිත වැඩකොටසක් පවරා ගෙන, ඒවා පමණක් ඉටුකර ඉන් පරිබාහිර කිසිවක් නොකර සිටීම නොවෙයි. තම සහකරුවා/සහකාරිය සම්බන්ධයෙන් සහකම්පනයක් සහිතව එකිනෙකාට උදව් උපකාර වන පරිදි අන්‍යෝන්‍ය අවබෝධයකට පත්වීමයි. බොහෝවිට ඔබ දෙදෙනාගෙන් එකඅයෙක් හෝ ඇතැම්විට දෙදෙනාම රැකියාවක නියුතු වනවා ඇති. මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වා වැඩකටයුතු කළමනාකරණය කරගැනීමට ඔබ දෙදෙනා දක්ෂ විය යුතුයි. ගෙදරදොරේ වැඩ සමග දරුවෙකු රැකබලා ගැනීමද සුලුකොට තැකිය නොහැකි ඉතා වෙහෙසකර කාර්ය්යක් බව මෙහිලා සිහිතබා ගැනීම වැදගත්.
- දරුවා රැකබලා ගැනීම.
මෙය මූලිකව සැලකිය යුතු අත්‍යවශ්‍ය කරුණක්. රැකියාවට නොයන සහකරුවාට නිතැතින්ම දරුවා රැකබලා ගැනීම පැවරෙනවා. යම් හෙයකින් ඔබ දෙදෙනාම රැකියාවට යන්නේ නම්, ඔබ නිවසේ නොමැති කාලය තුළ මේ කටයුත්තට යොදවන්නේ කවුරුන්ද යන ප්රශ්නය පැණ නගිනවා. ඒ නිසා කල්තියා මේ පිළිබඳ තීරණයකට එළඹ සිටීම වැදගත්. දරුවා මිත්තණියට පැවරීම, දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට පැවරීම වැනි බොහෝ විකල්ප තිබෙනවා. කෙසේ නමුත්, දරුවා රැකබලා ගැනීමට පවරන තුන්වැනි පාර්ශවය ඒ සඳහා කායික හා මානසික නිරෝගීබවෙන් පරිපූර්ණ, යෝග්‍ය පුද්ගලයෙකු බව සහතික කොට ගන්න.
- ආර්ථිකය කළමනාකරණය කරගැනීම.
දරුවෙක් වෙනුවෙන් සැලකියයුතු වියදමක් දැරීමට සිදුවෙනවා. මේ පිළිබඳව ද පූර්ව අවබෝධයක් හා දැනුවත්භාවයක් තිබීම වැදගත්. ඔබ දෙදෙනා සාකච්ඡා කොට ඔබේ ආර්ථික ශක්‍යතාවන්ට අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ගන්න. අවශ්‍යතාව මත පමණක් බුද්ධිමත්ව තීරණ ගන්න. එසේ නොවුණහොත් ඔබේ ආර්ථික තත්වයන්ට දරාගත නොහැකි වියදම් රාශියක් ඒකරාශි වී මහත් අපහසුතාවකට ඔබ දෙදෙනා මෙන්ම දරුවාද පත්වනු ඇත.
මෙහිදී ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයට (රැකියාව/ව්‍යාපාරය) අමතරව අතිරේක ආදායම් මාර්ගයන් පිළිබඳව ද අවධානය යොමුකළ හැකියි. ඔබ මුල්වරට දෙමාපියන් වීමට බලාපොරොත්තු වන යුවලක් නම් ඔබේ වියදම් සැලකියයුතු ලෙස ඉහළ යෑම බලාපොරොත්තු විය යුතුයි. ඊට හේතුව, ඔබ දරුවා වෙනුවෙන් අවශ්‍ය ලොකු-කුඩා සියලු දේ (ඇඳුම්, නිදිකරවීමේ ආධාරක, ඇවිදීම් ආධාරක) මිලට ගතයුතු වීමයි. එනිසා ඔබ වඩාත් කල්පනාකාරී වීම වැදගත්. මීට අමතරව දරුවාගේ අධ්‍යාපනික, සෞඛ්‍යමය හා අතිරේක වියදම්ද කල්තබා සැලසුම් කීරීම හා කළමනාකරණය කිරීම අමතර සහයක් වනු ඇති බැව් සිහිතබා ගන්න.
- දරුවා හික්මවීම.
