free stats

රැකියාවක් එක්ක ගෙයක් දොරක් පාලනය කරන එක එසේ මෙසේ යුද්ධයක් නම් නෙමෙයි. කවුරු නැතත් ගෘහණියෝ හැමෝම අත් දෙකම උස්සල මේ කතාවට එකඟ වෙයි. ගෙදර යුද්ධෙත් ලොකුම රාජකාරිය වෙන ඉවිල්ල ගැනයි මේ. මොන රාජකාරිය තිබ්බත් දවසේ තුන් වේලටයි, ඊට අමතරව පොඩි පොඩි අමතර වේල් වලටයි ගෙදර ජනතාවගෙ බඩට දාගන්න දෙයක් උයන්නම එපැයි. අනික් දහසකුත් එකක් වැඩ රාජකාරි, රැකියාව, යුතුකම් අතරෙ මේ ඉවිල්ල පහසු කරගන්න කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් කීපයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ.

  1. Bulk Cooking

ලංකාවේ සමහරුන්ටනම් අපොයි කියල හිතෙන්නත් පුළුවන් මේ ක්‍රමය. හැබැයි අපිට අලු‍ත් මාතෘකාවක් උනාට හුඟක් පිටරටවල්වල පහසුවට කරන වැඩක් මේ කියන්නේ. සරලවම කතාව මෙහෙමයි. ගෙදර ඉන්න නිවාඩු දවසක් අරගෙන කෑම වර්ග සෞඛ්‍යාරක්ෂිතව හදල පිරිසිඳු භාජන වල අහුරල ෆ්‍රිජ් එකට දාල සතියක් වගේ කාලයක් තියාගෙන කන එක. හුඟක් ආහාර වර්ග මෙහෙම සතියක් වගේ කාලයක් තියාගෙන කන්න පුළුවන්. උදේට කලබලේ වලන් හට්ටි වටකරගෙන උයනවට වඩා බතක් උයාගෙන ෆ්‍රිජ් එකෙන් ගත්ත එළවලු‍ රත් කරගෙන බෙදාගෙන යන්නයි තියෙන්නෙ. හැබැයි කෙනෙකුට මේ ක්‍රමය අප්පිරියයි වගේ හිතෙනවනම් අපේ ලංකාවෙ ක්‍රමයට අපි කවදත් කල් තියාගන්න පුළුවන් වෙන්න හදන අඹ මාළුවක්, අච්චාරුවක්, බැදුමක්, මාළු ඇඹුල් තියලක් වගේ දේවල් එකපාර ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකට දාගෙන අවශ්‍ය වෙලාවට අරන් කන්න පුළුවන්.

  1. Bulk Cutting

මේකත් තව උදේ යුද්ධේ පහසු කරන ක්‍රමයක්. උයල තියන්න අකමැතිනම් නිවාඩු දවසක් වෙන් කරගෙන සතියකට වගේ ඇතිවෙන්න එළවලු‍, පලා වර්ග කපලා වෙන් කරලා තියාගන්න. එහෙම සතියකට පාරක් දවසකට ඇවිල්ල පුංචි මුදලක් අරන් එළවලු‍ කපල දෙන්න කෙනෙකුත් ගමේ අහල පහලින් ඕනනම් හොයාගන්නත් පුළුවන්. තමන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණ වලින් කපලා පිරිසිඳු භාජන, එහෙමත් නැත්තම් සිප්ලොක් බෑග් වගේ ඒවගෙ දාල ෆ්‍රිජ් එකට දැම්මම එළවළුත් නැවුම්ව සතියක් දෙකක් තියාගන්න පුළුවන්. බෝංචි, බණ්ඩක්කා වගේ දේවල් මෝරන වේගයත් අඩුයි එතකොට. හැබැයි කහට බැදෙන කෙසෙල්මුව, අලු‍කෙසෙල්, තලන බටු, වගේ එළවළු නම් මෙහෙම කපල කල්තියාගන්න බැහැ. ඒ ගැනත් අවධානයෙන් මේ වැඩේ කරන්න ඕන.

