free stats

ප්‍රසූතියෙන් පසුව මවක් මුහුණ දෙන බැරෑරුම් අභියෝගයක් තමයි පුංචි පැටියාගේ කුස පුරවන එක. මව්කිරි විතරක් නෙවෙයි එයාගේ ආහාර රටාව ටිකෙන් ටික වෙනස් වෙද්දි අම්මාට ඒ අනුව හැඩගැහෙන්න සිදු වෙනවා. කොහොම වුණත් මුල්ම මාස කිහිපයේ පැටියාට දෙන්නේ මව්කිරි විතරයි. එහිදි නිසි පරිදි මව්කිරි ලැබීම එයාගේ ශරීරික, මානසික හා බුද්ධි වර්ධනයට වඩාත් වැදගත් වනවා. මේ නිසා නිසි පරිදි මව්කිරි දීම මවගේ වගකීමක්. මොකද මව්කිරි නිසි ලෙස නොලැබෙනවා නම් එයින් පැටියාටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම නිවැරදිව මව්කිරි ලබානොදීම නිසා ගැටළු ඇතිවෙන්නේ දරුවාට විතරක් නෙවෙයි. සමහර අවස්ථාවල මේ නිසා අම්මාටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්. අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිසි ලෙස මව්කිරි ලබානොදීම නිසා අම්මාට සිදුවිය හැකි අපහසුතා පිළිබඳවයි.

පියයුරුවල පිරුණු ස්වභාවය

පියයුරුවල පිරුණු ස්වභාවයක් ඇතිවන්නේ දරු ප්‍රසූතියෙන් දින තුනත් පහත් අතර කාලයෙන් පසු මව්කිරි පියයුර වෙත ගලාගෙන එනවිටයි. පියයුරුවල බර බවක්, තද බවක් මෙන්ම පිරුණු ස්වභාවයක් දැනෙන්නේ ඒ නිසයි. මෙයින් මවට යම් අපහසුතාවයක් ඇතිවේ. නමුත් සාමාන්‍ය පරිදි කිරි ගලා ඒම හා දරුවාට මව්කිරි ලබාදීම කළ හැකි නිසා ගැටළුවක් ඇතිවන්නේ නැහැ. එවැනි අවස්ථාවක කළ යුත්තේ දරුවාට හොඳින් මව්කිරි ලබාදී පියයුරේ කිරි පිරුණු ගතිය ඉවත් කරගැනීමයි. දරුවාට අවශ්‍ය මව්කිරි ප්‍රමාණ නිසි පරිදි නිර්ණය කරගැනීමට පියයුරට හැකිවන නිසා දිගින් දිගටම මෙවැනි ගැටළු ඇතිවන්නේ නැහැ.

පියයුර විශාල වීම

මෙවැනි අවස්ථාවක පියයුර විශාල වීම හා ඉදිමුණු ගතියක් පෙන්වයි. ඉදිමීමේ දී එන දිලිසෙන ස්වභාවය ද දැකගත හැකියි. එහි පැතිරුණු රතු ස්වභාවයක් ද දක්නට ලැබේ. සමහර විට පියයුරු දෙකම මේ ආකාරයෙන් ඉදිමීමට ලක්වන අතර එය මවට දැඩි අපහසුතාවයක් ඇතිකරවන තත්ත්වයකි. සාමාන්‍යයෙන් දිනක කාලයක් පවතින උණ තත්ත්වයක් ද දක්නට ලැබේ. මේ නිසා තන පුඩුවේ පැතලි ගිලිණු ස්වභාවයක් ඇතිවේ. දරුවාට තන පුඩුව නිසි පරිදි අල්ලා ගැනීමේ අපහසුතාවයක් ද එයින් ඇතිවේ.

මේ සඳහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ පළමු දිනකිහිපයේ ලැබුණු මව්කිරි නිසිපරිදි ඉවත් නොවීමයි. එවිට රුධිර නාල විස්තාරණය වීම නිසා පියයුරුවෙත එන රුධිර සැපයුම වැඩිවීමක් සිදුවේ. මේ අවස්ථාවේ නාල අතර ඇතිවන තදබදය පියයුරු ඉදිමුමට හේතු වේ.

