free stats

එන්නත් සඳහා දරුවා සූදානම් කරන්න…………..

ලෝකයේ දියුණුම සෞඛ්‍ය සේවාවක් සහිත රටක් ලෙස සැලකෙන ශ්‍රි ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙල මඟින් දරුවන් අතර බෝ විය හැකි වසංගත රෝග කාණ්ඩ දොළහක් සඳහා ප්‍රතිකාර ලබාදේ. එනම් ක්‍ෂය රෝගය, පෝලියෝ, ගලපටලය, කක්කල් කැස්ස, ඉන්ෆ්ලුවෙන්සා B (නියුමෝනියාව, ස්වසන ආබාධ, මැද කණේ ආසාදන, මෙනින්ජයිටිස්), හෙපටයිටිස් B, සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා, ජැපනිස් එන්සෙපලයිටිස් සහ අලුතෙන් හඳුන්වාදුන් හර්පීස් වෛරස් වැළැක්වීමේ එන්නත මෙයට අයත් වේ. මෙවැනි වෛරසයක් වැළදීමෙන් පසු දරුවාට දරුණු තත්ත්වයේ රෝගාබාධවලට මුහුණ දීමට සිදුවන අතර උදාහරණයක් වශයෙන් පෝලියෝ රෝගය වැළදීම සදාකාලික ආබාධ තත්ත්වයට පත්වීමට හේතුවන අතර ඉතා අඩු වයසෙන් මරණයට පත්වීමට හේතු වේ. මේ නිසාම යම් රෝගී තත්ත්වයක් ඇතිවීමට පෙර ඒ සඳහා කඩිනම් ප්‍රතිකාර ලබාගැනීම මඟින් රෝගය වළක්වා ගැනීම වඩාත් වැදගත් ය.

නමුත් එන්නත් ලබාගැනීමට යාමේ දී දෙමව්පියන් තම දරුවාට එන්නත් ලබාදීමට මැළිකමක් දක්වයි. එයට හේතුව එන්නත් නිසා අතුරු ආබාධ ඇතිවේද යන අනිසි බියයි. නමුත් මේ සියලු එන්නත් නිවැරදි ප්‍රමිතියට අනුව සකස් කර ඇති අතර වෛද්‍ය අනුදැනුම මත ලබාදෙන නිසා බියවීමට අවශ්‍ය වන්නේ නැහැ.

වැදගත් පණිවුඩ

  • පවතින කොවිඩ් තත්ත්වය යටතේ වුවත් සමහර රෝහල් සහ සමහර සායන මඟින් දරුවාට අවශ්‍ය සියලුම එන්නත් ලබාගැනීමට හැකියාව පැවතීමයි.
  • වෙනත් රටක ඉපදී මෙරටට පැමිණියේ නම්, මෙහිදි ලබාදෙන එන්නත් ලබාගෙන නොමැති නම්, ළඟම පිහිටි රෝහලේ ළමා සායනය මඟින් හෝ පවුල් සෞඛ්‍ය සායනය මඟින් එන්නත් ලබාගත හැකිය. එහිදි දරුවා ඉපදුනු රටේ දී ලබාගත් එන්නත් තිබේ නම් ඒ පිළිබඳ වාර්ථා රැගෙන ඒම, ආසාත්මිකතා ඇත්නම් හෝ වෙනත් සෞඛ්‍යමය කරුණු ඇත්නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
  • රජය එක් දරුවෙක් වෙනුවෙන් එන්නත් සඳහා වසරකට විශාල පිරිවැයක් දරයි. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් එවැනි පිරිවැයක් දැරීම අපහසු වුවත් එය සුවිශේෂි වගකීමක් කොට සලකමින් මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය ඒ සඳහා උනන්දු වන්නේ ඉහත රෝග තත්ත්වයන් වැළඳුනහොත් ඒ සඳහා වැයවන මුදල එයටත් අධික වන නිසයි. එමඟින් අනාගතයේ විවිධ රෝගී තත්ත්වයන්ට ගොඳුරු වුණු අසරණ පුද්ගලයන් ව්‍යාප්තිය වැළැක්වීම ජාතික ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාපෘතියේ අරමුණයි.
  • නිසි පරිදි එන්නත් ලබාගැනීම මඟින් දරුවන් අතර යම් රෝගයක් බෝවීම වළක්වාගත හැකියි. එය සමාජ මෙහෙවරකි. එක් දරුවෙක් හෝ නිසි පරිදි එන්නත් ලබා නොගැනීම සමස්ථ සමාජයම අනතුරේ හෙලීමක් ලෙස පෙන්වා දිය හැකියි.

එන්නත් සඳහා දරුවා සූදානම් කරමු

වයසින් මුහුකුරායන දරුවන් එන්නත් ලබාගැනීමට බියක් දක්වනවා. එයට හේතුව වන්නේ සමහර අවස්ථාවල දී දෙමව්පියන් දරුවන් තුළ ඇතිකරන අනිසි බියයි.

