free stats

කිසිදා වෙනස්කළ නොහැකි සිදුවීම් හෝ
පුද්ගලයන් නිසා ඔබේ හිතේ සාමය නැතිකරගන්න එපා.

කාර්යබහුල වීම, අධික වැඩ ප්‍රමාණය නොනවත්වාම ඔබව හදිසි කේන්තියට පොළබවන බව අපි දන්නවා. ඔබත් දන්නවා ඇති. මේ කේන්තිය ඇත්තෙන්ම සාමාන්‍ය කේන්තියට වඩා වෙනස් වෙන්නේ ඒක ආතතිමය තත්ත්වයක් නිසයි. ඔබ ආතතියෙන් ඉන්න වෙලාවට තවත් කෙනෙක් කරන පුංචි විහිළුවක් වුණත් මහ දරුණු කේන්තියකට පෙරලෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඒ හදිසි කේන්තිය පාලනය කරගන්න ඔබ වඩාත් උනන්දු වියයුත්තේ.

පුංචි පැටියෙක් ගෙදර ඉන්නවා නම් බොහෝ වෙලාවට එයාගේ වැඩ කටයුතු එක්ක ඔබට සෑහෙන්න කැපවෙන්න සිදුවෙනවා. එයා දඟයෙක් නම් පොඩ්ඩක්වත් කියන දේ අහන්නේ නැත්නම් එක වැඩේ දෙක කරනවා නම් තත්ත්වය මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔබගේ ඉවසීම නැතිවෙන්න මේ වගේ දේවල් ලොකු හේතු බවට පත්වෙන්නේ නොදැනුවත්වමයි. කාලයක් තිස්සේ පුරුද්දක් විදියට කේන්තිය ඇතිවුණාම අවසානෙදී ඒ කේන්තිය ඔබටම හිරිහැරයක් වෙන්න පටන් ගන්නවා. ඒ කේන්තියම ආතතියක් වෙන්න පටන්ගන්නේ ඊට පසුවයි. සමහර වෙලාවට ඔබේ මේ ආතතිය සහ කේන්තිය දරුවාට අනිසි විදියට බලපානවා. ඒ බව ඔබට තේරෙන්නෙ නැහැ. ඔබට අධිකව කේන්ති යනවා නම් දරුවා නිවසේ දී නිහඬව බියෙන් සිටියත් පාසලේ දී අනෙක් දරුවන්ට හිරිහැර කරමින් දරුණු ලෙස හැසිරෙන්නට ඉඩ තිබෙනවා.

හිතුවක්කාර දරුවන් හෝ දඟකාර දරුවන් බොහෝ දෙනෙකුගේ නිවසේ ජීවිතය පිළිබඳව අවධානය යොමු කළොත් මේ තත්ත්වය හොඳින් වටහා ගන්න පුළුවන්. බොහෝ විට එයට හේතුව වන්නේ එවැනි දරුවන් දෙමව්පියන්ගේ කේන්තිය නිසාම නිවස තුළ දැඩි බියෙන් ජීවත් වීමයි. ඔබේ කේන්තිය ඔබ විසින්ම පාලනය කරගැනීමට සිතිය යුත්තේත් මේ නිසයි. වයස අවුරුදු තුන සිට අවුරුදු පහ දක්වා කාලය දරුවකුගේ ජීවිතයේ වර්ධනයේ සුවිශේෂිම කාලවකවානුව නිසා මෙම වයස් සීමාවේදී ඔබේ පාලනය කළ නොහැකි කේන්තිය නිසා දරුවකුට සිදුවන හානිය නැවත යථාතත්ත්වය පත්කළ නොහැකියි. අන්තර්ජාලය භාවිතයෙන් හෝ දරුණු ගණයේ අපරාධ කළ සහ අපරාධවලට ලක්වු පුද්ගලයන් පිළිබඳව කියවීමට ඔබට අවස්ථාව ලැබුණොත් ඔබේ කේන්තිය දරුවාට කරන හානිය වටහාගන්නට පුළුවන්.

අන්න ඒ නිසාම ඔබේ පහසුව වෙනුවෙන් කේන්තිය පාලන කරගන්න ක්‍රම කිහිපයක් පිළිබඳව කතාකරන්න අපි හිතුවේ. ස්මාර්ට් යුගයක ජීවත් වෙන නිසා ටිකක් කල්පනා කලොත් ඔබට වුණත් ඔබටම ගැලපෙන කේන්තිය නිවිමේ ක්‍රම හඳුනාගන්න අවස්ථාව තිබෙනවා.

  1. කියන්න කලින් හිතන්න.