  1. නියමිත කාලයට මව්කිරි ලබාදීම ආරම්භ කිරීමට නොහැකි වීම
  2. දරුවා නියමාකාරයෙන් පියයුර හා සම්බන්ධ කිරීමට නොහැකි වීම
  3. දරුවාගේ කිරි උරාබීමේ හැකියාව අඩුවීම

මෙවැනි අවස්ථාවක දී අනිවාර්යයෙන්ම පියයුරෙන් කිරි ඉවත් කිරීම සිදුකළ යුතුයි. එසේ කිරි ඉවත් වීමෙන් පසු පියයුර මෘදු ස්වභාවයට පත්වන නිසා දරුවාට මව්කිරි උරාබීම පහසු වේ. දරුවා හොඳින් මව්කිරි උරාබොන්නේ නම් හොඳින් මව්කිරි ලබාදීම කළ යුතුයි.

කිරි ලබාදීමට පෙර උණුසුම් ජලයෙන් පියයුර සේදීම හෝ උණුසුම් රෙදි කඩකින් තරමක් තෙත මාත්තු කිරීමෙන් හොඳින් කිරි ගලා ඒම ආරම්භ වේ. එයින් කිසිඳු අපහසුතාවයකින් තොරව කිරි ලබාදීමට මවට හැකිවේ. එසේම කිරි ලබාදීම අවසාන වීමෙන් පසු සිසිල් රෙදිකඩකින් තෙත මාත්තු කිරීමෙන් ඉදිමුම අඩුවේ.

කිරි නාල අවහිර වීම

මෙහිදි පියයුරෙක් එක් පසකට පමණක් සීමා වු රතු පැහැයක් හෝ ගෙඩියක් දකින්නට ලැබේ. මෙයට හේතුව වන්නේ පියයුරේ එක් කොටසකින් කිරි නිදහස්වීම දුර්වල වු විටයි. හිර ඇඳුම් ඇඳීම, පියයුරට යම් අනතුරක් සිදුවීම, දරුවා නියමාකාරයෙන් පියයුරට සම්බන්ධ නොවීම නිසා නිසි පරිදි මව්කිරි නිදහස් නොවීම වැනි කාරණා මේ සඳහා බලපාන්නට ඉඩ තිබේ. සමහර අවස්ථාවල දී මව්කිරි උකුබවින් වැඩි නිසා කිරි කොටස් නාල තුළ ඝණ වීම ද සිදුවිය හැකියි.

මෙවැනි අවස්ථාවක දී දරුවාට හොඳින් කිරි ලබාදෙමින් කිරි ඉවත් කරගැනීම කළ යුතුයි-. එසේම පියයුරේ ඇති ගෙඩිය සෙමින් පිරිමැදීම ද සුදුසුයි. උණුසුම් ජලයෙන් සේදීම හෝ උණුසුම් රෙදි කඩකින් පිස දැමීම මඟින් ගෙඩියේ ස්වභාවය ඉවත් කළ හැකියි.

Mastitis

මේ තත්ත්වයේ දී පියයුරේ දැඩි වේදනාවක් දැනෙනවා. සමමතුපිට දැඩි තද ස්වභාවයක් සමඟ රතු පැහැයක් දකින්නට ඇත්තේ ද මේ අවස්ථාවේදියි. මෙය තරමක් වේදනාව ඇති අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකියි. මෙහිදි සිදුවන්නේ පියයුරේ එක් කොටසක් ආසාදනයට ලක්වීමයි. දරු ප්‍රසූතියෙන් සති දෙකත් තුනත් අතර ඇතිවන මේ තත්ත්වයෙන් මවට උණ හා අපහසු ගතියක් ඇතිවෙන්න පුළුවන. ඒ හැරෙන්නට මව්කිරි දෙන මවකට මේ තත්ත්වය ඕනෑම අවස්ථාවක ඇතිවන්නට ඉඩ තිබේ. මෙයට හේතුව වන්නේ නිසි පරිදි මව්කිරි ලබාදීමට නොහැකි වීමයි.

මෙවැනි අවස්ථාවක දී යම් විශේෂ හේතුවක් හඳුනාගෙන තිබේ නම් ඒ තත්ත්වය මඟහරවා ගැනීම කල යුතු වේ. එයට අමතරව වේදනාව මඟහරවාගත නොහැකි නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසුය. දරුවාට නිරන්තරයෙන් මව්කිරි ලබාදීමත් මව විවේකීව සිටීමත් අත්‍යාවශ්‍ය වේ.

