free stats

අප සමාජයේ වැඩිහිටි අය විශේෂයෙන්ම දරුවන් ගේ ආච්චිලා සීයලා දරුවන් ගේ බර ගැන වැරදි අදහස් දරනවා. සමහර දෙමාපියන් තම දරුවන් ගේ බර තවත් දරුවන් සමග සංසන්දනය කරන්න පෙලඹෙනවා. දරුවන්ගේ බර සම්බන්ධයෙන් මෙවැනි වැරදි අදහස් නිසා දෙමාපියන් අනවශ්‍ය ලෙස මානසික පීඩනයට ලක්වෙනවා. සමහර දරුවන්ට ආරෙට (ජානමය) සිහින් සිරුරක් තිබිය හැකියි. මෙසේ සිහින් සිරුරක් පැවතීම දුර්වලතාවයක් ලෙසත් තරබාරු වීම නිරෝගී මෙන්ම ප‍්‍රියජනක ලක්ෂණයක් ලෙසත් බොහෝ දෙනා සිත්නන්ට පුරුදු වී තිබෙනවා. එය වැරදි මතයක් වන අතරම මේ සියලූම අදහස් පවතින්නේ ශරීරයේ බර සම්බන්ධයෙන් විද්‍යාත්මක දැනුම අවම වීම නිසාය.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපත් බර නිර්ණය වන්නේ මවගේ පෝෂණ තත්ත්වය, උස, රෝගී තත්ත්වයන් යනාදිය මතයි. එසේම මවගේ හෝ දරුවාගේ යම් යම් රෝග තත්ත්වයන් අනුව ද උපත් බර අඩු හෝ වැඩි විය හැක. ඉන් පසුව දරුවෙකුගේ උස සහ බර තීරණය වනුයේ ඔවුන්ගේ පෝෂණ තත්ත්වය සහ දෙමාපියන්ගෙන් උරුම වූ ජාන අනුව ය.

ළදරුවෙකුගේ සාමාන්‍ය උපත් බර 2.5ණට ට වඩා වැඩි විය යුතුය. දරුවන් සිටින්නේ වර්ධන අවදියේ ය. එනම් ශාරීරිකව, මානසිකව හා සමාජීයීය වශයෙන් වර්ධනය වෙමින්ය. කිසියම් ආකාරයකින් වර්ධනය අඩාල වුවහොත් එය දිගු කාලීන බලපෑම් (දිගු කාලීන මන්ද පෝෂණය නිසා ශරීරයේ මිටි බව ඇති වේ. එය කායික මෙන්ම මානසිකව ද බලපෑම් ඇති කරයි) ඇති කරයි. දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවනවාදැයි දැනගැනීමට ඇති මිණුම් දණ්ඩ උසට සරිලන බරයි (BMI). මෙම මිණුම් දණ්ඩ ක‍්‍රමානුකූලව මැන (එක් වරක් නොව) එය දරුවාගේ වයසට සරිලනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය. අද ලිිපිය හරහා අප ඔබව දැනුවත් කිරීමට සැරසෙන්නේ දරුවන්ගේ අඩු බර තත්ත්වය පිළිබදවයි.

අඩු බර තත්ත්වයක් හදුනා ගන්නේ කෙසේද ?

දරුවාගේ උස සහ බර නිවැරදිව මැන සෞඛ්‍ය වර්ධන සටහනක ක‍්‍රමානුකූලව සටහන් කිරීම මගින් දරුවගේ වර්ධන වේගය නිසි ලෙස සිදුවනවාද යන්න පිළිබ`දව අවබෝධයක් ලබාගැනීමට දෙමාපියන්ට හැකිය .

අඩු බර තත්ත්වයන් ඇති වීමට හේතු

–              මන්දපෝෂණය

–              විටමින් සහ ඛනිජ ඌනතා

–              වෛරස හෝ වෙනත් ආසාදනවලට නිරන්තර ගොදුරු වීම

–              පණු රෝග

(මීට අමතරව දෙමාපියන් ගේ වැරදි ආකල්ප සහ අවිද්‍යාමත්මක මතභේද ද මේ තත්ත්වයට හේතු විය හැකිය. උදාහරණයක් ලෙස ළදරුවෙකුට මුල් ආහාර පටන් ගනීමේදී ඇතැම් මව්වරුන් බත් කැද ලබා දෙන අතරම එය දියාරු බව වැඩි ආහාරයකි. බත් තලපයක් ලෙස කැවීමෙන් දරුවාට වැඩි පුර පෝෂණයක් දිය හැකිය. ඒ නිසා බත් කැද අනුමත කළ නොහැක)

දරුවාට අවශ්‍ය ආහාර වර්ග සහ ඒවා සකස් කළ යුත්තේ කෙසේද ?