ඔන්න දඟ කලොත් නම් ඩොක්ටර් ඇන්ටිට කියලා ඉන්ජෙක්‍ෂන් එකක් ගහනවා මම ඔයාට”

මෙයාට බෙහෙත් විදින්න තියෙන්නේ දගලන එක නවත්වන්න”

මෙවැනි ප්‍රකාශ නිසා දරුවා එන්නත් වලට පමණක් නෙවෙයි රෝහලක් දකිනවිට පවා බියට පත්වෙන්න පුළුවන්. ඒ අයට වෛiවරුන්, හෙදියන් ගැන පවා තිබෙන්නේ අප්‍රසන්න හැඟීමක්. මේ නිසා මුලින්ම දරුවන් තුළ තිබෙන අනිසි බිය නැතිකළ යුතු වනවා.

  • දරුවාට ඇත්ත කියන්න

පුතේ අද ඔයාට ඉන්ජෙක්‍ෂන් එකක් දෙනවා. ඒක රිදෙනවා. ඒත් ඔයා Brave නේ. ඔයා බය නැහැනේ. අනික ඔයා බයවෙලා ඇඩුවොත් අම්මිටත් හොඳ නැහැ”

ඒ වගේම දරුවාට ඉතිහාසයේ සිටි වීර චරිත ඇසුරින් කතාවක් කියාදෙන්න. එවිට දරුවා තුල තමා පිළිබඳව අභිමානයක් ඇතිවනවා. දරුවා ශක්තිමත් කරවීම මවගේ වගකීමක්.

  • අම්මාගේ ආතතිය

ගොඩක් වෙලාවට බබාට බෙහෙත් විදිනකොට බය වෙන්නේ අම්මා. එහෙම අම්මා කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත ආදරය නිසයි. නමුත් ඒ නිසා දරුවා බියට පත්වෙනවා. මුලින්ම අම්මා ශක්තිමත් විය යුතුයි.

  • අඳින ඇඳුම

එන්නතක් ලබාදෙන්නේ අතේ උරහිස ප්‍රදේශයට හො කකුලේ කලව ප්‍රදේශයට. ඒ නිසා බෙහෙත් විදීමේ කාර්යය පහසු කරන ඇඳුමක් අන්දවාගෙන යාම වැදගත් වනවා. හිර ඇඳුමක් ඇදගෙන ගිය විට පත්වන අපහසුතාවයම දරුවා බියට හා කලබලයට පත්කිරීමට ප්‍රමාණවත්. ඒ නිසා ඉක්මනින් ඇඳුම හසුරවා දරුවා හිතන්නත් පෙර බෙහෙත විද ගැනීමට මව උපක්‍රමශීලි වියයුතුයි.

  • අවධානය

එන්නත් ලබාගැනීම සඳහා යන විට එන්නත් ලබාගත් වෙනත් දරුවන් හඬන ආකාරය පිළිබඳව දරුවාගේ අවධානය යොමු වෙනවා. අනෙක් අතට තමන්ට එන්නත විදින අවස්ථාවේ දරුවා එයට අවධානය යොමු කළොත් එයින් බියක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා අවධානය වෙනස් කරන යම් දෙයක් දරුවා වෙත ලබාදීම කලයුතුයි. වඩාත් සුදුසු වන්නේ දරුවා සමඟ වෙනත් යමක් පිළිබඳව කතා කිරීමයි. ඒ අතරතුර වෛද්‍යවරයාට එන්නත ලබාදිය හැකියි.

එන්නත් ලබාගැනීමෙන් පසු එම ස්ථානය තද කිරීම, කැසීම, ඇතිල්ලීම හො උණු වතුරෙන් තැවීම නොකළ යුතුයි. උණ ඇතිවුවහොත් පැරසිටමෝල් ලබාදීම ප්‍රමාණවත් වනවා. යම් විටෙක පෙර එන්නතක් ලබාදෙන අවස්ථාවේ “හුස්ම ගැනීමේ අපහසුව, කලන්තය, සමේ පළු දැමීම, කැසීම” වැනි අසාත්මිකතා ඇතිවුයේ නම් නැවත එන්නතක් ලබාගන්නා අවස්ථාවේ වෛද්‍යවරයාට දැනුවත් කරන්න. දරුවාගේ සායන සටහන් පොත රැගෙන යාම හා එය වෛද්‍යවරයාට ලබාදීම වඩාත් වැදගත්. එවැනි ආසාත්මිකතාවයක් නිසා මින් පෙර පෙර රෝහල්ගත වූයේ නම් එහිදි ලබාදුන් සායනික වාර්ථා ද රැගෙන යන්න. සාමාන්‍යයෙන් පළමු පැය භාගය තුළ අසාත්මිකතාවයක් මතුවන නිසා එන්නත ලබාගැනීමෙන් පසු පැය භාගයක් (1/2) ක් පමණ දරුවා සමඟ සායන ස්ථානයේ රැදී සිටීම වැදගත්.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පුණ්‍යානි බන්දුතිලක
මූලික රෝහල
කිරිබත්ගොඩ

සටහන චාපා හංසිනි ආටිගල