බබා නම් තාත්තා වගේ එතකොට පොඩ්ඩක් වත් අම්මා වගේ නෙවෙයි ද?
අනේ මන්දා ටිකක් අම්මාගේ පවුලේ අය වගේ නේද?
ම්…. නෑ නෑ අම්මාගේ අම්මා වගේ
මේ බලන්නකො ඇස් දෙක බබාගේ අම්මා පොඩි කාලෙත් තිබුණේ ඔය වගේම ඇස් දෙකක්. ඇස් පිහාටුත් මේ වගේම දිගයි.
නෑ නෑ එයා ආචිචි අම්මලාගේ පවුලේ අය වගේ
අලුත් බබෙක් ඉපදුනාට පස්සේ මෙන්න මේ විදියේ කතා අහන්න ඔබටත් සිදුවෙන්න ඇති. සමහර විට බබා ඔබ වගේ නොවී බබාගේ තාත්තා වගේ වුණු එක ගැන, සැමියාගේ පවුලේ අය වගේ වුණු එක ගැන ඔබට කළකිරීමක් දුකක් ඇති වෙන්නත් ඇති. හැබැයි පවුලේ කවුරුමහරි වගේ නොවී සම්පූර්ණයෙන්ම වෙනස් බබෙක් ඉපදුනු අවස්ථාත් ලෝකයේ දුර්ලභ නැහැ. නිකමට හිතන්න අම්මයි තාත්තයි දෙන්නම සුදුයි බබා කළුම කළුයි කියලා. සමහර විට නිවුන් බබාලා ඉපදෙනවා එක බබෙක් බොහොම ලස්සනයි, පුෂ්ටිමත්, පැහැපත්. අනෙක් බබා ඒ ලක්ෂණවලින් සම්පූර්ණයෙන්ම වෙනස්. කෙට්ටුයි, පැහැයෙන් අඩුයි, ලස්සනත් අනෙක් බබාට සාපේක්ෂව අඩුයි. සමහර විට එකම පවුලේ එක්කෝ ලොකු බබා අම්මයි තාත්තායි වගේ, එක්කො පොඩි බබා අම්මයි තාත්තායි වගේ. අනෙක් බබා පවුලේ කිසිම කෙනෙක් වගේ නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස්.
ඉතින් මේ වගේ වෙනස්කම් වෙනස්වීම් නිසා වැරදි වැටහීම් පවා ඇතිවෙන්න පුළුවන්. දෙදෙනා අතර අසමගියක් ඇති නොවුණත් අවට අය, පවුලේ අනිත් නෑදෑයෝ, අහල පහල අය පවා මේ ගැන කතා කරන්න ඉඩ තිබෙනවා. සමහර විට එක දරුවෙක්ට ආදරයෙන් සලකන්නත් අනෙක් දරුවාට වෙනසක් කරන්නත් මෙන්න මේ බාහිර පෙනුම හේතුවක්. අන්න ඒ නිසා ඒ හැමෝම දැනුවත් කරන්න අපි අද හිතුවා ඔබට වඩාත් වැදගත් වෙන ලිපියක් අරගෙන එන්න ඕන කියලා. ඔබේ දරුවා කවුරු වගේ වුණත් ඒ ඔබේ දරුවා කියන හැඟීම ඔබ තුළ ඇතිවෙන්න මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.
ජාන ගැන කතාවක්
අලුතින් උපදින දරුවාගේ රූපය සඳහා බලපාන ඕනම සෑම අංගයක්ම දරුවාට ලැබෙන්නේ දෙමව්පියන්ගේ ජානවලින්. උදාහරණයක් විදියට මුහුණ ගත්තොත් එයාගේ ඇස්වල හැඩයට පාටට, දිගටි බවට හේතුවෙන ජාන තිබෙනවා. ඒ වගේම ඇස් බැමි, ඇස් පිහාටු ඒවායේ මහත. ඝණකම, මේ සියල්ලට බලපාන්නේ දෙමව්පියන්ගෙන් ලැබෙන ජානයි. ඒ වගේම නාසයේ හැඩයට, කටේ හැඩයට පවා බලපාන ජාන වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන්.
නිලීන ජාන හා ප්රමුඛ ජාන
අම්මා තාත්තා දෙදෙනා ගොඩක් ලස්සන වුණත් ඒ පෙනුමට හාත්පසින් වෙනස් දරුවෙක් ඉපදෙන්න වගේම, අම්මා තාත්තා දෙන්නාට වඩා හිතාගන්න බැරි තරම් ලස්සන දරුවෙක් ඉපදෙන්න මූලික වශයෙන් බලපාන්නේ මෙන්න මේ කියන කාරණයයි. ඒ තමයි නිලීන ජාන හා ප්රමුඛ ජාන. අම්මාගෙන් සහ තාත්තාගෙන් ලැබෙන ජානවලින් එක් ජානයක් ප්රමුඛ වීමත් අනෙක් ජානය නිලීන වීමත් නිසා දරුවන්ගේ පෙනුම තීරණය වෙනවා. හිතන්න අම්මා හුඟක් පැහැපත් නමුත් තාත්තා පැහැයෙන් අඩුයි කියලා. ඒ වගේ වෙලාවක තාත්තාගේ ජානයක් ප්රමුඛ වෙලා අම්මාගේ ජාන නිලීන වුණොත් දරුවා පැහැයෙන් අඩුයි. දෙන්නාගෙම ජාන ප්රමුඛ වුණොත් දරුවාට ලැබෙන්නේ දෙදෙනාගේම වර්ණ සංකලනය වුණු පැහැයක්. ඒ වගේම දෙදෙනාගේම ජාන නිලීන වුණොත් එයිනුත් වඩාත් ප්රමුඛ ජානයට අදාල වර්ණය තමයි දරුවාට ලැබෙන්නේ. මේක බොහොම අහඹු තත්ත්වයක්. සමහර විට පරම්පරා ගාණක් නිලීන වුණු ජානයක් මේ දරුවාට ප්රමුඛ වෙන්න වගේම පරම්පරා ගණනාවක් ප්රමුඛ වුණු ජානයක් මේ දරුවාට නිලීන වෙන්නත් හැකියාවක් තිබෙනවා.