ඔබට කෙනෙකුගේ හිත රිදවන එක හරිම පහසුයි. නමුත් මුළු ජීවිත කාලයම කැපකලත් රිදවු සිතක් නැවත යථාතත්ත්වයට පත්කරන්න අපහසුයි. ඒ නිසා ඔබ වචනයක් පිටකරන්න කලින් කිහිප වතාවක් ඒ ගැන සිතන්න. මේ අභ්‍යාසය එක්වරම කරන්න අපහසුයි. ඒ නිසා කාලයක් තිස්සේ ඉවසීමෙන් වචන භාවිතයට හුරුවීම වැදගත් වනවා. ඕනම අදහසක් ප්‍රකාශ කරන්න කලින් ඔබ තරමක් වෙලාව අරගෙන ඒ ගැන හිතලා බලන්න. මොකද කෙනෙක් ඔබේ හිත රිද්දනවට ඔබ කැමති නැහැ වගේම ඔබෙන් හිත රිදව ගන්න අනිත් අය කැමතිත් නැහැ. ඒක සමීප සම්බන්ධතාවයක් ද දුරස්ථ සම්බන්ධතාවයක් ද කියලා වෙනසක් නැහැ. ඕනම සම්බන්ධතාවයකදී ඒ කතාව යථාර්ථයක්.

  1. ඔබව පාලනය කරගන්න

    ඔබේ කේන්තිය පාලනය කරගැනීමේ වගකීම තිබෙන්නේ ඔබටයි. එය තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබ වෙනුවෙන් ඔබේ පවුලේ අය වෙනුවෙන් ඔබේ කේන්තිය පාලනය කරගැනීම කළ යුතු වෙනවා. මෙයත් කාලයක් තිස්සේ පුහුණු වියයුතු දෙයක්. අපහසු නැහැ. මුලින්ම ඔබ ඔබේම කේන්තිය තේරුම් ගන්න. සමහර විට සැමියා නිසා, දරුවන්ගේ දඟකාරකම් නිසා ඔබ කේන්තියට පත්වෙනවා. අනෙක් අයට කේන්ති කරවිය හැකි තරම් ඔබ දුර්වලයෙක් නොවිය යුතු බව ඔබ ප්‍රථමයෙන්ම තේරුම් ගතයුතුයි. ඒ අනුව කේන්ති නොගෙන සිටීමට තරම් ඔබේ මනස පුහුණු කළ යුතුයි. කේන්තිය කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් කාලාන්තරයක් තිස්සේ කේන්ති ගැනීම ඔබටම හානිදායක ලෙසින් ඔබව ගිලගනිමින් වර්ධනය වනවා.
  2. ව්‍යායාමයක් පුහුණු වෙන්න

කේන්තියට හේතුවන ආතතිය පාලනය කරගැනීමට ව්‍යායාම බොහොම වැදගත් වනවා. ඉතින් ඔබට කේන්තියක් ඇතිවන වේලාවට ඔබ ඒ කාරණයෙන් ඉවත් වෙන්න. ඔබව කේන්ති කරන පුද්ගලයාගෙන් ඉවත් වෙන්න. වෙනත් කටයුත්තකට යොමු වෙන්න. වීඩියෝවක් නරඔන්න. එළියට යන්න, ඇවිදින්න, දුවන්න. ඔබ කේන්තියට ඔබව ගිලගන්න ඉඩ දෙනවා වෙනුවට ඔබ ඔබේ කේන්තිය ගිල දමන්න.

  1. වැඩකට නැති දේට කේන්ති ගන්න එක නවත්වන්න

සමහර වෙලාවට ඔබ කේන්ති ගන්නේ වැඩකට නැති දේවල්වලට. මේ බව තේරුම් ගන්න. උදාහරණයක් විදියට ඔබේ සෙරෙප්පු දෙක ගෙදර සුරතලයට ඇතිකරන බල්ලා කෑවා කියලා ඔබ බල්ලට බැන්නට වැඩක් නැහැ. සතෙක් කියන්නේ බුද්ධියෙන් අඩු කෙනෙක්. ඔබේ සපත්තුවේ වටිනාකම, එහි ඇති ප්‍රයෝජනය එයා දන්නේ නැහැ. හොඳම දේ වෙන්නේ සතෙකුට ගන්න බැරි තරම් ආරක්‍ෂිත තැනක ඔබේ වටිනා දේවල් තබන එකයි. දරුවන් සම්බන්ධව ගත්තත් මේ කාරණය ඒ ආකාරයෙන්ම වලංගු වෙනවා. දරුවන් දඟකාරයි. ඒ අයට ඔබට වගේ සියල්ල තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් දඟකාරකම් කරන විට ඔබ ඉවසිය යුතුම වෙනවා. හිත නොරිදෙන පරිදි ඔවුන්ට වරද තේරුම් කරදියයුතු වනවා. ඒ වගේම දරුවන්ගේ අධික දඟකාකම්වලට ඔබේ කේන්තියත් සමහර විට හේතුවෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් තේරුම් ගන්න.