Breast abscess

මේ අවස්ථාවේ වේදනාවෙන් වැඩි තරල පිරුණු ගෙඩියක් ඇති වේ. එහි පැහැයේ වෙනසක් ද ඇතිවේ. මෙහිදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් අනතුරුව තරල ඉවත් කළ හැකිය. මවට දැඩි වේදනාවක් හා අපහසුතාවයක් දැනෙන අවස්ථාවල දී හැරෙන්නට අනෙක් ඕනෑම අවස්ථාවක මව්කිරි දීම කළ යුතුයි. වෙෙද්‍යවරයා විසින් සිදුකරන කැපුමෙන් හෝ සිදුර හේතුවෙන් මව්කිරි වෑස්සීම දිගින් දිගටම සිදුවුවත් මව්කිරි ලබාදීම කළයුතු වේ.

Sore or Fissured nipple

මේ තත්ත්වයේ දී දැකිය හැකි ප්‍රධානම රෝග ලක්‍ෂණය වන්නේ දරුවා කිරි උරාබොන විට මවට වේදනාවක් ඇතිවීමයි. එහිදි තනපුඩුවේ ඉරුණු ස්වභාවයෙන් ඇතිවන පැල්මක් ද දැකිය හැකියි. දරුවා නිවැරදිව කිරි උරා නොබීම, නිරන්තරයෙන් තනපුඩුව ඉවතට ඇඳීම, දරුවා මුඛයෙන් තනපුඩුව ඇතිල්ලීම, වැනි නිවැරදි නොවන චර්යා රටා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවේ.

මෙවැනි අවස්ථාවක දී

  1. එම පියයුරෙන් කිරි ලබාදීම නැවැත්වීම
  2. ප්‍රතිකාර සඳහා යොමුවීම
  3. තත්ත්වය මඟහැරුණු පසු වෛද්‍ය උපදෙස් මත නැවත කිරි ලබාදීම ආරම්භ කිරීම

කළ යුතුයි.

මේ අවස්ථාවේ ලබාදෙන්නේ දොවාගත් කිරි නම් ඒවා ලබාදෙන නිවැරදි ආකාර පිළිබඳ විශේෂඥ වෛi උපදෙස් ලබාගත යුතුයි.

දිලීර ආසාදන

මෙවැනි අවස්ථාවක දී මවගේ තනපුඩුවේ තුවාල ඇතිවීම සහ කසන ඉදිකටු අනින ස්වභාවයක් දැනෙන්නට පටන් ගනියි. එවැනි ආසාදන ඇත්නම් දරුවාගේ මුඛයේ ද තල්ල හා දිව ප්‍රදේශයේ ද සුදු පැහැති ලප දකින්නට ලැබේ. මේවා මිදුණු කිරිවල ස්වභාවයෙන් තිබුණත් ඉවත් කිරීමට අපහසුයි. දරුවෙක් එක දිගට කිරි උරා නොබී තනපුඩුව ඉවත දැමීම මෙහිදි දැකිය හැකියි.

මේ තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ ඉහත අවස්ථා දෙකේ දී ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිසා දිලීර හා බැක්ටීරියා වර්ධනය වීම බැවින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගත යුතුයි.

පැතලි තනපුඩු

ව්‍යුහමය වෙනස්කම් නිසා කාන්තාවන් අතර පැතලි තනපුඩු තිබිය හැකියි. සෑම කාන්තාවකගේම තනපුඩු ඉදිරියට නෙරා ආ ස්වභාවයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ තනපුඩුවෙන් වුණත් දරුවාට කිරි උරාබොන්න පුළුවන්. මෙහිදි විවිධ ඉරියව් හා ක්‍රම භාවිත කරලා තනපුඩුව පිටතට නෙරන ක්‍රමයක් හඳුනාගැනීම වැදගත්. මවගේ පියයුරට ආසන්නයෙන් දරුවා තබා සමට සම ස්පර්ශ කර දරුවාට මවගේ පියයුර සොයා ගැනීමට සැලැස්වීම මඟින් මව්කිරි ලබාදිය හැකියි. නැතිනම් මව්කිරි දොවා දීම කළ හැකි අතර සිරින්ජ ප්‍රතිකාර ක්‍රමය මඟින් සෑම මව්කිරි ලබාදෙන වාරයක් පාසාම තනපුඩුව සකස් කරගත හැකිය.

සටහන චාපා හංසිනි ආටිගල