free stats

අලුත උපන් බිළිඳා සමඟ රෝහලෙන් පිටවන විට මවට ලැබෙන ළමා සෞඛ්‍ය සංවර්ධන පොත ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම ඉදිරි ළමා සායනවලදී දරුවා පිළිබඳව තබන සටහන් සඳහා මෙම පොත යොදාගනියි. මෙම සියලු සටහන් වැදගත් වන්නේ දරුවාගේ පූර්ව ළමා විය සංවර්ධනය සඳහා මවට ලැබිය යුතු සියලු නිදර්ශනයන් මෙහි සටහන් වන නිසයි.

ළමා සංවර්ධන පොතේ අවධානය

මෙම පොත වර්ණ දෙකකින් යුක්ත වනවා. දරුවා ගැහැණු දරුවෙක් නම් රෝස පැහැ පොතක් හිමිවන අතර පිරිමි දරුවෙක් නම් හිමිවන්නේ නිල් පැහැති පොතක්. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ දී ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ගයක් ලෙස වර්ධන ඇගයීම් සහ ප්‍රවර්ධනය හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන නිවැරදි මැදිහත්වීම ලබාගැනීමට මෙන්ම ඒ සඳහා ප්‍රජාව පෙළඹවීම උදෙසා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත ප්‍රයෝජනයට ගනු ලබනවා.

සෞඛ්‍ය සංවර්ධන සටහනේ අරමුණ

අවුරුදු 05 ට අඩු දරුවන්ගේ දිවි සුරැකුම් වර්ධනය හා සංවර්ධනය ප්‍රශස්ත කිරීම

දරු උපතේ දී ඇතිවන වැදගත් තොරතුරු සටහන් කිරීම. දරුවාගේ අවධානම් තත්ත්වයන් කලින් හඳුනාගැනීම

මව්කිරෙන් දරුවා සුරක්‍ෂිත කිරීම

නියමිත වයසේ දී අමතර ආහාර හඳුන්වාදීම

ක්‍රමානූකූල බර, උස, දිග සුපරීක්‍ෂාකාරීව හඳුනාගැනීම

නිරෝගී දරුවන්ගේ වර්ධනය වැඩි දියුණු කිරීම සහ අවධානම් දරුවන් කලින් හඳුනාගෙන ඔවුන් මන්ද පෝෂණයෙන් සහ අධිපෝෂණ තත්ත්වයෙන් වළක්වා ගැනීම

වයසට නියමිත ප්‍රතිශක්තීකරණය ලබාදීම

ළඳරුවන්, කුඩා දරුවන් හා පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ළඳරු හා ළමා සායනවලදී පරීක්‍ෂා කර ගැටළු ඇති දරුවන් කළින් හඳුනාගනිමින් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම

උපතේ සිට වයසට අදාලව දරුවන්ගේ ඇසීම පෙනීම පරීක්‍ෂා කර බැලීමත් ගැටළු ඇති දරුවන් හඳුනාගනිමින් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කිරීම

තම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දෙමව්පියන් අවබෝධය ලබාගැනීම

දරුවන්ගේ සංවර්ධනය පියවර පිළිබඳව සටහන් කිරීම තුළ ගැටළු ඇති දරුවන් කළින් හඳුනාගැනීම

අලුත උපන් බිළිඳුන්, ළඳරුවා, කුඩා දරුවා, පෙර පාසල් දරුවා යන කාණ්ඩවලට අයත් දරුවන්ගේ පෝෂණය, ප්‍රතිශක්තිකරණය හා උත්තේජනය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය

පාසල් වෛද්‍ය පරීක්‍ෂණවලදී දරුවා පරීක්‍ෂා කර සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් සටහන් කිරීම
මෙම සටහන් පොත ඔබේ පහසුව සඳහා මාධ්‍ය කිහිපයකින් විස්තර කර ඇත.

මේ පොතේ 25 සිට 54 දක්වා සිංහල මාධ්‍යයෙන් ද 39 සිට 50 දක්වා දෙමළ මාධ්‍යයෙන් ද විස්තර කෙරේ.

