සෑම ගැබිනි මවකගේම ඒකායන බලාපොරොත්තුව නිරෝගී දරු ප්‍රසූතියක් සිදු කිරීමයි. මේ සදහා කාන්තාවක් ගැබිනියක් වූ දා පටන් ලබා ගන්නා පෝෂණය ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍ය කාන්තාවකව සිටි අවධියට වඩා ගැබිනි අවධියේදී ඇයගේ පෝෂණ අවශ්‍යතා ප්‍රමාණාත්මක බවින් ඉහළ යාමක් සිදුවෙනවා. ගර්භණී සමයේදී මවක් විසින් ආහාරයට ගත යුතු ආහාර ප්‍රමාණය ඇයගේ ක්රියාශීලිතාවය හා ගර්භණීභාවයට පෙර ඇය සතුවූ ශරීර ස්කන්ධ දර්ශකය මත වෙනස් වීමට ලක් වෙනවා. මුල් මාස 3 තුළදී මවගේ පෝෂණ අවශ්‍යතාවයන් ඉහළ යන්නේ සුළු වශයෙන්. නමුත් අවසාන මාස 3 තුළදී මෙම අවශ්‍යතාව අධික වීමක් සිදු වෙනවා. මෙහිදී ගැබිනි මවක් ලබා ගන්නා කෙටි ආහාර වේල්වල පෝෂණය ඉතාම වැදගත්. මේ නිසා හැකි සෑම අවස්ථාවකම සියලු ආහාර කාණ්ඩයන්ට අදාළ විවිධ ආහාර වර්ග ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි.
■ ගර්භණී සමයේදී වැදගත් වන ක්ෂුද්‍ර පෝෂණය
ගර්භණී මවකට ගැබිනි සමයේදී ක්ෂුද්‍ර පෝෂණය හොඳින් ලැබීම අවශ්‍ය වෙනවා. ෆොලේට්, යකඩ, කැල්සියම්, විටමින් A අයඩීන්, තන්තු මෙම ගර්භණී සමයේදී ඉතාම වැදගත්. ගර්භණී භාවයේ විවිධ අවස්ථාවලදී ක්ෂුද්‍ර පෝෂණ අවශ්‍යතා ප්‍රමාණය වෙනස් වීමක් සිදුවෙනවා. ක්ෂුද්‍ර පෝෂණ ඌනතාවක් ඇතිවුවහොත් එය මවට සේම ඉපදීමට සිටින දරුවාට ද අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.
■ ගර්භණී මවකට ලබා ගත හැකි කෙටි ආහාර වර්ග.
- ඇට වර්ග හා පියලි- -උලුඳු, කඩල, කව්පි, මුංඇට, සෝයා, කොල්ලු වැනි ධාන්‍ය වර්ග. මෙවැනි ධාන්‍ය වර්ග රැයක් වතුරේ පෙඟෙන්නට දමා පසුදින තම්බා කෙටි ආහාරයක් ලෙස ගත හැකියි. ඉතා හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් සේම තන්තු හා සංකීර්ණ කාබෝහයිඩ්රේට්, විටමින්, ඛනිජ ලවණ බහුලව අඩංගුයි. නිර්මාංශ මව්වරුන් ධාන්‍යමය කෙටි ආහාර බහුලව භාවිතයට ගැනීම වැදගත්.
- කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන -කැල්සියම්, විටමින් E , ප්‍රෝටීන අඩංගුයි. කිරි, යෝගට්, මීකිරි, චීස්. කිරි ආශ්රිත නිෂ්පාදන මිලදී ගැනීමේදී හොඳ තත්ත්වයේ ඇසුරුම් හා කල් ඉකුත් වීමේ දිනය පිළිබද සොයා බැලීම අත්‍යාවශ්‍යයි.
- – දිනකට පලතුරු 3 ක් 4ක් කෙටි ආහාර වේල්වලට එක් කර ගත හැකියි. විවිධ පැහැයෙන් යුතු පලතුරු භාවිත කිරීම සුදුසුයි. පලතුරුවල කෙඳි සහිත ගුණය නිසා ගර්භණී අවධියේදී ඇතිවන මලබද්ධය වැනි අපහසුතා ඇති වීම වැළකී යයි. විටමින් ්,ක්,ෑ බහුල පලතුරු මගින් ප්‍රතිඔක්සිකාරක ගුණය විශේෂයෙන් ඇතිකරයි. කෙසෙල්, ඇඹරැල්ලා, දෙහි, දොඩම්, මිදි, දෙළුම්, නාරං නිදසුන්ය.
