free stats

වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර

සොබාදමේ ආශ්චර්යයක් ලෙසින් මවකගේ පියයුරේ මව්කිරි නිපදවන්නේ කෙසේද, එය අඩු වැඩි වීමට බලපාන හේතූ සාධක කවරේද යන්න කියායි අපි මෙවර කලාපයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ පිළිබඳව නිසි දැනුමක් ලබාගැනීමට පහත දක්වා ඇති පියයුරක ව්‍යූහය ඔබට බොහෝසෙයින් වැදගත් වන ඇත.

රූප සටහන

පියයුරක කිරි නිපදවන ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ ඉහත රූප සටහනේ දක්වා ඇති පරිද්දෙන් මිදි පොකුරක ආකාරයටයි. එනම්, සෑම මිදි ගෙඩියකටම නටුවක් තිබෙනවා සේ කිරි නිපදවන සෑම ග්‍රන්ථියකටම නාලයක් තිබෙනවා. එම ග්‍රන්ථියේ නිපදවන කිරි එම ග්‍රන්ථියටම අදාල නාලය දිගේ තන පුඩුව දෙසට ගලාගෙන එන අතරම අතරමඟදී මෙම නාල කිහිපයක් එකට එකතු වෙනවා. තන පුඩුව වටේ ඇති සාමාන්‍ය ශරීර වර්ණයට වඩා මඳක් තද වර්ණයෙන් යුතු රවුම් ප්‍රදේශය ඇරියෝලාව වශයෙන් හඳුන්වනු ලබනවා. ඇරියෝලාව තුළදී කිරිනාල කිහිපයක් එක්වී මදක් මහත් වී ක්‍ෂීරධර කෝඨරක සෑදෙනවා. මෙහි තාවකාලිකව කිරි තැන්පත් වී තිබෙනවා.

දරුවා කිරි උරා බීමට පටන් ගන්නා විටම මෙම ක්‍ෂීරධර කෝඨරක තුළ තැන්පත් වී තිබෙන කිරි ක්‍ෂණිකව මුඛය තුළට ගලාගෙන එනවා. දරුවා තවදුරටත් කිරි උරාබීමට උනන්දු කිරීමට ස්වභාවයෙන්ම සිදුවී ඇති හැඩගැසීමකි.මෙහිදී වඩාත්ම වැදගත් කාරණය වන්නේ තන පුඩුව පටන් ගන්නා ස්ථානයේදී මෙම ක්‍ෂීරධර කෝඨරක නැවත සිහින්ව තිබීමයි. දරුවා කිරි උරා බොන විට තන පුඩව පමණක් කටට ගෙන උරා බීම සිදු කළහොත් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය නොලැබෙන බව මතක තබාගත යුතු වැදගත් කරුණකි.

කිරි නිපදවන ග්‍රන්ථියක් එක් ඒකකයක් ලෙස සවිස්තරව හදාරමු. අපි දැන් කතා කරන්නේ මුලින් මිදි පොකුරක් ලෙස හැඳින්වූ කොටසේ එක් මිදි ගෙඩියක් ගැනයි. රූප සටහනේ කොටුව තුළ ඇති ග්‍රන්ථි තුනෙන් එකක් ගැන පමණයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙය ඇතුළත හිස්. ඉතා සියුම් බිත්තියකින් වැසුණු කුහරයකි. බිත්තියේ ඇත්තේ තනි සෛල ස්ථරයකි. කිරි නිපදවනු ලබන්නේ මෙම සෛලවලිනි. එසේ නිපදවන කිරි ග්‍රන්ථියේ කුහරය තුළට එකතු වී ක්‍ෂීර නාල මගින් තන පුඩුව දෙසට ගලාගෙන එයි.මෙම සෛල කිරි නිපදවීම ආරම්භ කරන්නේ මෙන්න මේ විදියටම වගේ මොළයේ අපර කොටසේ ඇති පිටියුටරි ග්‍රන්ථිය නැමැති නිර්නාල ග්‍රන්ථිය උත්තේජනය විමෙන් ප්‍රෝලැක්ටික් නම් හෝමෝනය ස්‍රාවය වෙනවා. මෙම ප්‍රෝලැක්ටික් හෝමෝනය මවගේ රුධිරයට එක්වී පියයුරේ ඇති කිරි නිපදවන ග්‍රන්ථියේ බිත්තියේ ඇති සෛල උත්තේජනය කර එහි ක්‍රියාකාරීත්වය ආරම්භ කරනවා.

මවගේ ශරීරයේ ඇති ප්‍රෝලැක්ටික් ප්‍රමාණය අඩු වැඩි වීම අනුව නිපදවන කිරි ප්‍රමාණය අඩු වැඩි වේ. දරුවා දැකීම, මවගේ ඇඟේ ස්පර්ශ වීම, තන පුඩඩ ඉරීම, දරුවා හඬන ශබ්දය ඇසීම ප්‍රෝලැක්ටික් නිපදවීමට උපකාරී වේ. රාත්‍රී කාලයේදී වැඩිපුර ප්‍රෝලැක්ටික් ප්‍රමාණයක් නිපදවනු ලබයි.මවගේ වේදනාවන්, අසහනය, කනස්සල්ල, මව්කිරි තමාගේ දරුවාට ප්‍රමාණවත් නොවේයැයි යන වැරදි ආකල්ප පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය මදි කම ප්‍රෝලැක්ටික් හෝමෝනය අඩුවෙන් නිපදවීමට හේතු වේ.ග්‍රන්ථිය වටා පිහිටා ඇති මෘදු පේශී සෛල සංකෝචනය වීමෙන් (හැකිලීමෙන්) ග්‍රන්ථිය තුළට එකතුවන කිරි නාලය දිගේ ක්‍ෂීරධර කෝඨරක දක්වා ගෙන ඒමට සලස්වනු ලැබේ.

එසේ නම් මෙම මාංශ පේශී සංකෝචනය වීමට බලපානු ලබන්නේ ඔක්සිටොසින් නැමැති තවත් හෝමෝනයකි. මෙම හෝමෝනයද ඉහත සඳහන් කළ ප්‍රෝලැක්ටික් හෝමෝනය මෙන්ම පිටියුටරි ග්‍රන්ථියෙන්ම ශ්‍රාවය කරනු ලැබේ. මෙම හෝමෝනය ස්‍රාවය වීමට බලපාන්නේ ඉහත ප්‍රෝලැක්ටික් හෝමෝනය ස්‍රාවය වීමට බලපාන ලද සාධකම වේ. එනම් දරුවා දැකීම, දරුවා හඬන ශබ්දය ඇසීම, ස්පර්ශය, තන පුඩව ඉරීම මින් සමහරකි. මෙයට අමතරව සියුම් ලෙස පියයුර ඇඟිලි තුඩුවලින් තනපුඩුව දෙසට පිරිමැදීම ඔක්සිටොසින් හෝමෝනය ස්‍රාවය කිරීම වැඩි කරයි. පියයුර කිරි පිරි තද වූ විට කිරි පහසුවෙන් එළියට ගලා ඒමට උපක්‍රමයක් ලෙස මෙය භාවිත කළ හැක.

දැන් අපගේ අවධානය යොමු වන්නේ පියයුරේ නිපදවන කිරි එළියට ගලා ඒම, එනම් දරුවා නිවැරදිව කිරි උරා බීම සිදු නොවුවහොත් සිදුවන දෙය ගැනයි. එවිට කිරි නිපදවන ග්‍රන්ථිය කිරිවලින් පිරේ. ග්‍රන්ථියේ සිවියක් වැනි තනි සෛල ස්ථරයකින් සෑදුණු බිත්තියේ ඇදීමක් සිදුවී ග්‍රන්ථිය විශාල වේ. එවිට ග්‍රන්ථිය බිත්තියේ ඇති සෛල අතර හිඩැස් ඇති වී එම හිඩැස් තුළින් කිරිවල ඇති සෛල නොවන තරලය, අවට ඇති සම්බන්ධීකරණ පටකවලට ස්‍රාවය වීමට පටන් ගනී. මෙවිට යම් කිසි ප්‍රමාණයකට පියයුරේ තද ගතියක් සමග වේදනාවක් හටගනී. මවට ශෘරීරික අපහසුතාවයක්, එනම් මද උණ ගතිය, ඇඟ රිදීම හටගනී. මෙවිට ග්‍රන්ථිය තවදුරටත් කිරි නිපදවීම අඩු වේ.

අපි සරලව එය මෙසේ විස්තර කරමු. ග්‍රන්ථිය බිත්තියේ ඇති විශේෂ සංවේදී සෛල ග්‍රන්ථියේ බිත්තිය ප්‍රසාරණය වීම නිසා උත්තේජනය වීමෙන් දෙන පණිවිඩය ස්නායු තන්තු දිගේ මොලයට එනම් පිටියුටරි ග්‍රන්ථියට ලබාදෙයි. එවිට ප්‍රෝලැක්ටික් හෝමෝනය නිපදවීම අඩු කරවයි. එවිට කිරි නිපදවීම අඩුවේ. මෙහිදී මව මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ වැඩිපුර කිරි නිපදවීම සඳහා පියයුර නිතරම සැහැල්ලුවෙන්, මෘදුව තබාගත යුතු බවයි. එනම් නිපදවන කිරි එකතු වීමට ඉඩ නොදී දරුවාට නියම ආකාරයෙන් උරා බීමට සැලැස්වීමයි.

දරුවා ඉපදී මුල් පළමු සති දෙක තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා කිරි නිපදවීමට පුළුවන. එවිට පියයුරේ තද ගතිය අඩු කරගැනීමට කිරි ටිකක් දොවා ඉවත් කර ගැනීම දරුවාට කිරි උරාබීමට පහසු කරවයි. දොවාගත් කිරි අවශ්‍ය නම් කුඩා හැන්දකින් හෝ කෝප්පයකින් දරුවාට පෙවීම සිදු කිරීමට පුළුවන. මෙය තාවකාලික සිදුවීමක් පමණක් බවත් කාලයත් සමග ඉබේටම දරුවාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කිරි නිපදවීමට පියයුර හැඩගැසෙන බවත් මතක තබාගන්න. තවත් කරුණු සමගින් ලබන කලාපයෙන් මුණ ගැහෙමු.