free stats

අලුත උපන් දරුවාට ලබා දෙන ප්‍රථම ආහාර වේල අතීතයේ හඳුන්වා දී ඇත්තේ රන්කිරි කටගෑම ලෙසයි. ස්වර්ණ ප්‍රාශන සංස්කාර හෙවත් රන්කිරි කටගෑම ඈත අතීතයේ පටන් පැවති චාරිත්‍රයකි. එසේ වුවත් නව මතයට අනුව මෙම චාරිත්‍රය සාමාජයෙන් ගිලිහි ගොස් ඇත. නමුත් ඉතා සුළු පිරිසක් තවමත් රන්කිරි කටගෑමේ චාරිත්‍රය ඉටු කරන අයුරු දැකගන්නට පුළුවන්. මෙහිදි පිරිසුදු ගලක මව්කිරි බිංදු කිහිපයක් සමඟ රත්‍රං ගලගා දරුවාට ලේහ (දිව ගෑම) කරයි. ඈත අතීතයේ පැවැති මෙම චාරිත්‍රය වර්ථමානය දක්වා පැමිණ ඇත්තේ එහි යම් වටිනාකමක් හා ගුණාත්මක බවක් ඇති නිසා යයි හැඟී යයි.

ස්වර්ණ ප්‍රාශන සංස්කාරය හෙවත් රන්කිරි කටගෑම නිසා දරුවාගේ සංරක්‍ෂණයට, බුද්ධි වර්ධනයට සහ මල පිට කිරීම පහසුවීමටත් හේතු වන බව ආයුර්වේදයේ සඳහන් වී ඇත. රන්කිරි කටගෑම පිළිබඳ පුරාණ ආයුර්වේද ආචාර්යවරු කරුණු පැහැදිලි කර ඇත්තේ මේ අයුරින්ය. දරුවා පිරිසුදු කිරීමෙන් අනතු-රුව ගිතෙල් හා මී පැණි අසමාන ප්‍රමාණයෙන් ගෙන ස්වර්ණ භෂ්ම සමග මිශ්‍ර කර දරුවාට ලේහ කළ යුතුයි. ඉන් අනතුරුව පළමු දිනයේදීම මව පිරිසුදු වී පියයුරු පිරිසුදු කර ගෙන පළමුව දකුණු පියයුරෙන් කිරි බිංදු කිහිපයක් ඉවත්කර ළඳරුවාට කිරි උරා බීමට සුදුසු බව පුරාණ ආයුර්වේද ග්‍රන්ථයක් වන චරක සංහිතා කතෘ චරක ආචාර්යවරයා පවසයි.

එහෙත් සුශ්‍රැත සංහිතා කතෘ සුශ්‍රැත ආචාර්යවරයා සහ අංඨංග හෘදය සංහිතා කතෘ වාග්භට ආචාර්යවරයා රන්කිරි කටගෑම පිළිබඳව දක්වා ඇත්තේ වෙනස් මතයකි.

ඒ අනුව දරුවා ඉපදී ප්‍රථම දින තුන තුළදී ස්වර්ණ ප්‍රාශනය සිදුකර සිව්වන දිනයේ දී දරුවාට දකුණු පියයුරෙන් කිරි ලබාදීම ආරම්භ කළ යුතු බව සඳහන් කරයි.

ඉහත සඳහන් කළ ආචාර්යවරු තිදෙනාම රන්කිරි කටගෑම බිළිදාට ලැබෙන ගුණ පිළිබඳව ප්‍රධාන ලෙසම සඳහන් කර තිබේ. ඊට අමතරව මී පැණිවලින් ව්‍යාධිමත් ගුණය හෙවත් ප්‍රතිශක්තිය, ගිතෙල් දරුවාට මල පිට කිරීම පහසු කරන උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතර, ස්වර්ණ භෂ්ම අඩංගු කිරීමෙන් බුද්ධිය ආදී මානසික ගුණ වර්ධනය වීමත් සිදුවේ. එසේම මෙම ද්‍රව්‍යයන් දිවෙහි ගෑම නිසා දරුවාගේ කිරි උරාබීමේ ශක්තිය ද වර්ධනය වේ.

මීට අමතරව කාශ්‍යප සංහිතාවේ ස්වර්ණ ප්‍රාශනය හෙවත් රන්කිරි කටගෑම පිළිබඳව සඳහන් වන්නේ මෙසේයි. පුර්ව දිශාව අභිමුව දොවන ලද මී පැණි සහ ගිතෙල් අසමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර දරුවාට ලේහ කිරීම කළ යුතුයි.

මෙසේ කිරීමෙන් අලුත උපන් බිළිදාගේ බුද්ධිය, අග්නිය, බලය වර්ධනය වන බවත්, දීර්ඝායුෂ ලැබීමට හේතුවන බවත් සඳහන් කර තිබේ. එසේම සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමට ශරීරයේ වර්ධනය යහපත් වීමට පමණක් නොව රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය මෙන්ම ස්මරණ ශක්තිය වර්ධනය වීමටත් රන් කිරි කට ගෑම බෙහෙවින් ඉවහල් වන බව කශ්‍යප සංහිතා කතුවරයා පවසයි.

වර්තමානයේ දී දරුවා බිහිවීම රෝහලකදී සිදුවන නිසාත්, ඉපදී සුළු මොහොතකදී දරුවාට මව්කිරි දීමට සැලැස්වීම නිසාත් රන්කිරි කටගෑමේ චාරිත්‍රය සමාජයෙන් ඉවත් වී යාම සිදුව තිබේ.

කෙසේ නමුත් අලුත උපන් දරුවා ඉපදී පැය කිහිපයක් ඇතුළත දී ශ්‍රාවය වන මව්කිරි දරුවාට ලබාදීම අනිවාර්යය බවත් ආයුර්වේදයේ සඳහන් වේ.

සටහන අරුණි ජයසේකර

ආයුර්වේද වෛද්‍ය
මංගලා නිරෝෂණි ගුණරත්න
දිස්ත්‍රික් ආයුර්වේද රෝහල
ගාල්ල.