free stats

දශක ගණනාවකට පෙර ළමා විය ගෙවූ දරුවන් සහ අද වර්තමානයේ ළමා විය ගෙවන දරුවන් අතර කියවීමේ රුචිකත්වයේ පැහැදිලි වෙනසක් ඇත. ඉලෙක්ට්‍රොනික් හා තාක්ෂණික මෙවලම්වලින් තොර වූ අතීතයේ දැනුම හා තොරතුරු සොයා ගන්නට තිබූ එකම මඟ වූයේ පොත්පත් කියවීමයි. අද තරම් වෛවාරණ රුවෙන් පැහැයෙන් අනූන වූ පොත්පත් රාශියක් ඒ කාලයේ නොතිබුණද කියවීම ළමා ජිවිතය පුරා මුල් බැස තිබුණි. අද අපේ ළමා පරපුර යන්නේ අති සීඝ්‍ර ගමනකි. ඒ ගමන් මග පුරාම ඇත්තේ නවීන තාක්ෂණයයි. ඇගිලි තුඩග ලෝකයේ සියලු‍ තොරතුරු තිබේ. පොත්පත් පෙරලමින් කාලය ගත කල යුතු නොවේ. නමුත් කියවීම අතින් ඉතාම පසුගාමී ළමා හා යොවුන් පරපුරක් අප සතු බව නොරහසකි. මේ පූර්ව සටහන ලිවීමේ මූලික අරමුණ වන්නේ දෙමාපියන් වන ඔබ ඔබේ දරුවාට කියවීම හුරු කරවන්නේ කෙසේද යන්නට පූර්ව පිවිසීමක් ලෙසය.

දරුවෙකු කියවන්නට හුරු කිරීමේ මුල් පියවර ඇරඹිය යුත්තේ ඔබෙනි. ඔබ කියවන්නට මැලි අයෙක් නම් ඔබේ දරුවාට අනුකරණය හා අනුගමනය කරන්නට අයෙක් නොමැත. පොත්පත් කියවීමට දරුවෙකු පෙළඔවීමේදී පොතක අන්තර්ගතය මෙන්ම නිමාව ඉතා වැදගත් වේ. දරුවෙකු හට මනෝමය ලෝකයේ අපූර්වත්වය කියා දෙන්නට රුසියනු සාහිත්‍ය ඉතාම උචිතය. අපූර්ව අලංකරණයන්ගෙන් යුක්ත වූ ඒ ළමා කතාවල මුද්‍රණ අදටත් අපට ලබා ගන්නට හැකිවීම ඉතාම සුවිශේෂි අවස්ථාවකි. දරුවන්ට කියවීම හුරු කල හැකි පහසුම හා හොදම ක්‍රමය ඔවුන් ළග තබා ගෙන පොත්පත් කියවීමයි. බහ තෝරන අවධියේ පටන් ඒ හුරුව ඔබ අතින් සිදුවිය යුතුය. දරුවන් හට කෑම කවන මොහොත, සෙල්ලම් කරන අතරතුර සහ නින්දට යන මොහොතට පෙර කියවීම හුරු කරවිය හැක. මූලිකවම දරුවා සමග පොතක් කියවීම ඉතාම වැදගත්ය. එතැනදී දරුවාගේ මානසිකත්වය ඔබ වටහා ගත යුතු වෙයි. දරුවාගේ රුචිකත්වයට සමීප වන හා ඒ රටාවට අනුගත වන පොත් තෝරා ගන්න. උදා: සතුන් ගැන කියවන්නට ආසා දරුවාට සතුන් ගැන කියවෙන කතා පොත් තෝරා ගන්න. දරුවන් ග්‍රහලෝක ගැන, අභ්‍යවකාශය ගැන, යන්ත්‍රසූත්‍ර ගැන, විද්‍යාත්මක කරුණු ගැන කියවන්නට ඉතාම ආසාකරන අතර කුතුහලය වැඩෙන වය‍සේදී ඔවුන් හට විද්‍යාත්මක පරිසරයන් ගැන කියාදෙන්න.

දරුවන් පොතට වඩා ජංගම දුරකථනයට, වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනී කාටූන් බැලීම ඇබ්බැහියක්ව ඇති කාලයක දරුවන්ට කියවීම හුරු කරවීමද අභියෝගයකි. එහිදී ඔබ අන්තර්ජාලය වෙත දරුවා පිවිසීම සීමා කල යුතු වන අතර අන්තර්ජාලයෙන් කියවීමට ඇති පහසුකම් අදාල අවස්ථාවේ සපයා දීම වඩා ප්‍රායෝගික වේ. නමුත් ළමා වියේ සිටින දරුවන් අන්තර්ජාලය හා ජංගම දුරකථනයෙන් දුරස් කර ඒ වෙනුවට දරුවන්ට මනා කියවීම් පරිසරයක් ඔබට සාදා දිය හැකි නම් එය පෙරකී තත්වයට වඩා දරුවාගේ කායික මානසික සංවර්ධනයට වැදගත් වේ.