- එළවළු – තැම්බූ එළවළු, එළවළු සුප්, එළවළු මිශ්‍රකර සෑදු රොටි
- හිතකර පාන වර්ග- තැඹිලි, එළවළු සුප්, පළතුරු යුෂ ගැබිනි මවට හිතකර පානයන්. තේ, කෝපි වැනි පානයන් මගින් ප්‍රධාන ආහාර වේලින් ලැබෙන යකඩ ප්‍රමාණය අවශෝෂණය අඩු කිරීම සිදු වන නිසා ඒවා භාවිත කරන්නේ නම් ආහාර වේලට පැයකට පෙර හා ආහාර ගැනීමෙන් පැය 2 කට පසුව භාවිත කිරීම වඩාත් උචිතයි. කෝලා වර්ගයේ පානයන් භාවිතයද ගැබිණි මවකට සෞඛ්‍යමත් වන්නේ නැහැ.
- තෙල් සහිත බීජ ඇට – රටකජු, ආමන්ඩ්, කජු මද, කොට්ටන්, වට්ටක්කා ඇට ආදිය දිනකට මේස හැදි 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් ගැනීම සුදුසුයි. මෙම ඇට වර්ගවල ෆොලේට් අධිකයි.
- තන්තු සහිත ආහාර – බඩ ඉරිඟු, පැෂන් ෆෘට්, දිවුල්, පේර, බෙලි, කෙසෙල්, පොත්ත සහිත පෙයාර්ස්, රට ඉදි, වියළි මිදි, තැම්බූ කැරට්, බණ්ඩක්කා කෙටි ආහාර වේලක් ලෙස භාවිත කරන්නට පුළුවන්.
ගැඹුරු තෙලේ බදින ලද රෝල්ස්, පැටිස්, මුරුක්කු, පොටැටෝ චිප්ස් හා පැණි රස අධික බිස්කට් වර්ග කෙටි ආහාර වේල් වලට යොදා ගන්නවා වෙනුවට ඉහත සඳහන් කළ පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍යමත් කෙටි ආහාර ලබා ගැනීම ඉතා සුදුසුයි.
අධික ලෙස තරබාරු ගැබිනියක් නම් ඇය අනිවාර්යෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතුයි. අධික කෙට්ටු බවින් යුතු පෝෂණය අඩු ගැබිණියක් නම් ඇයගේ පෝෂණ මට්ටම ඉහළ නංවා ප්‍රමාණවත් බරක් වෛද්‍යවරුන් ප්‍රසවයට පෙර ඇයගෙන් බලාපොරොත්තු වෙනවා. ඉහළ පෝෂණය තත්වයක් ගැබිනි මවකට අවශ්‍ය වන්නේ කුස තුළ සිටින දරුවාගේ වර්ධනයටත්, දරු ප්‍රසූතියෙන් පසු දරුවාට කිරි ලබාදීම සඳහාත් මවගේ ශරීරයේ පටක හා අවයව වර්ධනය වීමට වැඩි පෝෂණයක් අවශ්‍ය කරන නිසායි.
මව ලබාගත් පෝෂණය දරුවා ලැබුණු පසුව දරුවාට කිරි දීමේදී වේගයෙන් වැය වෙනවා. එම නිසා අඛණ්ඩව කැලරි හා ප්‍රෝටීන අඩංගු ආහාර වේල්වලට එක් කර ගැනීම ඉතාම වැදගත්. නිරෝගීමත් දරු උපතකට හා නිරෝගීමත් ප්‍රසවයකට ප්‍රධාන ආහාර වේල්වලට අමතරව නිවැරදි පෝෂ්‍යදායී කෙටි ආහාර රටාවක් අනුගමනය කිරීම ගැබිනි මවට මනා පිටුවහලක් වෙනවා.
සටහන -කුමුදිකා ඩී සපුතන්ත්‍රී –
පෝෂණ වෛද්‍ය විශේෂඥ
වෛද්‍ය රේණුකා ජයතිස්ස අංශ ප්‍රධානී
පෝෂණ වෛද්‍ය අංශය -කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය
සභාපති – ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය