free stats

මාධව පුවත්පතින් හිස මෑත් කර මිදුල දෙස බැලු‍වේය. තම ප්‍රිය බිරිඳ මාලිකා බුදුපුදට මිදුලේ වතුසුද්ද ගසින් බොහෝ සීරුවට මලින් මල කඩා ගනිමින් ඇය අත රැඳි කුඩා වට්ටියෙහි රටාවකට තැන්පත් කරමින් සිටී. ඇගේ අවධානය සහමුලින්ම ඒ කෙරෙහි යෙදී ඇත. ඔහු තම බිරිඳ දෙස බලා සිටියේ සෙනෙහසිනි. මල් නෙළාගත් මාලිකා සෙමින් සෙමින් බර අඩි තබමින් පා නගා යනු අයුරු දකින විට ඔහුගේ සිත මහත් බැතිබර බවකින් වෙළී යයි.

මේ ඇයගේ ස්වරූපය නොවේ. මහත් දඟකාර, විසේකාර යුවතියක්ව සිට එක්වරම ඇයට ඇතිකරගෙන තිබෙන්නාවූ මේ වෙනස ඔහු සිත විස්මයට පත්කර ඇත. වෙනදා ගේ පුරා නටමින් සිනාසෙමින් තමා වටා එතෙමින් දඟකාරකම් කළ යුවතිය නැවත දකින්නට කිසිදාක බැරිවේදෝයි යන සිතුවිල්ල ඔහු සාංකාවට පත්කරයි.

ඔහු තම බිරිඳ මාලිකාට ආදරය කලේ ඇයගේ ඒ දඟකාර සැහැල්ලු‍ ගුණයට වශී වීමෙනි. විවාහයට පෙර වසර හයක් මුළුල්ලේ ඔහු අප්‍රමාණ ලෙස එය වින්ඳේය. විවාහ වී එක් වහලක් යටට වූ පසුත් ඇයගේ ඒ ස්වරූපය මදක්වත් වෙනස් නොවීය. ඇය තමාට තේ කෝප්පයක් සාදාගෙන එය රැගෙන ආවේද නර්තනයක් පාමිනී. තමා යම්වැඩක නිරත වන විට සෙමින් සෙමින් පිටුපසින් පැමිණ ගෙල බදාගෙන ඔහේ ඉන්නාවිට දැනුන උණුසුම මේ දැන්ද ඔහුට දැනෙයි. සමහර විට මුළුතැන්ගෙයි ඇය මහ හඬින් ගී ගයමින් රිද්මයන්ට පා තබමින් වැඩ කරන හැටි හොරෙන් බලා සිටින්නට මාධව මහත්සේ ප්‍රියකරයි.

හදිසියේ හෝ ඔහු හොරෙන් බලා සිටිනු අසුවූ විට ඇය ඔහු පසුපස එළවාගෙන විත් “අම්මා මේවද ඉගැන්නුවේ“ යැයි කණ මිරිකමින් විමසූ අයුරු මතක් වී මාධවට සුසුමක් නැගුණි..තම ජීවිතය මහත් ප්‍රමෝදයට පත් කළ සොඳුරු සමාගමක් කළ සොඳුරියගේ ඒ සියඵ චර්යා එක්වරම වෙනස් වී ගිය ආකාරය මාධව සාංකාවට මෙන්ම විස්මයෙන් පත්කරවයි.

මාලිකාගේ වෙනස්වීම මේ තරම් වෙනසක් තමා තුළ ඇති කරාවි යැයි මාධව කෙදිනකවත් සිතා තිබුණේ නැත.. මේ වෙනස නපුරු වෙනසක් නොවේ . එය හිත ආදරයෙන් පුරවන වෙනසකි. මහත් වූ අපේක්ෂාවන් සහිත අනාගතයක් අභියස වූ වෙනසකි. ඇය තම කුසයේ සිටින පුතු වෙනුවෙන් ඇති කරගත් වෙනසකි. පුතුගේ ආරක්ෂාව වෙනුවෙන් ඇති කරගත් වෙනසකි.

නුදුරේදී තම නමින් මෙළොව දකින්නට මග බලමින් සිටින දරුපැටියා වෙනුවෙන් ඇය ඇයව හැම ආකාරයකින්ම වෙනස් කර ගත්තාය. ඇය ඇගේ වේගවත් බවින් මිදුනාය. ඇයගේ ආහාර රටාව සම්පූර්ණයෙන් වෙනස් කළාය. ඇඳුම් පැළඳුම් වෙනස් කළාය. එපමණක් නොව දඟකාර බැල්මෙන් මාධව දෙස බැලූ ආකාරයද වෙනස් කළාය. ඇය දැන් මාධව දෙස බලන්නේ මහත් බැතිබර සෙනෙහසකිනි. එය තම හදවතට බර වැඩි බව මාධවට දැනෙයි.

