free stats

කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත් වූ පසුව එම ගර්භය හොදින් ආරක්ෂා කර ගැනීම ඇගේ වගකීමකි. ගර්භය හොදින් ආරක්ෂා කර ගන්නා තරමට ඇයට නිරෝගි දරුවෙකු මෙලොවට බිහිකිරිම එතරම අපහසු කාර්යයක් නොවනු ඇත. ගර්භනී තත්ත්වයට පත්ව ගතවන මුල්මාස තුන තුළදී ගර්භය ආරක්ෂා කර ගැනීම සදහා විශේෂයෙන් ගත යුතු ආහාර පාන මොනවාද යන්න පිළිබදව සදහන් කර තිබේ.

විශේෂයෙන්ම මුල් මාස තුනතුළදී ඇතැම් කාන්තාවන්ට ඔක්කාරය වමනය කෑම අරුචිය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. මේ අනුව ඇයට ඝණ ආහාර වෙනුවට දියරමය ආහාර පාන ලබා දීම ඉතාමත් වැදගත්ය. කෑම අරුචිය හේතුවෙන් තමාට ආහාරපාන ලබා ගැනීමට නොහැකි වීම තම කුසතුළ වැඩෙන දරුවාගේ වර්ධනය නිසි ලෙස සිදුනොවනු ඇතැයි යන්න විශ්වාස කරති. බොහෝ මව්වරුන් මානසික බිදවැටීමකට ලක්වේ. එහෙත් එහි කිසිදු සත්‍යයක් නොමැත. ආයුර්වේදයේ සදහන් වන්නේ ගර්භයේ මුල්මාස තුන අසංජාත අංග අවධිය ලෙසයි.
මෙහිදී දරුවාගේ ශරීරයේ කොටස් බෙදා වෙන්වුවද එහි වර්ධනයක් සිදු නොවේ.

එනම් දරුවාගේ අත් පා ශරීර අභ්‍යන්තර අවයවයන් වෙන් වෙන් වශයෙන් බෙදී ගියද ඒවා වර්ධනය නොවන බවකි. එම කාලයේ මව පෝෂ්‍යදායි බර ආහාර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවද ආයුර්වේදයේ සදහන්වේ. විශේෂයෙන්ම දරුවාගේ ස්නායු පද්ධතිය සහ බුද්ධි වර්ධනය සිදුවන්නේද මෙම කාලය තුලදීය. ආයුර්වේදයේ සදහන් වන්නේ මෙම කාලය තුළ ගිතෙල් මිශ්‍ර කිරි ආහාර ගැනීම යෝග්‍ය බවකි. මෙම ආහාරයට ඖෂධීය ද්‍රව්‍ය එකතු කිරීමද වැදගත් බව සදහන්වේ. මෙහිදී දරුගැඹ ස්ථායිව තබා ගැනීම සදහා තැඹිලි වතුර හාතවාරියා කොළ කැද ඉගුරල බතල වැනි ආහාර මගින් ගැඹ රදවා තබා ගැනීමේ ’ශක්තිය හා ගුණය ලැබේ.

පළමු මාස තුනේදී මුංඇට කිරිබත් ගුණදායකය. දේශීය සහල් වර්ගයක් භාවිත කර සාදාගන්නා මුංකිරිබතට මුද්දරප්පලම් හා පැණි ස්වල්පයක් එක්කර මුර්තන් බතක් ලෙස පිළියෙලකර ආහාරයට ගැනීම ගූණදායකය. එහෙත් දියවැඩියා රෝගයෙන් පෙළෙන මවක් නම් පැණි රස අඩංගු ආහාර ගැනීමෙන් වැලකී සිටිම වැදගත් වේ.

ගැඹට මාස තුන සම්පූර්ණ වූ පසුව කලලය වේගයෙන් වර්ධනය වීම ආරම්භ වේ. දරුවා වේගයෙන් වර්ධනය වන්නේ මේ කාලයේදීය. ලේ ධාතුව හා මාංශපේෂීන්වල වර්ධනය මනාව සිදුවෙන කාලයකි. මෙම කාලය තුළ ආහාර අරුචිය මගහැරෙන අතර පෝෂණ පිළිබදව වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු කාලයකි. පෝෂණ ගුණයෙන් යුතු බර ආහාර මෙම කාලයේදී ගත යුතු බව ආයුර්වේදයේ සදහන් වේ.

එළකිරි හා ගිතෙල් අශ්‍රිත නිෂ්පාදිත ආහාර බටර් යෝගට් වැනි ආහාර ගුණදායකය. දරුවාගේ පෝෂණය සදහා මාංශ අඩංගු සුප්වර්ග භාවිත කිරීම ඉතාමත් ගුණදායකය.

මෙම කාලය තුලදී අනවශ්‍ය ලෙස එකතුවන තරල හේතුවෙන් පාද ඉදිමීමට පටන් ගනී. එය පාලනය කර ගැනීම සදහා පොල්පලා කැද ගොකටු කැද භාවිතයෙන් මුත්‍රා හොදින් පිරිසිදු කරයි. එසේම පොල්පලා මගින් මුත්‍රා හොදින් පිටවන බැවින් මුත්‍රා ආසදනය වීමට තිබෙන ඉඩකඩ ඇහිරෙනු ඇත. මෙහිදී අනවශ්‍ය ලෙස තරල එකතු වී පාදවල ඇතිවන ඉදමීම පාලනය කිරීමට හැකියාව පවතී.

අවසාන මාස තුන වන විට දරුවාගේ වර්ධනය හොදින් සිදුවී අවසන් වන අතර අම්මා දරු ප්‍රසවය සදහා සූදානම් වෙන කාලයයි. මේ කාලය මව්කිරි නිෂ්පාදනය සදහා වැදගත්වන කාලයකි. දරුවා බිහිවන විට මවට හොද කිරි ශ්‍රාවයක් සිදුවිය යුතු වේ. මෙහිදී මුදවපු කිරි මදුර රසය එකතුකර ගැනීම වැදගත්ය. ප්‍රසවය පහසු කිරිම සදහා අවේලාවේ බර ආහාර නොගත යුතුය. වාත දෝෂය නිරෝගි මට්ටමේ තබා ගත යුතුය. අවේලාවේ ස්නානය සීතල වතුර නෑම රාත්‍රියේදී බඩපුරවා දැමිමේ ලක්ෂණ පවතින්නේ නම් එවැනි ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි විශේෂයෙන්ම කොස් වැනි ආහාර කිරි වැඩීම සදහා සුදුසු වුවත් රාත්‍රී කාලයේදී ගැනීම වාත රෝග උත්සන්න කිරීමට හේතූවක් වේ. හාතවාරිය කැද කිරිමෝර මෝරමාළු මඩු මාළු තලපත් කිරිකොස් කිරි අගුණ තිත්ත අගුණ කිරිහැන්ද තිත්ත අගුණ වැනි ආහාර මඩුදළු මගින් කිරි වර්ධනය සිදුවෙනවා.

                 කොළඹ විශ්ව විද්‍යාලීය
                 දේශීය වෛද්‍ය විද්‍යායතනයේ 
                 කාන්තා රෝග පිළිබද ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය
                 කෞමදී කරුණාගොඩ 
                 සටහන  ශ්‍රියානි විජේසිංහ