පරිසර සාධකවල බලපෑම
ජාන හොඳින් තිබුණා වුණත් පරිසර සාධකවල බලපෑම නිසා ඒවා වෙනස් වෙන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ දරුවා ඉපදෙන කාලයේ අවට තිබෙන වාතාවරණය මෙයට බොහෝ සෙයින් බලපානවා. හිතන්න අම්මයි තාත්තයි දෙන්නා සාගතයකට මුහුණ දුන්නා කියලා. එහෙම නම් මොනතරම් හොඳ දරුවෙක් වුණත් උපදින්නේ අඩුම වශයෙන් මන්දපෝෂණයට ගොඳුරු වෙලා. එහෙමත් නැත්නම් කෙට්ටු, රෝගී දරුවෙක් විදියට. සමහර විට එකම පවුලේ නිවුන් දරුවන් දෙදෙනෙක් ගත්තාම එක දරුවෙක් ඉතාම සැපවත් ජීවිතයක් ගත කරද්දි අනෙක් දරුවා වඩාත් දුක්බර ජීවිතයක් ගතකරනවා නම් ජාන මොනතරම් හොඳ වුණත් ප්‍රථිපලය වෙනස් වෙනවා.
අපි ජනනය
මේ තත්ත්වය Epi genetic තත්ත්වය විදියටත් හඳුන්වනවා. ඉහත තේරුම ඒ සඳහා දෙන වඩාත් ආසන්න තේරුම පමණයි. මෙයින් අදහස් කරන්නේ ජාන මොනතරම් හොඳ වුණත් එයටත් ඉහළින් බලපාන සාධක නිසා තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියන එකයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ වසංගත කාලයක උපදින දරුවන්ගේ ජාන විකෘති වීම් තියෙන්න පුළුවන්. මව යම්කිසි රෝගයකට ගොඳුරක් වෙලා නම්, එයා යම් බෙහෙත් වර්ගයක් ගන්නවා නම්, ආර්ථික තත්ත්වය හොඳ මට්ටමක නැත්නම්, පෝෂණ ගැටළු තියෙනවා නම් මේ සියල්ල අර ජාන සාධකයට ඉහළින් බලපවත්වන්න පුළුවන්. ඒ නිසා මෙතනදී ජාන හොඳට තිබුණට අපේක්ෂිත ප්‍රථිපල ලබන්න බැහැ. ඒ වගේම මේ කාරණයේ විරුද්ධ පැත්තත් ඒ විදියයි. ජාන කොහොම තිබුණත් එයට ඉහළින් බලපාන සාධක හොඳටම හොඳ නම් දෙමව්පියන්ට හා උපදින්න ඉන්න දරුවාට වාසි සහගත නම් කිසිම ගැටළු නැතිව නීරෝගී දරු උපතක් ලබාගන්න පුළුවන්.
ජාන වෙනස් වීම
මේ තත්ත්වය Genetic Nutation කියලා හඳුන්වනවා. එවැනි තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙන්නේ සොබාදහම විසින්මයි. මෙයින් අපේක්ෂා කරන්නේ අපි මිනිසුන් වශයෙන් තවදුරටත් වෙනස් වෙමින් දියුණු වෙමින් ඉදිරියට යාමක්. මේ ජාන වෙනස් වීම නිසා තමයි වානරයන් විදියට පෘථිවියට ආපු අපි අද මානසික, කායික, තාක්ෂණික හා නානාප්‍රකාර ආකාරවලින් දියුණුවෙලා ඉන්නේ. නමුත් මෙහි අහිතකර පැත්තක් තිබෙනවා. ඒ තමයි මේ විදියට සිදුවන ජාන වෙනස්වීම් නිසා ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්. හොඳ දියුණු ජාන තේරිලා ඒවා ඉදිරියට එන්න ඕන නිසයි එහෙම වෙන්නේ. නමුත් එය යම් දරුවෙක්ට අවාසි සහගත විදියටත් බලපානවා.
ඉතින් මෙන්න මේ කියන කාරණා ගැන දැනුවත් නම් ඔබේ දරුවා ඔබ වගේම නොවුණු එක ගැන දුක් වෙන්න ඕන නැහැ. ඒ තියෙන්නේ එයාගේ ප්රමුඛ වුණු ජාන මත එයාට ලැබුණු රූපය. ඔබේ දරුවන් එකිනෙකාට වෙනස් වෙනවා වගේම දරුවාගේ බාහිර රූපයත් ඔබට අවශ්‍ය විදියටම ලැබෙන්නේ නැහැ කියන එක දැන් ඔබට තේරෙනවා ඇති.
සටහන චාපා හංසිනි ආටිගල
වෛද්‍ය අශෝක කරුණානන්ද