උපතේ සිට අවුරුදු 05 දක්වා ඔබගේ දරුවා රැකබලා ගැනීම පිළිබඳ පොතේ සටහන් කර තිබෙනවා. එය ඔබ කියවා දරුවාගේ සංවර්ධනයට ඒවා යොදාගන්න ඔබට පුළුවන්.

දරුවාගේ සමඟ සෞඛ්‍ය වර්ධනය සටහන් පත ඔබ රැගෙන යා යුත්තේ කුමන ස්ථානවලටද?

ළඳරු ළමා සායනය
විශේෂඥ වෛද්‍ය සායනය
පවුලේ වෛද්‍යවරයා
දන්ත වෛද්‍යවරයා
බාහිර රෝගී අංශය
දරුවා රෝහල් ගතකරන විට
පාසල් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා
පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබ යනවිට

විශේෂයෙන්

ඔබ ජීවත් වූ පළාත දිස්ත්‍රික්කය හැර යන්නේ නම් මේ පොතෙහි “ඊ” කොටස ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙත බාරදිය යුතුයි.

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාල එන්නත් සියල්ල පිළිබඳව මෙහි සඳහන් වන අතර ඊක්‍ඨ එන්නත ලබාදීමෙන් පසු ඒ පිළිබඳවත් මෙහි සඳහන් කරනවා. එය ක්‍ෂය රෝගය වැළැක්වීමේ එන්නතයි. එන්නත් හා ඖෂධ රෝහලෙන් ලබාදෙන විට ඒ සමග ලබාදෙන දැනුම ඉතාම වැදගත්.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ගෘහ පිවිසුම් හා සායනවලදී ඔබව මේ පිළිබඳව දැනුවත් කරනවා. ඔබට ළමා සායන පොත ලබාදෙන මුල් අවස්ථාවේ දී රෝහල් කාර්යමණ්ඩලය මේ සටහන් පිළිබඳව මූලික දැනුම ලබාදෙනවා. ඒ අනුව සටහන් පොතේ සියලු තොරතුරු අන්තර්ගත වී ඇත්දැයි විමසා බැලීම වැදගත් වනවා.

මේ විශේෂ සටහන් පොත මුල සිට කියවන්න

පළමු පිටුවේ තොරතුරු

ඔබේ දරුවාගේ උපතේ සිට තත්ත්ව (APGAR Scope)

උපතේ බර

උපතේ දී හිසේ බර

උපතේ දී දරුවාගේ දිග

මව්කිරි දීම

අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය (සාමාන්‍ය/අසාමාන්‍ය)

විටමින් ලබාදීම

වෛද්‍යවරයා විසින් බිළිඳා පරීක්‍ෂා කලා ද යන්න
ආදි කරුණු රෝහල් කාර්යමණ්ඩලය විසින් සටහන් තබා ඇත්ද යන්න ඔබට බලාගන්න පුළුවන්.

ප්‍රතිශක්තිය පිළිබඳ තොරතුරු

දරුවාගේ ජීවිත කාලය තුළදී ලබාදෙන සෑම එන්නතක්ම සටහන් කිරීමට මෙම පොත භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව රජයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් දෙනුලබන එන්නත් වර්ග මෙන්ම ඔබ පුද්ගලිකව ලබාදුන් එන්නත් වර්ග ද මෙහි සඳහන් කළ හැකිය.

දරුවාගේ සංවර්ධනය මැනීමට

දරුවාගේ උපතේ සිට අවුරුදු 05 දක්වා වයසට අනුව අපේක්‍ෂිත වර්ධනය සිදුවන අනුපිළිවෙල මෙහි සටහන් කර ඇත. සංවර්ධනයේ යම් ගැටළුවක් ඇත්නම් හඳුනාගන්න පුළුවන්.

මේ වර්ධනයට පියවරයන් පමාවන විට හෝ පියවර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පමාවන විට හෝ එක් පියවරයන් පමණක් පමාවූ විට දරුවෙක් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය මුණගැසීම අනිවාර්යය වේ.