  1. විසඳුම් සොයාගන්න

නිතරම දඟකරන දරුවාගේ දඟකාරකම් ඔබට බාධාවක් නම් ඒ සඳහා විසඳුමක් සොයාගන්න. දරුවාට අතින් පහර දෙනවාට හෝ බනිනවාට වඩා හොඳින් තේරුම් කරදීමට උත්සහ කරන්න. නිවසේ කටයුතු සැලසුම් කරන්න. උදෑසන කටයුතු පහසුකරගැනීමට රාත්‍රියේ සූදානම් වෙන්න. වැඩ ගොඩගසාගන්න එපා. ශක්තිමත් වෙන්න. කිසිදා වෙනස්කළ නොහැකි සිදුවීම් හෝ කිසිදා වෙනස්කල නොහැකි පුද්ගලයන් නිසා ඔබේ හිතේ සාමය නැතිකරගන්න එපා.

  1. විවේචනය නවත්වන්න

විවේචනය හෝ බැනීම නවත්වන්න. සමහර විට සැමියාගේ පවුලේ අනිත් අයගේ සහය ඔබට නොලැබෙනවා ඇති. නමුත් කේන්තිය එයට විසඳුමක් නෙවෙයි. ඒ නිසා ඔවුන් සමඟ කතා කරන්න. උදව් ඉල්ලන්න. එවිට ඔවුන් ඔබට උදව් කරනවා. ඔවුන් ඔබට උදව් නොකරන්නේ ඔබට උදව් අවශ්‍ය නැති බව සිතාගෙන වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔවුන්ගෙන් උදව් ඉල්ලාගන්න.

  1. සමාව දෙන්න

මේ ලෝකයේ තිබෙන සුන්දරම සහ වටිනාම පරිත්‍යාගය සමාව දීමයි. ඒ නිසා ඔබට වැරදි කරන මිනිසුන්ට සමාව දී ඔවුන් සිතින් අමතක කරන්න. වරක් බුදුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. “කෙනෙකුට සමාව දී අත්හැර දැමීම ඔහුට දිය හැකි ලොකුම දඩුවමයි.” ඔබට හිරිහැර කළ නොවටිනා පුද්ගලයින් තරහක් කේන්තියක් ලෙස හෝ මනසේ තබාගැනීම ඔබ ඔවුන්ට දෙන අතිරේක වටිනාකමක් වනවා. ඒ නිසා නොවටිනා පුද්ගලයින්ට සමාව දී අත්හැර දමන්න.

  1. සිනහව ප්‍රතිකාරයක් කරගන්න

සියලුම ප්‍රශ්නවලට සිනාවෙන් පිළිතුරු දෙන්න. එය ඔබේ ආතතිය වළක්වනවා. ආතතිය වැළැක්වීම ඔබේ කේන්තිය පාලනය කරනවා. සිනහව ඔබට ආභරණයක්. එය පවත්වාගෙන යන්න. එය ඔබව නිතර කේන්ති කරන ඔබේ සතුරාව දුර්වල කරන්න හේතුවක්.

  1. ඉහිල් වීමේ අභ්‍යාස පුහුණු වෙන්න

කේන්තිය පාලනය කරන්නට ඔබට වඩාත් වැදගත් වන්නේ ඉහිල්වීමයි. ගැබුරු හුස්මක් ගන්න. ඔබ ඉහිල්වී සිටින අයුරු සිතින් දකින්න. “ඕනැ සඑ ෑ්ිහ.. නිරන්තරයෙන් මේ වචන ටික මෙනෙහි කරන්න. ටික දිනකින් ඇත්තටම ඔබට සියල්ල පිළිබඳව පහසුවෙන් සිතන්නට පහසුවෙන් දකින්නට අවකාශය ලැබෙයි.

  1. කේන්තිය පාලනයට උදව් ගන්න.

හැමකෙනෙකුටම කේන්තිය එනවා. ඒ වගේම බොහෝ දෙනෙක් එය පාලනය කරගන්න මහන්සි ගන්නවා. ඔබට කේන්ති එනවා කියන්නේ ඔබ අසාමාන්‍ය පුද්ගලයෙක් කියන එක නෙවෙයි. ඒ නිසා ඔබේ කේන්තිය ගැන තවත් කෙනෙක් ඒක්ක කතා කරන්න. උදව් ඉල්ලන්න. නමුත් ඒ පුද්ගලයා ඔබට වඩා කේන්තිය පාලනය කළ කෙනෙක් වෙන්න ඕන. වඩාත් සුදුසු වන්නේ උපදේශනය සඳහා යොමු වීමයි.

සටහන චාපා හංසිනි ආටිගල