කාන්තාවකගේ ප්‍රසූතිය සිදුවන්නේ ගර්භණී සමයේ 38 අතර 40 කාලසීමාවේදීයි. මෙහිදි දරුවාගේ හිස පහලට සිටින සේ සිය ඉරියව්ව වෙනස් කරන්නේ ප්‍රසූතිය පහසුවීමටයි. නමුත් යම් යම් අවස්ථාවලදී දෙපා පහලට පිහිටන අවස්ථා, දරුවා හරහට සිටින අවස්ථා, දකින්න පුළුවන්. මේ තත්ත්වය මවට ප්‍රසූති කාර්යය අපහසු කරනවා සේම අවදානමට ලක් කරනවා. මේ පිළිබඳව කල් ඇතිව දැනුවත් වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි.
අම්මා කෙනෙක් දින 280 කාලයක් ගර්භාෂය දරාගෙන ඉන්නවා. ඒ කාල සීමාවේම දරුවා සිටින්නේ මවගේ ගර්භාෂයේ තිබෙන වෝටර් බෑග් එහෙමත් නැත්නම් වතුර බෑගය තුළයි. සාමාන්‍යයෙන් දරුවා වතුර බෑගය ඇතුලේ පීනනවා. ඒක හරියට ටැංකියක ඉන්න මාළු පැටියෙක් පීනනවා වගේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. ගර්භණී සමයේ මුල් කාලේ බබා ඕන පැත්තකට ඉන්න පුළුවන්. සමහර විට උදේට හිස ශ්‍රෝණිය පැත්තට හරවගෙන ඉන්න බබා හවස් වෙනකොට හිස අම්මාගේ හෘදය වස්තුව පැත්තට හරවගෙන ඉන්නත් ඉඩ තිබෙනවා.
නමුත් තුන්වන ත්‍රයිමාසිකයේ දී දරුවෝ 95% ක්ම හිස ගැබ්ගෙල පැත්තට සිටින විදියට හැරෙනවා. නමුත් 5% ක් හෝ 4% ක් දරුවෝ එහෙම හැරෙන්නේ නැහැ.
දරුවා නිසි පිහිටීමෙන් තොරවන අවස්ථා
Frank breech
මෙම ඉරියව්වේ දී දරුවාගේ පතුල යෝනි මාර්ගය අසල ඇති අතර පපුවට ඉදිරියෙන් කළවා තබාගෙන සිටියි. දරුවාගේ දෙපා ඉහළට පිහිටා තිබෙන අතර දෙපතුල් කන් දෙක දක්වා දිගුව තිබෙනවා.
Complete breech
මෙම ඉරියව්වේ දි දරුවාගේ උකුල සහ දණහිස් නම්‍යශීලි වන අතර කකුල් පහල පතුල් පාදවලින් නැවී තිබෙනවා.
Footling breech
දරුවා හිස ඔසවා සිටින අතර එක් කකුලක් හෝ කකුල් දෙකම පහළට යොමුවී තිබෙනවා. යෝනි මාර්ගයෙන් දරු ප්‍රසූතියක් සිදුවුවහොත් දරුවාගේ පාද පළමුව පැමිණෙනවා.
දරුවා පිහිටීම වෙනස් නොකිරීමට හේතු සහ අවධානම් සාධක
මේ සඳහා බලපාන හේතු කිහිපයක්ම තිබෙනවා. එයි සමහර හේතු අවධානම් වන්නට පුළුවන්.
නොමේරූ දරු ප්‍රසූතියක දී නම් දරුවාට හැරෙන්නට ප්‍රමාණවත් කාලය නොමැති වීම.
ගර්භාෂයේ අසාමාන්‍යතා
මවගේ උපතේ සිටම ඇයට තිබෙන ගර්භාෂයේ හැඩයේ වෙනස්කමක් මේ තත්ත්වයට හේතු වන්නට පුළුවන්. ඒ හැරුණු විට ෆයිබ්‍රොයිඩ් වැනි අසාමාන්‍ය වර්ධනයක් සහිත ගර්භාෂයක් වීම.
වැදෑමහ පහතින් පිහිටා තිබීම
මෙම තත්ත්වය නිසා දරුවාට නිවැරදිව හැරීමට ප්‍රමාණවත් ඉඩක් නොලැබෙන්න පුළුවන්.
තරල අසමතුලිතතාවය
මේ නිසා දරුවා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැරීම හා පෙරලීම සිදුවන්නට පුළුවන්
ඩවුන් සින්ඩ්‍රෝම් හෝ වෙනත් ආබාධිත තත්ත්වයක්
සමහර දුර්ලභ අවස්ථාවන් වලදී මාංශ පේශි හෝ මධ්‍යම ස්නායු පද්ධතිය සමඟ ශරීරයේ වෙනත් ආබාධයකින් පෙළෙනවා. එවැනි දරුවන් නිසි ලෙස හැරෙන්නෙ නැතිවෙන්න පුළුවන්.
එකවර කලල කිහිපයක් ගැබ් ගැනීම
එවිට දරුවන්ට එහා මෙහා හැරවීමේ හැකියාව අඩුවනවා. මේ නිසා හිස පහලට හැරවීමට අපහසු වෙන්න පුළුවන්.
පෙකණි වැල කෙටි වීම
මේ නිසා දරුවාට නිදහසේ සිරුර හැරවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මෙවැනි අවස්ථාවලදි දරුවා බිහිකරවීමේ පහසු ක්‍රමය වන්නේ සිසේරියන් සැත්කමයි. අවසාන මාස කිහිපයේ පැවැත්වෙන සායනවලදී මවගේ උදරය පරීක්‍ෂා කරබැලීමෙන් දරුවාගේ හැරවීම නිසි පරිදි සිදුවනවාද යන්න විමසා බැලෙනවා. ගැටළු ඇත්නම් ස්කෑන් පරීක්‍ෂණයක් මඟින් තත්ත්වය හඳුනාගන්න පුළුවන්. මේ නිසා අවසාන මාස කිහිපයේ මවක් සායන සඳහා සහභාගී වීම ඉතාම වැදගත්. අසාමාන්‍ය පිහිටීම නිසා දරුවා බිහිවීමට පෙර පෙකණිවැල බිහිවුණොත් එය මාරාන්තික ප්‍රතිඵල ඇති කිරීමට හේතු වනවා. අවසාන සායනවලට සහභාගී වීමෙන් ගර්භාෂයේ තිබෙන බොහෝ ගැටළු හඳුනාගත හැකි බැවින් එම සායන මඟහැරීම සුදුසු නැහැ.
දරු ප්‍රසූතිය සඳහා සූතිකාගාරයට ගත් පසු වෛද්‍යවරයා විසින් යෝනි මාර්ගයට ඇඟිලි තුනක් ඇතුල් කර පරීක්‍ෂා කර බලනවා. බොහෝ මව්වරුන් සිතන්නේ එයින් දරුවා හැරවීමක් සිදුකරන බවයි. නමුත් සිදුවන්නේ දරුවාගේ පැමිණීම සඳහා ගැබ් ගෙල කොතරම් දුරට විවෘත වී ඇත් ද යන්නයි. එහිදි පැය හතරකට වරක් පරීක්‍ෂාව සිදුවනවා. දරුවා පැමිණීමට ආසන්න වනවිට ගැබ්ගෙල සෙන්ටිමීටර 10 ක් පමණ විවෘත වියයුතුයි.
විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න
සටහන චාපා හංසිනි ආටිගල