දරුවා හික්මවීම හා එය සිදුකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබ දෙදෙනා පූර්ව එකඟතාවයට පැමිණීම වැදගත්. ශාරීරික දඬුවම් හෝ දරුවාගේ ආත්මාභිනය බිඳවට්ටන සුළු දණ්ඩනයන්ට ලක්කිරීම වත්මන් ළමා මනෝවිද්‍යාව නිර්දේශ කරන්නේ නැහැ. දරුවා හික්මවීමේ නූතන ක්රමෝපායන් ගැන ඔබ දෙදෙනාටම මනා වැටහීමක් තිබීම අවශ්‍යයි. එසේ නොමැතිනම් ඒ ගැන ඉගෙනීමට, ගවේෂණයට මේ කාලය යෙදවීම ඉතා වටිනවා. යම් කරුණක් සම්බන්ධයෙන් ඔබ දෙදෙනා ප්‍රතිවිරුද්ධ මත දැරීම දරුවා තුළ ව්‍යාකූලත්වයක් ඇතිකළ හැකියි. කාගේ උපදෙස්ද මා පිළිපැදිය යුතුවන්නේ යන ප්රශ්නය දරුවා තුළ පැන නගිනවා. එනිසා දරුවා සම්බන්ධ කරුණු පිළිබඳ හැකි උපරිමයෙන් දෙදෙනා එකඟවන්න. එකී එකඟවීම් නූතන ලෝකයට ගැලපන්නේද හා නව දැනුමට වලංගුවන්නේද යන්න පිළිබඳවත් තහවුරු කරගන්න. නිර්මාණාත්මක ක්‍රමවේද ඔස්සේ වඩා ඵලදායී දෙමාපිය භූමිකාවක් සඳහා සූදානම් වන්න.
- නින්ද පිළිබඳ එකඟතාව.
දරුවා ලැබී මුල්කාලයේ ඔබට සුවදායි නින්දක් රිසිසේ ලබන්නට හැකිවන්නේ කලාතුරකින්. මේ පිළිබඳ මුලසිටම සැලසුම් කිරීමෙන් හා එකඟතාවයට පැමිණීමෙන් තත්වය යම්තරමකින් කළමනාකරණය කරගත හැකියි. දරුවා නිදාගන්නේ කොතැනද, නිදිකරවන්නේ කවුරුන් ද යනවග තීරණය කරන්න. යම් කාලරාමුවකට අනුව නිදිකරවීමේ කටයුතු ඔබ දෙදෙනා බෙදාගන්න. අවශ්‍යනම් වැඩිහිටි පාර්ශවයකගේ අමතර සහය ඉල්ලා සිටින්න. දෙමාපිය ඔබට නින්ද අත්‍යාවශ්‍යයි. එය අහිමි වීම බොහෝ අහිතකර ප්‍රතිඵල ඇතිකරනු ඇති අතර, කල්තබා සැලසුම් කිරීමෙන් බොහෝ අසීරුතා මගහරවා ගත හැකියි.
- දරුවා ලැබීමෙන් පසු ඔබේ සහකරු-සහකාරි සම්බන්ධය කෙබඳු වේද?
සිතාමතා සිදුකරන්නක් නොවුණත්, බොහෝ යුවලවල් දරු උපතකින් පසුව තරමක් දුරස් වෙනවා. දරුවාගේ වගකීම් හා අනේකවිධ වැඩකටයුතු රාශියක් හේතුවෙන් නොදැනුවත්වම ඔබට අනෙකාව මගහැරෙන්නට පුලුවන්. මෙම තත්වය තේරුම් ගත හැක්කේ සියුම්ව හා සමීපව නිරීක්ෂණය කිරීමෙන්. දරුවා උස්මහත් වුණායින් පසුව නැවතත් පෙර පරිදි අඹුසැමි සබඳතා පවත්වා ගත හැකිවනු ඇතියි සිතුවත්, ඇතැම්විට එය අසීරු වන්නට හැකියි. නිසැකම දරුවාට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට විවාදයක් නැහැ. නමුත් ඔබට අනෙකාව අතහැරෙන්නට ඉඩ නොදෙන්න. පෙරටත් වඩා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙන්න. දෙදෙනාට එකට ගතකළ හැකි ප්‍රමාණාත්මකව කුඩා වූ නමුත් ගුණාත්මකව ඉහළ කාල පරාසයන් සොයාගන්න. දරුවා හදාවඩා ගැනීම ඔබ මෙතෙක් අත්දකින භාරදූරම වගකීම බැව් සැබෑය. නමුත්, ඒ කවර අවදියකදී හෝ අනෙකාව හුදෙකලා වීමට ඉඩ නොදී සාමූහිකව මුහුණදීම වඩා ඵලදායි බව සිතට ගන්න.