මුළු ජීවිත කාලය පුරාම වැදගත්

මේ සෞඛ්‍ය වර්ධන සටහන් පොත ඔබගේ දරුවාගේ ජීවිත කාලය පුරාවට වැදගත්. බිළිඳාට මව්කිරි දීමේ සිට ප්‍රතිශක්තීකරණ අමතර ආහාර ලබාදීම, සංජානනීය ආබාධ හඳුනාගැනීම, උස/බර/දිග ආදී වු වර්ධන මානසික සංවර්ධනය පිළිබඳ මට්ටම් මැනගැනීම අපූර්ව සටහනක් බව සායන වාරවලදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඔබව දැනුවත් කරනු ඇත.

ඔබගේ දරුවා රැගෙන යනු ලබන්නේ පෞද්ගලික රෝහලකට හෝ පෞද්ගලික වෛද්‍ය සායනයකට විය හැකිය. එහෙත් ඔබට අදාළ රෝහලේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සායනවලදී මේ සටහන් පොත පවසන දෑ පිළිබඳව දැනුවත් වීම වැදගත්.

බර ප්‍රස්ථාර සහිත පිටු සටහන

මේ පිටුවේ දරුවාගේ උපන් දිනය උපන් බර සටහන් වෙනවා.

බර සටහන් ප්‍රස්ථාරයේ රතු/තැඹිලි/සුදු/කොළ/දම් පැහැති වර්ණ ඇතුළත් වනවා.

ඔබේ දරුවාගේ බර සළකුණු වන පාට අනුව උග්‍ර බර අඩු දරුවන් රතු වර්ණයෙන් ද, මධ්‍යස්ථ බර අඩු දරුවන් තැඹිලි වර්ණයෙන් ද, අඩු බර අවධානම සුදු වර්ණයෙන් ද, නියමිත බර කොළ පැහැයෙන් ද, අධි බර දම් පැහැයෙන් ද පෙන්වයි. ඒ අනුව තම දරුවාගේ බර පිළිබඳව මවට අවබෝධ කරගත හැකිය.

මේ සටහන් පොත පිළිබඳව ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් නිවැරදි තොරතුරු ලබාගත හැකිය.

ඔබේ දරුවා විශේෂයෙන් රැකබලාගත යුතු නම්

පසු ප්‍රසව වාට්ටුවේ වෛද්‍යවරයා හෝ ළමා රෝග පිළිබඳ නේවාසික වෛද්‍යවරයා ඒ පිළිබඳව පොතේ මුල්ම පිටුවේ සටහන් කරන්න

ඊට අමතරව බිළිඳා විශේෂයෙන් රැකබලා ගැනීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අවශ්‍ය විස්තර පොතේ සටහන් කරයි.

විශේෂයෙන් රැකබලාගත යුතු අවස්ථා

නොමේරු දරු උපත් සඳහා
අඩු උපත් බර
නවජ කුසලතා
සංජානනීය ආබාධ
ප්‍රසූතියෙන් පසු මවගේ තදබල රෝගී තත්ත්වයන්

පළමු මාස 06 තුළ දී පිටිකිරි දීම අවශ්‍ය ද යන්න
මව්කිරි/ආහාර දීමේ අපහසුතා
වර්ධනය අඩාල වීම
මවගේ/පියාගේ මරණ
මවගේ/පියාගේ වෙන්ව යාම, විදේශගත වීම

අවධානයට වඩාත් යොමුවිය යුතු අවස්ථා

සටහන් පොතේ හත්වන (07) වන පිටුවේ ඇති සටහන්

සායනයට පැමිණිය යුතු දිනය, සෞඛ්‍ය අධ්‍යාපන සැසි සඳහා පැමිණිය යුතු දිනය, වේලාව

ආදී එහි සටහන් කර ඇති දෙය ගැන ඔබේ අවධානය ඉතා වැදගත් වනවා.

මවටත් පිටුවක්

පිටු අංක 10 සිට 13 දක්වා බබාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මවක් ලෙස ඔබ අවධානයෙන් සිටිය යුතු අවස්ථා පිළිබඳ උපදෙස් සටහන් වනවා.

උපදෙස්
රජාංගනය ප්‍රාදේශීය රෝහලේ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි
අනූෂා රාජපක්‍ෂ මහත්මිය
මනෝ විද්‍යා උපදේශණ ඩිප්ලෝමාධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය

සටහන මහේෂානි මීගහපොල