“අනේ බබා කතා කරන්නේ නැහැනේ”
මගේ බබා ඇවිදින්න අවුරුද්දකට වඩා ගියා. ඒත් ගීතානිගේ බබා එච්චර පරක්කු උනේ නෑ වගේ තමයි මට මතක”
අනේ ඩොක්ටර් බබා පෙරලෙන්න පරක්කුයිනේ”
මෙන්න මේ වගේ ප්‍රශ්න අම්මලා අතර ගොඩක් වෙලාවට දකින්න තියෙනවා. මේ තත්ත්වය විශේෂයෙන් දකින්න ලැබෙන්නේ උපතේ සිට පළවෙනි වසර ගෙවන දරුවන් ඉන්න අම්මලාගෙන්. ඒ නිසාම දරුවාගේ වර්ධනයේ විවිධ ස්වරූප හා තත්ත්වයන් පිළිබඳව අපි ළමා රෝග විශේෂඥ වෙෙද්‍ය පැතුම් දිසානායක මහතා සමඟ කතා කළා.
කුඩා දරුවෙකුගේ සංවර්ධනය වර්ග දෙකකට බෙදෙනවා. ඒ වර්ධනය Growth හා සංවර්ධනය Development වශයෙනි. උපතේදී ප්‍රාථමික මට්ටමක තිබෙන මේ කුසලතා දියුණු වන්නට පටන් ගන්නේ වයසත් එක්ක. එම කුසලතා කාණ්ඩ පහක් යටතේ හඳුන්වාදෙන්න පුළුවන්.
දළ චලන Gross Moter
මේ යටතට ගැනෙන්නේ දරුවාගේ ප්‍රධාන චලන වන ඉදගැනීම, පෙරලීම, ඇවිදීම යන ඒවායි.
සූක්ෂම චලන Sings Moter
ඇලවීම, කතුරකින් කැපීම, පාට කිරීම වැනි චලන මේ යටතට අයත් වෙනවා. පෙනීමේ කුසලතාවයත් මෙම කාණ්ඩයටම එකතු කළ හැකියි.
ඇසීම සහ කථනය
ඇසීම නිසා කථනය සහයක් ලැබෙනවා. දරුවෙක් වචන, වාක්‍ය ඉගෙන ගන්නේ අවට පරිසරයෙන් ලැබෙන සංඥා අනුවයි. සිංදු කීම වැනි සියලු කාර්යයන් සඳහා සංඥා ලැබෙන්නේ ඇසීමෙනි.
සමාජයීය කුසලතා Social Activity
මවට ප්‍රතිචාර දැක්වීම, සිනාසීම, වැදීම, අතවැනීම සහ සියලු අනුකරණයන් මෙයට අයත් වනවා.
Intellectual ability Development
ගණීතය, භාෂාවන්, කතාන්දර කීම වැනි සියලු හැකියාවන් අයත් වන්නේ මෙයටයි.
සායන හා එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන විට වෙෙද්‍යවරුන් මේ සියලු කුසලතා නිරීක්ෂණය කරනවා. ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොතේ බර ළකුණු කරන පිටුවට පසු පිටුවේ දරුවාගේ වර්ධනය පිළිබඳව සඳහන්. එහි මේ මේ වයස් සීමාවේ දී සිදුකළ යුතු කාර්යයන් පිළිබඳ විස්තර අඩංගුයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට දරුවාගේ වර්ධනය හා සංවර්ධනය හොඳින් සිදුවනවාද නැද්ද ඒ ආශ්රිත ගැටළු මොනවාද යන්න හඳුනාගැනීම කළ හැකියි. ඒ අනුව වර්ධනයේ ගැටළු තුනක් පෙන්වා දී තිබෙනවා.
පමාවීම
- මාස 6 න් පෙරලෙන්න ඕන බබා මාස අටේ දිත් පෙරලෙන්නේ නැත්නම් ඒක පමාවීමක් කියලා සලකන්න පුළුවන්.
- පෙර කුසලතා හීනවීම
- මේ තත්ත්වය සුලබව දකින්න නැහැ.
- වෙනස් ආකාරයේ වර්ධන තත්ත්වයක් පෙන්වීම
- මේක ලෙඩක් නෙවෙයි. අනිත් අයට වඩා වෙනස්. වෙෙද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය ප්‍රශ්නයක් නෙවෙයි.
- ඉහත තත්ත්වයන් තුන මේ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
පමාවීම
වයසට ගැලපෙන කුස තියෙනවා. මාස දෙකෙන් දෙකට ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව සඳහන් වෙනවා. මෙවැනි පමාවීමක දී පමා වන කාලය අනුව තමයි ගැටළුවක් ද නැද්ද යන්න තීරණය වෙන්නේ. මෙහිදි වයසක් දක්වා තිබෙන්නේ වඩාත් හොඳින් හඳුනාගැනීම සඳහා පමණයි. මේ වයස් කාණ්ඩයේ මුල් කාලයේ වගේම අවසාන කාලයේ ත් දරුවාගේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න පුළුවන්. ඒ වයස් කාණ්ඩයෙන් ටිකක් පමාවීම ගැටලුවක් නෙවෙයි.
උදාහරණයක් විදියට දරුවෙක් අවුරුද්දයි මාස හයෙන් උදව් නැතිව ඇවිදිනවා. නමුත් ඒ දළ වයස. අවුරුද්දයි මාස තුනෙන් ඇවිදින අයත් ඉන්නවා. අවුරුද්දයි මාස නවයෙන් ඇවිදින දරුවනුත් ඉන්නවා.
අම්මලා වයස දන්නවා වුණත් වයස් පරාසය දන්නේ නැහැ. මෙන්න මේ පරාසය පැන්නොත් විතරයි ඒ තත්ත්වය රෝගයක් විදියට සලකන්නේ. පරාසය තුළ කලින් ක්‍රියාකාරකම් සිදුකළත් මැදින් සිදුකළත්, පස්සේ සිදුවුණත් ඒ තත්ත්වය රෝගයක් විදියට ගණන් ගන්නේ නැහැ. නමුත් මේ පරාසය වයසින් වයසට වෙනස් වෙනවා. මුල් අවදියේ දී පරාසය අඩුයි. එයට හේතුව දරුවාගේ වර්ධනයේ මුල් කාලයේ තිබෙන්නේ සරල ක්‍රියාකාරකම් නිසයි. මව සමඟ සිනාසීම, හිස එසවීම වගේ කාර්යයන් සඳහා තිබෙන පරාසය අවමයි. නමුත් වයසින් වැඩිවෙද්දි පරාසය වැඩි වෙනවා.
දරුවෙක් තමන්ගේ නම නිවැරදිව සම්පූර්ණයෙන් කියන්නේ අවුරුදු තුනේදී. එතකල්ම නම නිවැරදිව සම්පූර්ණයෙන් කියන්න බැහැ. ඒ වගේම නම හුඟක් අමාරු එකක් නම් තවත් ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. එක පවුලේ වුණත් සමහර දරුවන් දෙදෙනා ක්‍රියාකාරකම් සිදුකළ වයස් පරතර වෙනස් වෙන්න ඉඩ තිබෙනවා. හුඟක් වෙලාවට ලොකු දරුවා දිහා බලාගෙන දෙවනි දරුවා තමන්ගේ ක්‍රියාකාරකම් ඉක්මනින් සිදු කරනවා. ලොකු දරුවා ක්‍රියාකාරකම් පෙන්වන්න පරක්කු වෙන්නේ එයාට අනුකරණය සඳහා එවැනි උදව්වක් නැති නිසා වෙන්න පුළුවන්.
කුසලතා හීන වීම
මේ තත්ත්වය බලාගෙන සිටිය යුතු දෙයක් නෙවෙයි. පෙර හොඳින් කළ කුසලතා හීනවීමක් පෙනෙනවා නම් ඉක්මනින් වෙෙද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. එයට හේතුව මෙය සහතික වශයෙන්ම රෝග තත්ත්වයක්.
වර්ධනය වෙනස් ආකාරයකින් සිදුවීම
මෙහිදි දරුවාගේ වර්ධනය වෙනස් ආකාරයකින් සිදුවනවා. නමුත් එය රෝග තත්ත්වයක් නෙවෙයි. ඒ තත්ත්වය හඳුනාගන්න පුළුවන් වෙෙද්යවරයෙක්ට විතරයි. මේ බබාලා හරි වයසෙදි ඉදගන්නවා. නමුත් හිටගන්නයි ඇවිදින්නයි කම්මැලියි. ඒ නිසා එයාලා තට්ටමෙන් ඇවිදිනවා. තට්ටමෙන් හරිම වේගෙන් ඇවිදිනවා වගේම හරිම ක්‍රියාශීලියි. කකුල් ගසනවා, උපකරණ භාවිතය ඉහලයි. ටික දවසකින් එකපාරම හිටගන්නවා.
සමහර බබාලා බඩගාන්න කැමති නැහැ. පෙරලි පෙරලි ඉදලා මාස නවයෙන් වගේ එකපාරටම හිටගන්නවා.
සමහර බබාලා අම්මා තාත්තා කියලා කතා කරනවා. ඊට පස්සේ එයාගෙම භාෂාවක් හදාගෙන තනියම කතා කර කර ඉදලා ආයෙම නිවැරදිව කතා කරන්න පටන් ගන්නවා. නමුත් මේ සියල්ල සිදුවෙද්දි එයාගේ අනෙක් කාර්යයන් සාමාන්‍ය විය යුතුයි. නැත්නම් මේ තත්ත්වය ගැටළුකාරි එකක් විදියට හඳුනාගත හැකියි. ඒ නිසා මෙවැනි දරුවන් අනෙක් ක්‍රියාකාරකම් නිසි පරිදි සිදුකරනවා ද කියලා හඳුනාගැනීම වැදගත්.
ඉහත සඳහන් කළ කරුණුවලින් වඩාත් සුලබව දකින්න ලැබෙන්නේ පමාවීමේ ගැටළුව. ඒ නිසා පමාවීමට හේතු හඳුනාගත යුතුයි.
දරුවා ස්නායු ආශ්රිත රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඉහත කාණ්ඩ පහම ප්‍රමාද වෙනවා. ඒ වගේම ඇස් පෙනීම ප්‍රමාද වුණොත් පමා වෙන්නේ සූක්ෂම කුසලතා පමණයි. මේ ප්‍රමාදයන් සකස් කරන්නත් පුළුවන්. ඒ වගේම සකස් කළ නොහැකි ප්රමාදයනුත් තිබෙනවා.
උත්තේජනය නොලැබීම නිසාත් ප්‍රමාදයක් සිදුවෙනවා. ආච්චි සීයා එක්ක නම් ඉන්නේ, එහෙමත් නැත්නම් හුදකලා වෙලා නම්, කුසලතා ප්‍රමාද වෙන්න පුළුවන්. මේ කාලයේ උපදින දරුවන්ගේ කථනය පමාවීමක් හොඳින්ම දකින්න තියෙනවා. හේතුව ජංගම දුරකථන, ටැබ් හා පරිගණක භාවිතය නිසා දරුවා දන්නේ ඇහුම්කන් දෙන්න විතරයි. එයා එක්ක කතා කරන්න කෙනෙක් නැහැ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා වසර දෙකක් යනතුරු දරුවාට මෙවැනි මෙවලම් ලබාදීම සුදුසු නැහැ කියලා. මෙවලම්වලට විදාන දෙන්න භාවිත කරන්නේ ඇඟිලි නිසා දරුවා ඇඟිලිවලින් යමක් පෙන්වීම හා ඉල්ලීම සුලබව දකින්න පුළුවන්. හැමදේම ඇඟිල්ලෙන් ඔබන සැනින් ලැබුණු නිසා වැඩිවියට පත්වුණාට පස්සෙත් සියල්ල සිතු සැනින් ඉටුවෙයි කියලා මෙවැනි දරුවන් සිතන්න උත්සහ කරනවා. එය එසේ සිදුනොවන විට ඔවුන් දරුණු මානසික පීඩාවන්ට පවා ලක්වෙනවා.
ඔටිසම් දරුවන්ගේ සංවර්ධනය පමාවනවා. ඒ දරුවන් වෙනම ආකාරයකින් බුද්ධිමත් දරුවන්. නමුත් ඒ බුද්ධි මට්ටම සමාජයට ගලපන්න බැහැ. ඒ අය අනිත් අයත් එක්ක කතා බහ කරන්නේ නැහැ. ක්‍රියාකාරකම් ප්‍රමාදයි. නමුත් බුද්ධියේ කිසිම අඩුවක් නැහැ.
මෙවැනි හේතු නිසා මෙන්ම පරාසයේ අවසාන කාර්තුව දක්වා ප්‍රමාද වන දරුවන් සිටිනවා. ඒ නිසා සැකයක් තිබෙනවා නම් විශේෂඥ වෙෙද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.
සටහන චාපා හංසිනි ආටිගල
ළමා රෝග විශේෂඥ වෙෙද්‍ය
පැතුම් දිසානායක මහතා
සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල
පේරාදෙණිය