  1. අධි ශීතකළ කෑම

තුන්වේලටම ඉව්වත් තවත් යුද්ධයක්නෙ හවසට පොඩ්ඩොන්ගෙ බඩ පුරවන එකයි උදේට ඉස්කෝලෙට කෑම පෙට්ටි පුරවන එකයි. ඒ ඔක්කොටම හොඳ විසඳුමක් මේ. රෝල්ස්, කට්ලට්, පැටිස්, එළවලු‍ රොටි වගේ ඕනෑම කෑමක් මෙහෙම හදල අධි ශීතකරණයේ ගබඩා කරල අවශ්‍ය වෙලාවට බැදල, බේක් කරල කෑමට ගන්න පුළුවන්. කාලය හුඟක් ඉතුරුවෙන හැමෝගෙම හිත සතුටුවෙන, කඩ කෑම අඩුවෙන එකෙන් සල්ලිත් ඉතුරුවෙන, සෞඛ්‍යයත් ආරක්ෂා වෙන හොඳ වැඩක් මේකත්.

  1. පේස්ට් වර්ග

උදේට උයන්න ගියහම තවත් කාලෙ වැයවෙන වැඩක් තමයි බී ලූණු, සුදු ලූණු, ඉඟු‍රු සුද්දකරන්න, කපන්න තලන්න යන එක. ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ දේවල් පේස්ට් එකක් විදිහට හදාගෙන ශීතකරණයේ ස්ටෝර් කරල තියාගන්න එක. දැනටත් අපිට අබ, සුදු ළූණු වගේ පේස්ට් වර්ග වෙළඳපොලේ ගන්න තියෙනව. වියදම තමා ටිකක් ඉහළ. හැබැයි මේ දේවල් සරලවම ගෙදරදීම හදාගෙන ශීතකරණයේ දාල තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. උදේට උයන්න යන කලබලේ ටිකක් හරි අඩුකරගන්න ලොකු උදව්වක් මේ පේස්ට් වර්ග.

  1. One-Pot Meals

මේ වන්පොට් මීල්ස් කියන ක්‍රමය හුඟක්ම ප්‍රසිද්ධනම් යුරෝපා රටවල. හැබැයි ලංකාවෙත් පහසුව බලන ගෘහණියෝ හුඟක් දෙනෙක් දැන් මේ ක්‍රම වලට හුරුවෙමින් ඉන්නව. වන්පොට් මීල්ස් කියල කියන්නෙ හට්ටි මුට්ටි තුන හතරක් වටකරගෙන උයන්නෙ නැතුව සබටරුාසැබඑි කිහිපයක් එකම පොට් එකකට දාල හදාගන්න ආහාරයකටයි. හුඟක් භාජන වල ව්‍යාංජන කීපයක් උයන කාලය වගේම ඉවරවෙලා භාජන ගොඩක් හෝදන්න වෙන එකත් අඩු කරගන්න පුළුවන් මේ ක්‍රමය නිසා.

  1. පහසු සරල රෑ කෑම

පහසුවම විතරක් නෙමෙයි. සෞඛ්‍යය ගැන බැලු‍වමත් මේ සරල රෑ කෑම වේල් කියන එක හොඳම හොඳ විසඳුමක්. අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ උදේට දවල්ට මිස් වෙන කෑම වේල රෑට නිදහසේ කන්න. ඒකත් හුඟක්ම රෑ වෙලා. හැබැයි ශරීර සෞඛ්‍ය ගැන හිතනවනම් ඉක්මනින්ම අතඇර ගන්න ඕන නරක පුරුද්දක් තමයි රෑට හුඟක් කෑම කන එකයි හුඟක් රෑ වෙලා ආහාර ගන්න එකයි. පහසු සරල කෑමක් කියන්නේ ගොඩක් වෙලාවට සැලඩ් එකක්, සුප් එකක්, කෝසස් වගේ වැඩිපුර ඇඟටත් බර නැති ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් කෑම වේලක්. ලොකුවට උයන්න ඕන නැති නිසා ගෙදර අම්මටත් ලේසියි.