free stats

දරුවා විශේෂයෙන් මුල් මාස 4 තුළ මව සමග සන්නිවේදනය කරන ප්‍රධානතම ආකාරය ”‍හැඬීම”‍ යි. දරුවා හඬන්නේ කුමක් සඳහාද යන්න ඉක්මනින් වටහා ගැනීමට මව දක්ෂ වියයුතුයි. එම දැනුම දරුවා සමග කාලය ගත කරන විට අත්දැකීම් සමග ලැබෙනු ඇත. මෙම සටහන ඊට අමතර සහයකි. බඩගින්න, වේදනාව, නිදිමත ආදී පොදුවේ දරුවාගේ හැඬීම සඳහා හේතුවන ප්‍රධාන හේතු කිහිපයකි.

1). තම මව (හෝ තමා රැක බලා ගන්නා වැඩිහිටියා) තමා වෙතට ගෙන්වා ගැනීමට උවමනා වූ විට දරුවා හඬයි.

සැලකියයුතු වේලාවක් තනිවම සිටිවිට කිසිවෙකු හෝ තමා වඩා ගැනීමට දරුවාට අවශ්‍ය වෙයි. මෙවිට තත්. 5-6 ක් හඬා, එය මඳකට නවත්වා තත්. 20ක් පමණ කිසිවෙකු ඊට ප්‍රතිචාර දක්වන්නේ දැයි දරුවා බලා සිටී. කිසිවෙකු හෝ තමා වෙතට නොපැමිණිය හොත් නැවත කෙටි හැඬුමක් හඬයි. මෙබඳු හැඬුම් වාර කිහිපයක් හඬා අවසානයේ නොනවත්වා හඬන්නට පටන් ගනී.

2). බඩගිනි වූ විට දරුවා හඬයි.

මෙයද ආරම්භයේ ඉහත හැඬුමට බොහෝ සෙයින් සමාන නමුත්, ඔබ දරුවා වඩා ගත් පසුද නොනවත්වා හඬන්නට වෙයි. මීට සුලබ හේතුව බඩගින්න විය හැක. කිරි දීම සඳහා තන පුඩුව දරුවා මුව දෙසට ළං කරන විට අදාළ හැඬුම බොහෝවිට නවතී. බොහෝ විට දරුවාට කිරි දීමෙන් තොරව දරුවා නලවා ගැනීමට නොහැකි වනු ඇත.

3). යම් වේදනාවකින් පෙලෙන විටද දරුවා හඬයි.

මෙය අන් අවස්ථාවලදීට වඩා වැඩි ශබ්දයකින්, ඒකාකාරීව හා නොනවත්වා කෙරෙන හැඬුමකි. මුල් අවස්ථාවේදී දරුවා තම උපරිම ශක්තිය යොදා කෑගසා හඬනු ඇත. ටිකෙන් ටික ශක්තිය අඩු වී යත්ම ශබ්ද නගා කෙරෙන හැඬීම අඩුවනු ඇත. නමුත් බොහෝවිට වේදනාව එලෙසම පවතී. දරුවා ගේ වේදනාව උත්සන්න වත්ම හැඬීමද තීව්‍ර වෙයි.

4). ශාරීරික ක්‍රියාවලීන් නිසාද දරුවා හැඬීමට හේතු විය හැක.

මුත්‍රා කිරීමේ හෝ මලපහ කිරීමේ අපහසුතාවන් සුලබ අත්දැකීමකි. මෙහිදී බොහෝවිට දරුවා ඒ මේ අත පෙරලෙමින් හා ඇඹරෙමින් හඬනු දැකිය හැක. ඔබට නිශ්චය කරගත නොහැකි තත්වයකදී වෛද්‍ය උපදෙස් පැතීම ඉතා සුදුසුය.

5). නිදිමත වූ විටද දරුවා හඬයි.

දරුවාට නිදිමතක් දැනුනද, කුමන හෝ හේතුවක් නිසා දරුවාට නිදා ගැනීමට නොහැකියාවක්, අපහසුතාවක් ඇත. මෙම හැඬීම පහසුවෙන් හඳුනාගත හැක. හඬන අතරතුර දරුවා ඈනුම් අරිනු දැකිය හැක. තවද, ඇස් හා කන් අතින් ඇතිල්ලීමද කළ හැක. බොහෝ විට ශබ්දනගා හැඬීමක් නොවේ. සියුම්, නිද්‍රාශීලි හැඬුමකි.

6). යම් අපහසුවක් දැනෙන විටද දරුවා හඬයි.

අතපය වැරෙන් චලනය කරමින් තරමක් කෝපාවිෂ්ටව දරුවා හඬන්නට පුලු‍වන. බොහෝවිට මෙවැනි අවස්ථාවක දරුවාගේ ඩයපරය තෙත් වී ඇත. නොඑසේනම් දරුවාට ඔබ අන්දන ලද ඇඳුම නිසා තද උණුසුමක් හෝ තද සීතලක් දැනීම වැනි හේතුවක් විය හැක.

වෛද්‍ය අරුණි ලියනමාන