  • දරුවාට මේසයක් ලග පුටුවක් තබා කියවන්නට හුරුකරනවාට වඩා ගහක් යට, නිදහස් පරිසරයක, බිම ඉදගෙන ආදී නිදහස් ඉරියව්වක එය කරන්නට ඉඩ දෙන්න. ඔබට ඇති සීමිත ඉඩකඩ ඵලදායී ලෙස දරුවාගේ කියවීම සදහා යොදා ගන්න. ඔබද දරුවා අසල සිට පොතක් කියවන්න.

දරුවාව පුස්තකාලයට රැගෙනයාම ද ඉතාම වටී. පුස්තකාල පරිසරය තුලින් දරුවාට කියවීම පිළිබද අභිරුචියක් ඇතිවේ. පුස්තකාල සාමාජිකත්වය ලබා දී දරුවාට තමන්ට අවශ්‍ය පොත් තෝරා ගන්නට ඉඩ දීමෙන් ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය නැංවේ.

පාසල් වල කියවීමේ සමූහ වලට දරුවා යොමු කරවීම. එමගින් දරුවන් අතර පොත්පත් හුවමාරුව හා අදහස් බෙදා ගැනීම මගින් කියවීම වැඩි දියුණු වේ.

සෑම මාසයකම දරුවාට පොතක් අරන් දෙන්න. පහසු මිලට ගත හැකි පොත් රාශියක් පොත් සාප්පුවල තිබේ. දරුවාට කැටයක් ලබාදීමට හැකි නම් දිනපතා සුලු‍ මුදලක් හෝ එයට දැමීමට හුරු කරවිය හැකියි. එමගින් පසුකාලීනව ඒ මුදල් වලින් දරුවාට පොත් ගැනීමට ඉඩ ලබා දිය හැකිය. තමන් ඉතිරි කල මුදලින් පොත් ගැනීම මගින් දරුවාගේ කියවීමේ ආශාව වැඩි කරවයි.

කබඩ් එකක් හෝ කියවීම් මුල්ලක් සාදා දෙන්න. පොත් පිළිවෙලට අසුරා ගන්න අයුරු දරුවාට කියා දී පොත් ප්‍රවේශමෙන් රැකගත යුතු බවත් පොත්වලට ආදරය හා ගරුත්වය දැක්විය යුතු බව කියා දෙන්න.

පොත් කියවීමේදී ගුණාත්මක කියවීමක් ඇති කිරීමද වැදගත්ය. වර්තමානයේ ළමා පොත් වල ප්‍රමිතිය හා එහි අන්තර්ගතය දරුවාට පොත දීමට පෙර ඔබ සොයා බලන්න. ළමා මනස යනු හිස් කඩදාසියක් වැනිය. ඊට එක් කරන කරුණු, ව්‍යාකරණ ආදිය ගැන සැලකිලිමත් වන්න.දරුවාට කියවන්නට දෙන පොතකින් දරුවාට යම් පණිවිඩයක් ලබා දෙන්න. එමගින් දරුවාට සිය කියවිමේ වටිනාකම පැහැදිලිවනු ඇත.

දරුවෙකුගේ ජිවිතයේ විශේෂ අවස්ථාවන් හිදී එනම් උපන්දිනය, සිංහල අලු‍ත් අවුරුද්ද, නත්තල වැනි විශේෂ අවස්ථාවලදී දරුවාට පොතක් තෑගි ලෙස දෙන්න. එය දරුවාගේ මානසික සංවර්ධනය සදහා ඉවහල් වේ. දරුවා ලබාගන්නා කුඩා ජයග්‍රහණයකදී වුවත් තෑග්ගක් ලෙස පොතක් ලබා දීම ඉතා වටී.

පොත්පත් කියවීම දරුවකුගේ ජිවිතයේ හොදම විනෝදාංශය කරවීමේ කාර්යය ඇත්තේ දෙමාපිය ඔබ අතය. එය නවීන ලෝකය සමග අද තරමක් අපහසු වී ඇති නමුත් ඔබ දරුවා සමග මනා සමීපත්වයක් පවත්වා ගැනීම තුලින් ඒ කාර්යය පහසු වනු ඇත. ඔබේ දරුවා අන් අය සමග සැසදීම උචිත වන්නේ නැත. දරුවන් සුවිශේෂී වන අතර කියවිමේ රුචිකත්වයද විවිධාකාර වනු ඇත. ඒ නිසා දරුවා අන් දරුවන්ගෙ කියවීම් රටාව හා සැසදීමට නොයන්න. අවශ්‍ය වන්නේ ඔබ ඔබේ දරුවා වටහා ගැනීමය. එය දරුවා කියවීමට උනන්දු කරවීමේ ලොකුම හා පහසුම සාධකය වනු ඇත.

සටහන කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල ,කොළඔ.