  •               සමහර එළවළු උවමනාවට වඩා පිසීම මගින් එහි පෝෂණ කොටස් විනාශයට ලක් වේ. දරුවෙකුගේ වර්ධන වේගය අඩුවෙන ලක්ෂණ පවති නම් තෙල් වර්ගයක්(පිරිසිදු පොල්තෙල් හෝ අනෙකුත් එළවළු තෙල් වර්ගයක්) එක් කිරීමෙන්  කැලරි ප‍්‍රමාණය වැඩි කරගත හැක.
  •               ශරීරයේ වර්ධනයට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ. එනම් සෑම ආහාර වේලක්ම සමබරව දීමට වග බලා ගත යුතුය. සමබර ආහාර වේලක් යනු කාබෝහයිඩ්‍රේට් ,ප්‍රෝටීන් ,මේද දරුවාගේ වයසට සහ ක‍්‍රියාකාරීත්වයට අනුව සුදුසු ප‍්‍රමාණවලින් තිබිය යුතුය. එමෙන්ම යකඩ  විටමින් ඛනිජ ලවණ අයඞීන් වැනි පෝෂණ කොටස් එකතු කළ යුතුය. ඒ සදහා සුදුසුම ක‍්‍රමය ආහාරවල විවිධත්වය වැඩි කිරීමයි
  •               තම ගෙවත්තේ වැවෙන සහ පහසුවෙන් මිලදී ගත හැකි එළවළු සහ පලා වර්ග ආහාරයට එකතු කර ගැනීම (කොස්, දෙල් වැනි ආහාර අඩු වියදමේන් තම ගෙවතුවලින්ම ලබා ගත හැකි පෝෂණය බහුල ආහාර වේ)
  •               ආහාර පිළිබඳව පවතින වැරදි මතවාද දුරු කිරීම (උදාහරණයක් ලෙස කිරිබත්, මුං ඇට ඇඹුල් කෙසෙල්, නැවුම් එළකිරි, බිත්තර වැනි ආහාර සෙම තත්ත්වයන් වැඩි කරන ආහර ලෙස සිතා දරුවන්ට ලබා නොදීම)
  •               ආසාදනයක් හෝ උණ තත්ත්වයන්හීදී ගුණාත්මක ආහාර දීමෙන් වැලකී සිටීම නුසුදුසුය. එවනි තත්වයකදී අනිවාර්යෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක‍්‍රියාකාරීත්වය නිසා කැලරී සහ දියර අවශ්‍යතාවය වැඩි වේ.

දරුවනට විශේෂිත පෝෂක අවශ්‍ය වයස් ඛාණ්ඩ

  •               මුල් අවුරුද්ද

වර්ධන වේගය ඉහළ වේ. නමුත් ළදරුවාගේ ආමාශය ඉතා කුඩාය. එම නිසා සමහර දෙමාපියන් දරුවාගේ බඩ පිරුණු විට දරුවා දෙන ඉගි තේරුම් ගැනීමට නොහැකිව දරුවාට බලෙන් කෑම කවන්න උත්සාහ කරයි. එය නුුසුදුසුය. ඒ නිසා දරුවාට ආහාර අප‍්‍රියය වේ. එමෙන්ම දරුවාට එක වර ආහර දීමට වඩා විටින් විට ආහාර සුළු ප‍්‍රමාණ වශයෙන් ලබා දීම යෝග්‍ය වේ .

  •               අවුරුදු   1- 5 දක්වා

මෙම වයසේදී දරුවන් ඉතා ක‍්‍රියාශීලි වේ. එමෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. එබැවින් තනිව ආහර ගැනීමට ද අවස්ථාව ලබා දිය යුතුය. පසුව ඔබ ආහාර කැවීම යෝග්‍ය වේ. එමෙන්ම ප‍්‍රධාන ආහාර වේලකට පසුව ගුණාත්මක අතුරුපසක් ලබා දීම ද යෝග්‍ය වේ.

  •             නව යෞවන වයස

මේ අවස්ථාවේදී ලිංගිකව පරිණත භාවයන් සමග සීග‍්‍රයෙන් උස සහ බර වැඩි වීම සිදු වෙන අතරම ගැහැනු දරුවන්ට නම් මාසික ඔසප් වීම සමග වැඩිපුර යකඩ සහිත ආහාර අවශ්‍ය වේ. (මස්, මාළු, බිත්තර, එළකිරි) නමුත් නිර්මාංශ ආහාර ගන්නා දරුවෙක් නම් ධාන්‍ය වර්ග, එළවළු, පලා වර්ග වැනි ආහාර ලබා ගත හැක. එමෙන්ම ආහාරවල තිබෙන යකඩ අවශෝෂණය වැඩි කිරීම සඳහා විටමින් සී සහිත දේ එනම් දෙහි යුෂ ආහාරවලට එකතු කිරීම වඩා සුදුසු වේ. නව යොවුන්වියේ සිටින ගැහැනු සහ පිරිමි දරුවන්ට ඔවුන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා කැල්සියම් බහුල ආහාර ගැනීම ඉතා වැදගත් වේ. කැල්සියම් බහුල ආහාර වනුයේ නැවුම් එළකිරි සහ එළකිරිවලින් සාදන යෝගට් චීස් වැනි ආහාර සහ හාල්මැස්සන් සැමන් සාඩින් වැනි කටු සහිත පුංචි මාළු ඇට වර්ග සහ පලා වර්ග වේ.

වෛද්‍ය ප‍්‍රියන්ති මොල්ලිගොඩ
ළමා රෝග විශේෂඥ
ලංකා හොස්පිට්ල්ස්

සසිනි අරවින්දි