free stats

මෙහිදි මොළය හා සුසුම්නාව වටා ඇති පටලය ආසාදනය වීම සිදුවේ. මෙය බොහෝ විට සිදුවන්නේ බැක්ටීරියාව් හෝ වෛරසයක් මඟිනි. මොළයේ උණ තත්ත්වයට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතුය. නැතහොත් දරුවා මරණයට පත්වීමට හෝ ඉතා දරුණු සංකූළතාවලට ලක්වීමට ඉඩ තිබේ. ඕනෑම වයසක දරුවෙකුට මෙනින්ජයිටිස් වැළඳීමේ ඉඩකඩක් පවතින නමුත් මෙය ඉතාම ඉක්මනින් ක-ුඩා දරුවන්ට වැළදේ. ඒ නිසාම මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිසි අවබෝධය ලබාගැනීමෙන් දරුවා දරුණු සංකූලතාවලින් ගලවා ගැනීමේ හැකියාව උදාවේ.

දරුවන්ට මොළයේ උණ ඇතිවන්නේ ඇයි?

  1. දරුවන්ට ඇතිවන බැක්ටීරියා හෝ වෛරස් ආසාදන රුධිරය මඟින් මොළය හා ඒ අවට තරලය සහ පටක වෙත ගමන් කිරීම.
  2. හිසට සිදුවන දරුණු අනතුරකින් පසුව
  3. හිස ආශ්‍රිතව ඇතිවන ආසාදන නිසා
    උදාහරණ මැද කණේ ආසාදන
    සයිනස් ආසාදන

මොළයේ උණ හඳුනාගන්නේ කෙසේද

මෙහිදි ඇතිවන රෝග ලක්‍ෂණ දරුවාගේ වයස අනුව වෙනස් වේ

  1. තද උණ
  2. නිදිමත ගතිය හා අලස බව
  3. නිතර හැඬීම
  4. හිසරදය
  5. වමනය
  6. හිරු එළිය දෙස බැලීමේ අපහසුව
  7. බෙල්ලේ කැක්කුම
  8. සමෙහි රතු හෝ දම් පැහැති පලු මතුවීම
  9. වලිප්පුව
  10. සිහිමද බව

ඉපදී පළමු මස ගතකර දරුවන්ගේ රෝග ලක්‍ෂණ ඉහත රෝග ලක්‍ෂණ වලින් මෙසේ වෙනස් වේ.

  1. තදින් නොනවත්වා හැඬීම
  2. නිඅදිමත බව
  3. උණ
  4. කිරි උරා බීමට මැලිකමක් දැක්වීම
  5. තෙල්වල උඩට නෙරා පිහිටීම

ප්‍රතිකාර මොනවාද

ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් සංකූලතා වළක්වාගත හැකියි. ප්‍රතිකාරවලට ප්‍රථම ලේ, මුත්‍ර සහ කොන්ද විද ලබාගන්නා පටක තරලය පරීක්‍ෂා කිරීම සිදුවේ. එමඟින් මෙනින්ජයිටිස් ඇතිබව හඳුනාගනියි. දරුවාට ඉක්මනින් කැනියුලාවක් ආදාරයෙන් ප්‍රතිජිවක ලබාදීම අත්‍යාවශ්‍ය වන්නේ මින් අනතුරුවයි. දින 14 ක් හෝ 21 ක කාලයක් මෙම ප්‍රතිකාරය ලබාදීමට සිදුවේ.

කොන්ද විදීමේ පරීක්‍ෂණය අත්‍යාවශ්‍ය ද

මෙම පරීක්‍ෂණය කිරීම මඟින් මොළය වටා ඇති පටක තරලයෙහි විශබීජ ඇතිබව දැනගැනීමට අවකාශ ලැබේ. තවද එම විශබීජ සඳහා ඉතාමත් සාර්ථක ඖෂධ වර්ග හඳුනාගැනීමට අවකාශ ලැබේ. එම නිසා දරුවාගේ ප්‍රතිකාර සාර්ථක කරගැනීමට මේ පරීක්‍ෂණය ඉතාමත් වැදගත් වේ.

මොළයේ උණ ඇතිවුණු දරුවෙක්ට ඇතිවිය හැකි සංකූලතා

  1. වලිප්පුව
  2. ඇසීමේ ගැටලු
  3. පෙනීමේ දුර්වලතා
  4. ඉගෙනුම් අපහසුකම් මන්ද බුද්ධිකතාවය
  5. මානසික සහ කායික වර්ධනයේ පසුබෑම රෝගය උත්සන්න වන අවස්ථාවේ දරුවාට ඇවිදීමේ හා කතා කිරීමේ හැකියාව අවම වේ. මෙවැනි දරුවන් cerebral palsy දරුවන් ලෙස හඳුන්වයි.
  6. ශරීරයේ එක් පැත්තක් දුර්වල වීම
  7. ප්‍රතිකාර පමාවීමෙන් මරණය සිදුවීම

මොළයේ උණ වළක්වාගන්නේ කෙසේද?

  1. එන්නත් ලබාදීම

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් මොළයේ උණ වැළැක්වීමේ එන්නත් මාලාව දරුවන් වෙත ලබාදේ. මේ මඟින් HIB, measles, mumps, polio, Japanese encephalitis රෝග සඳහා ප්‍රතිශක්තිය ලබාදේ.

  1. මෙම වෛරස් හා බැක්ටීරියා සම්ප්‍රේශණය සිදුවන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටය. එය වාතය හරහා හෝ ස්පර්ශය මඟින් බෝ වේ.

දරුවාට නිවැරදිව අත් සේදීමට ඉගැන්වීම, ආහාර ගැනීමට පෙර හා පසු පොදු වාහනවල ගිය පසු, පාසල අවසන් වී නිවසට ආ පසු, අත් සේදීම අනිවාර්යය වේ. අසනීප සහිත පුද්ගලයන්ගෙන් දරුවා වෙන්කර තැබිය යුතුයි. පිඟන්, තුවා, ඇඳ ඇතිරිලි වැනි පුද්ගලික භාණ්ඩ වෙන වෙනම තබා පරිහරණය කිරීමත් සුදුසු වේ.

  1. මෙනින්ජයිටිස් ආසාදිත පුද්ගලයකු සමඟ සමීප සබධතා තිබූ අයට රෝගය වැළැක්වීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම.

කුඩා දරුවන්ට මෙනින්ජයිටිස් බහුලව ඇතිවන්නේ ඔවුන්ගේ මොළය තවමත් වර්ධනය වෙමින් පවතින නිසයි. නමුත් හොදින් වර්ධනය වුණු කෙනෙකුගේ මොළයට විෂබීජ ඇතුළුවීම සිදුවන්නේ ඉතාමත් අවම මට්ටමින්.

වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
මූලික රෝහල කිරිබත්ගොඩ

සටහන චාපා හංසිනි ආටිගල