පෙරදිගින් නැගෙන සූර්යා ලෝකය ලොව ඇති සියලු සචේතනික හා අචේතනික වස්තූන් සඳහා ජීවය ලබාදෙන පරිදිම උපන් බිමට ජීවත් වන සමාජයට යහපතක් සේවයක් කිරීමට මනා හික්මීමකින් යුතු උතුම් වු දරුවෙක් දයාද කරන්නට සෑම මවක් පියෙක්ම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම බෞද්ධ පරිසරයක ජීවත් වන අප මෙලොව හා පරලොව දියුණුව බලාපොරොත්තු වන නිසා සෑම විටෙකම තමන්ට වඩා ගුණවත් නැණවත් “අතිජාත දරුවන්” හෝ තමා හා සමාන ගුණධර්මවලින් යුතු ගුණ නුවණින් යුතු සමජාත දූ පුතුන් ප්‍රාර්ථනා කරන අතර අප සමාජයේ වෙසෙන කිසිම මවක් හෝ පියෙක් “අවජාත” හෙවත් ගුණ නුවණින් පිරිහුණු දරුවෙක් සමාජ ගතකිරීමේ බලාපොරොත්තුවෙනි.
මේ අයුරින් ගුණ නුවණින් බබලන දරුවන් පිළිබඳව පැතුම් පතන මා පියන් අවබෝධ කරගත යුත්තේ දරුවන් වයසින් වැඩෙද්දීම එම දරුවන්ගේ බලාපොරොත්තු සිතුම් පැතුම් වෙනස් වෙන බවයි. එම නිසා ගුණ නුවණින් යුතු දරුවන් සමාජයට රටට ජාතියට ආගමට දායාද කිරීමට සිතන සෑම මවක් පියෙක්ම කියාදිය යුතු දේවල් රාශියකි. පාසල් අධ්යාපනපය ලබන අවදිය, උසස් අධ්‍යාපනය ලබන අවදිය, යන කාලසීමාවන් වල දී මිතුරු මිතුරියන් ඇසුරු කරමින් රැකියාවන්වල යෙදි මුදල් උපයන වැඩිහිටි වියේ දී මෙම උපදෙස් ලබාදීමෙන් පලක් නැත. ඒවා කියදිය යුත්තේ ඔබේ තුරුලේ සිටින කුඩා අවදියේ දීයි.
යහපත් දරුවෙක් නිර්මාණය කිරීම සඳහා අවවාද පමණක් දීම ප්‍රමාණවත් නැත. ආදර්ශයෙන් මඟපෙන්වීම සිදුකළ යුතුයි. දෙමව්පියන් ආදර්ශයෙන් දරුවන්ට යමක් පෙන්වා දෙනවිට දරුවා එය ග්‍රහණය කරගනියි. මේ සඳහා නිවසේ හොඳ පවුල් පරිසරයක් සකස් කරගැනීම දෙමව්පියන්ගේ ප්රමුඛ වගකීමකි. එලෙස යහපත් පවුල් පරිසරයක් සහිත තැනක යහපත් දරුවන් සමාජගත වේ.
වෘත්තියෙන් කාර්යබහුල වෛද්‍යවරයෙක් දිනක් සිය දරුවා අමතා මෙසේ ඇසීය.
පුතේ මට අද ලොකු උදව්වක් කරනව ද”
මෙය ඇසු පුතා
පුළුවන් තාත්තා මම මොකක් ද කරන්න ඕන”
අද මම එද්දි පරක්කු වෙනවා ඔයාට පුළුවන් ද අත්තම්මාව නාවන්න”
හා මට පුළුවන් තාත්තේ”
යැයි කියා දරුවා කිසිඳු පැකිලීමකින් තොරව පිළිතුරු ලබා දුන්නේය.
වෛද්‍යවරයා ප්‍රමාදවන සෑම දිනකම ඔහුගේ අම්මා නැහැවීමේ වගකීම බාර දුන්නේ පුතාටයි. දරුවා ඒ කාර්යය කිරීමට ඉදිරිපත් වූයේ ඉතාමත් සතුටිනි. දරුවා තම අත්තම්මා නහවන සෑම වේලාවකම වෛද්‍යවරයා පවසා සිටියේ එමඟින් දරුවාට යහපත උදාවන බවයි. මේ අයුරින් දරුවා නහවන ලෙස ඉල්ලීමක් කරන්නට වෛදයවරයාට හැකි වූයේ දරුවා ඉදිරිපිට ඔහු එම කාර්යය කරන නිසයි. එසේම මවගේ රෙදි වියළා දී තමා ගේ අතින්ම කෑම කැවීම, බෙහෙත් ලබාදීම ආදිය කළ නිසාය. යම් දිනෙක තම වැඩිහිටි වියේ දී දරුවා තම දෙමව්පියන්ට සලකන්නේ ද මේ ආකාරයෙනි.
මෙය දෙමව්පියන්ට උපස්ථාන කිරීම පමණක් නොවේ. වැඩිහිටියන්ට ගරු කිරීම, පංචශීලයේ පිහිටා කටයුතු කිරීම, සතුන්ට කරුණාව දැක්වීම, ආගමට ජාතියට ආගමික නායකයින්ට ගෞරව කිරීම, අසරණයන් පිහිට වීම, උදව් උපකාර අවශ්‍ය මොහොතේ දී උපකාර කිරීම, ඕනෑම කෙනෙකුට පිහිට වීම, ආදිය මිනිසෙකුට රසවිදිය හැකි උතුම් ආධ්‍යාත්මික ගුණාංගයන් බව දරුවාට පෙන්වා දියයුතුයි. එලෙස ආදර්ශමත් ලෙස හැසිරෙන විට එදා ඉතිහාසයේ කිසා ගෝතමිය නිබ්බුත පදවලින් කිව්වා සේ ආදර්ශමත් දරුවෙක් බිහිකළ හැකිය.
වර්ථමාන සමාජයේ ජීවත් වන බොහෝ දෙමව්පියන් ඉන්ද්‍රියන් පිනවීම ඒකායන පරමාර්ථයට බවට පත් කරගෙන තිබේ. එය එසේ වීම නිසා තමාගේ පෞද්ගලිකත්වය පවා අනවශ්‍ය ලෙස දරුවන් ඉදිරියේ විදහා පානු දකින්නට ලැබේ. එයින් ගුණ නුවණීන් පිරිහුනු දරුවන් සමාජයට දායාද වීමේ අවදානමක් පවතියි. එය පවුලට මෙන්ම සමාජයටත් කරදරයක් හිරිහැරයක් වන්නට ඉඩ තිබේ. එසේ නොවී අනාගත පරපුර යහපත් මාර්ගයට ගැනීමට නම් දරුවන්ට ආදර්ශමත් වීම වැදගත් වේ.
දරුවා යහපත් ලෙස සමාජ සබධතා ගොඩනගා ගන්නා විට ඒ තුළින් සතුට, ප්රබෝධය, ආධ්‍යාත්මික සුවය දෙමව්පියන්ගේ සිත් තුළ ඇතිවේ. දරුවන්ගේ සතුට දියුණුව උදාවේ. ඒ අනර්ඝතම දයාදය ලබාදීමට හැකියාව ඇත්තේ දෙමව්පියන්ට පමණී.
සටහන අරුණී ජයසේකර
ගාල්ල, උඩුගම
විද්‍යාකීර්ති පරිවේනාධිපති
පුජ්‍ය වදුරඹ ජිනවංශ ස්වාමීන් වහන්සේ