වෙනදා බොරුවට හෝ අමනාපයක් මවාගෙන දබරයට සැරසෙන මාලිකා දැන් සිල්ගත් උවැසියක සේ ශාන්ත ස්වරයෙන් කතා බහ කරයි. ඇය වෙනදා ඇසූ ගැයූ සියලු‍ ගී වෙනුවට නැළවිලි ගී මුමුණයි. බුදු ගුණ ගී මුමුණයි. ඒවා සොයමින් තැටිගත කරගෙන අසමින් පාඩම් කර ගනියි. නොවරදවා කුරුල්ලන්ට කෑම දෙයි. වෙනදාටත් වඩා ආදරයෙන් දරුවන් දෙස බලයි. ඔවුන් අතගායි. දරුවන් පිළිබඳ තොරතුරු මහත් උවමනාවෙන් කියවයි රැස්
කරයි.

මාතෘත්වය මෙතරම් අසිරිමත්ද? මාධවට තම අම්මා සිහිවෙයි. ඇයත් තමා වෙනුවෙන් මේ අයුරින්ම පේවී සිටින්නට ඇති. මාධව සුසුමක් හෙළුවේය. අම්මා දැරූ බර අද මාළිකා දරනවිට තමාට දැනෙන කරුණාව මුසුවූ දයාර්ද්‍ර හැඟීම කලින් දැනුනා නම් අම්මා මියෙන්නට පෙර ඇය වෙනුවෙන් මීටත් වඩා බොහෝ දේ තමා අතින් සිදුවන්නට ඉඩ තිබුණා යැයි ඔහුට සිතේ.

කුස මදින් මද ඉදිරියට නෙරා එත්ම මාලිකාට වෙනදාට වඩා ශාරීරික අපහසුතාවක් ඇති උනත් ඇය කිසි විටෙක සාමාන්‍ය කටයුතු වලින් මිදෙන්නට උත්සහ නොකළ අයුරු ඔහුට සිහින් ශෝකයක් ඇති කරවයි. මාධව ඇයව විවේක ගන්වන්නට ඇගේ කාර්යයන් තමා වෙත කැමැත්තෙන්ම පවරා ගන්නට ගත් උත්සහය මාලිකා මහත් ආදරයෙන් බාර ගත්තාය. වෙනදා මාලිකා අතින් නිමවන උදෑසන තේ කෝප්පය මාධව විසින් සකසා මාලිකා වෙත රැගෙන එයි. රෙදි ටික සෝදා අව්වේ වනා දමන්නට මාධව යුහුසුළු වෙයි. කුස්සියේ ඉවුම් පිහුම් වලට උදව් වන්නට මාලිකා සමගම ඔහු මුළුතැන්ගෙට වී සිටී. තමාගේ මේ වෙනස විටෙක මාලිකා කදුළින් පිරි සිනාවෙන් කෘතවේදීව පිළිගන්නා විට මාධව මුදු ලෙස ඇගේ හිස අත ගා නළල සිපගනී. “මගේ පුතුගේ අම්මා“ යන උත්තම සංකල්පනාවෙන් ඔහුගේ ගත හිරිගඩු නැංවෙයි.

දරුවකු පිළිසිඳ ගැනීම මෙතරම් ආශ්වාද ජනක දෙයක්ද? මව්පියභාවයට සූදානම් වීම පාරමිතාවක් සේ නිර්මලද? කෙතරම් සෙනෙහේවන්තද? ගැබ්බර බිරිදට සහයවීම තුළින් මේ තරම් ආස්වාදනීය බවක් විඳින්නට හැකි බවක අදහසක් ඔහුගේ සිත තුළ කවර කලෙකවත් නොවීය. ගේ තුළීන් මාලිකා මුමුණන ගීතයක් මාධවට ඇසේ.

ඔබ ආවාද මා වාගේ බිරිදක් සොයා මේ ජීවිතයේ…..“

මාධවට තමා පිළිබඳ දැනෙන්නේ ආඩම්බරයකි. තමා යහපත් සැමියකු වීමටත් වඩා තමා යහපත් බව බිරිඳට දැනීම ඔහුගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ කරවයි. ඒ සැණින් ඔහුට මාලිකාගේ අනන්තවත් වු ගුණ සිහිවෙයි. මහත් අරපිරිමැස්මෙන් සරලව චාම්ව දිවිගෙවන්නට මාලිකා ඉක්මනින් පුරුදුවූ ආකාරය ඔහුට සිහිපත් වෙයි. තිබෙන දෙයින් සෑහීමට පත් වෙමින් ආදරයම ජීවිතය කොට ගත් මාලිකා තරම් තම පුතුට සුදුසු අම්මා කෙනෙක් ලොව කොතැනකවත් නැති බැව් ඔහුට සිතෙයි. තම තේරීම පිළිබඳ මාධවගේ සිතේ ආඩම්බරයක් මෝදු වෙයි.

“මිහිරෙන් කළතා හද රස කෙරුවා
දිවි රන් බදුනට ඔබ මී පෙව්වා“
මාධව මුවගට නිරායාසයෙන් නැගුණු ගීයක පද පේළියක් මුමුණමින් මාලිකා සොයා ගෙතුළට පිය මැන්නේය.

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා