free stats

කුසයේ ඉන්න බබාට ඇහෙන්න කියා හෙඩ් ෆෝන් ස්පීකර් කුස මත තියන්න එපා

වත්මන් සමාජයේ පවතින තරගකාරී බව හමුවේ සහ අධ්‍යාපනය, රැකියාව, ගෙදර දොර වැඩකටයුතු සමාජ වගකීම් යන හේතු සාධක නිසා බාල මහලු භේදයකින් තොරව අපි සියලු දෙනාම විවිධ මට්ටමේ පීඩාවන්ට ලක්ව සිටින්නෙමු. මෙම පීඩනයන්ම නිසාම ඇතැම් පිරිස් උදෑසන අවදි මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම සිටින්නේ අවිවේකිබව නිසා ඇතිවන අසහනකාරීබව අනෙකාගේ කර මතින් මුදාහරිමිනි. මේ නිසා අවිවේකි බවින් මනස සැහැල්ලු කර ගැනීමට සහ වින්දනයක් ලබා ගැනීම මූලික අරමුණ කර ගනිමින් බොහෝ දෙනා ගීතවලට සවන්දීමට හා ගීත ගායනය වැනි සෞන්දාර්යාත්මක ක්‍රියාකාරකම් වල නිරතවීමට පෙළඹී සිටිති.

වෛද්‍ය විශේෂඥ්‍යවරුන්ද විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ, සංගීතය යනු මනස සැහැල්ලු කර ගැනීමට හා සන්සුන් කර ගැනීමට ගත හැකි දිව්‍යමය ඖෂධයක් වන බවයි. සාමාන්‍ය පුද්ගල මනස සැහැල්ලු කර ගැනීමට පමණක් නොව ගැබිනි කාන්තාවන්ට සිය මානසික යහ පැවැත්ම මනාව පවත්වා ගැනීමට සහ කුසෙහි වැඩෙන කලලයේ මානසික පැවැත්මටත් සංගීතය මගින් මනා පිටිවහලක් වන නිසා ආදරණිය අම්මලා වෙනුවෙන් සහ නූපන් කිරි කැටියා වෙනුවෙන් ගැබිනි මවට සංගීතයෙන් ලබා ගත හැකි ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීමට අපි කඳාන දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය රෝහිත ප්‍රදීප් මහතා හමුවුණා.

ගැබිනි සමයේ සංගීතයට සවන් දීම මවට වැදගත්වන්නේ ඇයි?

ගැබිනි කාන්තාවක් යනු සමාන්‍ය කාන්තාවකට වඩා ඉක්මනින් පීඩනයන්ට ලක්වීමට නැඹුරුවක් දක්වන තැනැත්තියකි. ශාරීරික වශයෙන් ඇතිවන වෙනස්වීම්, එයට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුනාගත හැකියි. මීට අමතරව පළමු දරුවා නම් එවැනි මවක් කුස වැඩෙන කලලයේ නිරෝගී බව සහ ප්‍රසූතිය සම්බන්ධයෙන් විවිධ ගැට`ඵ ඇති කර ගන්නා අතර, ඒ නිසාද ඇයට විවිධ පීඩනකාරී හැඟීම් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි. මෙවැනි තත්ත්වයන්ගෙන් අත් මිදීමට නම් මනස වෙනත් ක්‍රියාවකට යොමු කළ යුතුය. ඊට සුදුසුම ක්‍රමයක් වන්නේ සංගීතය කෙරෙහි නැඹුරු වීමයි.

සංගීතයට සවන්දීම සහ ගීත ගායනය නූපන් බිළිදාගේ පැවත්මට බලපෑමක් ඇති කරන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් විශිෂ්ඨ ගණයේ පර්යේෂණයන් රාශීයක් සිදුකර තිබෙනවා. මේ පර්යේෂණ සියල්ලකින්ම තහවුරු වී ඇත්තේ මව සංගීතය කෙරෙහි යොමුවීම කලලයේ මානසික වර්ධනයට බෙහෙවින් පිටිවහලක් වන බවයි. ගැබිනියකගේ දෙවන මාසය වන විට කලල රූපයේ ඇස්, කන් සහ නාසය යන ඉන්ද්‍රියන් ඉතා පැහැදිලිව දැක ගත හැකියි. එසේම පස්වන මාසය පමණ වන විට කලලය සම්පූර්ණයෙන්ම වර්ධනය වන අතර මවගේ කුසේදීම විවිධ ශබ්දයන් ශ්‍රවණය කිරීමේ හැකියාව පවතිනවා. මේ කාලසීමාවේදී මව සංගීතයට ඇහුම්කන් දෙනවිට කුස තුළ සිටින දරුවාද එයට සවන් දෙන අතර, මව සමඟ එක්ව ගීතය රස විදීමට පෙළඹෙනවා. මෙමගින් මව සහ දරුවා අතර අන්‍යනෝනය සබඳතාව වර්ධනය වී දෙදෙනා අතර පවතින සෙනෙහසේ බැදීමද ශක්තිමත් වීමද සිදුවනවා. මෙය දරුවා බිහිව වැඩිවියට පත්වන විට ඔහුගේ යහ ගුණ දර්මයන්ගේ පෝෂණයටද පිටිවහලක් වනු ඇත.

ගැබිනියකට සවන්දිය හැකි ගීත පිළිබඳව කතාකළහොත්…

ලාංකීය ගීත සාහිත්‍යයේ නූපන් කිරි කැටියා සම්බන්ධයෙන් මෙන්ම මව් පිය සෙනෙහස සම්බන්ධයෙන් ලියැවූණු අර්ථවත් ගීත බොහෝමයක් අන්තර්ගතයි. එහෙත් එවන් හරවත් ගීත නූතන පරපුරෙහි මව් පියවරුන් අසා ඇත්දැයි සැක සහිතයි. නිරෝෂා විරාජිනි මහත්මියගේ

‘සුදු ඇත් පොව්වෙක්- සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත්- සිරි යහනේ
පෙරුම් පුරා මා- කුසට පැමිණි බිළිඳු…..
මට රජ පැටියෙක්’

ගීතයට සවන් දීමේදී ගැබිනි මවක් පමණක් නොව ඕනෑම අයෙක් තුළ දරු සෙනෙහස සම්බන්ධයෙන් සොදූරු හැඟීම් සමුදායක් ඇතිවනු නො අනුමානයි. මීට අමතරව ත්‍යාගා එන් එඩ්වඩ් මහත්මියගේ

‘සෙනෙහස රන් සංහාසන හදෙහි මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ
උකුලේ නිදනවා’
යන ගීතය සහ මරියසෙල් ගුණතිලක මහත්මියගේ
‘සිහින නෙ`ඵම් මල් පොකුණු පුරා
මගේ පුතුගේ කිරි සිහිනේ- සුවඳ කළා
මගේ ලොවම ඒ සිහිනෙන්- පහන් වෙලා
කිරි සුවඳ දී මුවගේ- පවන් සළා…’

යන ගීත ගැබිනියකට සවන් දීමට සුදුසු අර්ථවත් ගීත ලෙස හඳුන්වාදිය හැකියි. එසේම බටහිර සංගීතයේ ද මව් කුසේදී දරුවාගේ මොළය වර්ධනයට මෙන්ම මානසික යහපැවැත්මට බලපාන සංගීත ඛණ්ඩ බොහොමයක් නිර්මාණය වී පවතින බවත් සඳහන් කළ යුතුයි.

ගැබිනි මව සංගීතයට සවන් දිය යුත්තේ කෙසේද?

මෙහෙමයි මම මුලින් සඳහන් කළ ආකාරයට සංගීතය කියන්නේ එක්තරා අන්දමක ඖෂධයක්. හැබැයි ඔබ මේ ඖෂධය ගත යුත්තේ ගැබිනි ඔබට ලබා දෙන විටමින් ලබා ගන්නා ආකාරයට නම් නොවෙයි. මොකද බොහෝ මව්වරු විටමින් පෙති බොන්නේ අකමැත්තතෙන්. දරුවට හොඳක් වෙන නිසා පමණයි. එහෙත් ඔබ සංගීතයට සවන්දිය යුත්තේ, සංගීතය කෙරෙහි යොමුවිය යුත්තේ කැමැත්තෙන්මයි. කැමැත්තෙන් එයට ඇබ්බැහි වුනොත් පමණයි ඔබට සහ දරුවාට සංගීතය හා ඒකාත්මික වෙන්න පු`ඵවන්.

එසේම බිළිදාට ඇසෙන්නට යැයි සිතා මහ හඩින් ගීත ගයන්නට හෝ ගීත ඇසෙන්නට සැළැස්වීම අවශ්‍ය නොවන අතර, මෘදු හඩවල් පවා කුසේ සිටින දරුවාට සම්ප්‍රේෂණය වන බව මතක තබා ගන්න. ඔබේ කුසේ වැඩෙන දරුවාට වඩාත් ගැළපෙන්නේ ඩෙසිබල් 70වට වඩා අඩු ශබ්දයි. ඒවගේම මෙම කරුණත් හොඳින් මතකයේ තබා ගන්න, හෙඩ්ෆෝන් හෝ ස්පීකර් කුස මත තැබීම කොහෙත්ම නොකළ යුතුයි. එසේම කළබලකාරී සංගීතයට සවන් දීමද එතරම් සුදුසු නොවේ. ඔබේ කුස තුළ වැඩෙන දරුවාට වඩාත් සුදුසු වන්නේ, ඔහුගේ මෙන්ම ඔබගේ මනසට සහනය ගෙන දෙන්නේ, මෘදු ස්වර සහිත ගීත හා ශාස්ත්‍රීය සංගීත නාදයන්ය.

ගර්භණී සමයේදී ඔබගේ රුචිය අනුව සංගීතය ජීවිතේ කොටසක් කර ගන්න. නිතර ගීත අසන්න. ගායනා කරන්න. රසවිදින්න. එය ඔබටත් නූපන් බිළිදාගේ මතු දවසටත් යහපතක් වනු නොඅනුමානයි.

උපදෙස් – කඳාන දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිළධාරී
රෝහිත ප්‍රදීප් මහතා.
සටහන- හිමාලි ප්‍රියංගිකා