free stats

ගර්භණී සමයේ දී මව තමාගේ සෞඛ්‍ය පමණක් නොව තම කුසේ ඉන්න දරුවාගේ සෞඛ්‍ය ගැනද මනා අවබෝධයකින් සිටිය යුතුයි. මව ගන්න ආහාර දරුවාගේ පෝෂණයට බලපාන්නේය. ගර්භනී සමයේ මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනයට බලපාන බැවින් මව සෑම විටම පෝෂපදාර්ථ බහුල කෑම තම ආහාරයට එකතු කර ගත යුතුයි. ගර්භණී මව ගත යුතු පෝෂණීය ආහාර සම්බන්ධයෙන් ප්‍රජා වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය මෙසේ අදහස් දැක්විය.

යුවතියක් විවහා අපේක්‍ෂක තරුණියක් ලෙස තම පෝෂණය සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරී වියයුතුයි. තරුණ අවධියේදී තරුණියක උසට සරිලන බරක් තිබිය යුතුයි. අයඩීන් ඌණතාවය, රක්ත හීනතාවය තරුණ අවදියේ ඇති වීම ගර්භනී සමයේදී මවට වගේම කුසේ ඉන්න දරුවටත් එය බලපා හැකිය. හොඳ පෝෂණීය ආහාර වේලක් දරුවාගේ ඉන්ද්‍රීය විකාශනයේ මූලික අඩිතාලමට හේතුවේ.

නිරෝගී තරුණියක දරු පිළිසිඳ ගැනීමකදී උදේට වමනය, අප්පිරියාව ඇතිවිය හැකිය. මේ කාලයේදී සාමාන්‍යයෙන් බර කිලෝ එකක්, දෙකකින් බර වැඩිවෙන අතර මාස තුනක් යන තුරු සාමාන්‍යයෙන් ගර්භණී මවකට ආහාර ගැනීමේ අපහසුතා ඇතිවේ. නමුත් මුල් මාස තුන අවසන් වීමත් සමඟ මවට හොඳින් ආහාර ගැනීමේ හැකියාව ලැබේ. ඒ තුන්වන මාසයේ සිට කලලයේ වර්ධනය ක්‍රමවත් සිදුවෙන බැවිනි. එමනිසා මවට හොඳ පෝෂණයක් අවශ්‍ය වේ. ගර්භණී සමය අවසන් කාලයේ මවගේ බර දහයකින්, දොළහකින් වැඩිවිය යුතුයි. එසේ නොවුනොත් දරුවාගේ බර ග්‍රෑම් දෙකහමාරක පමණ අඩු බරක් තිබිය හැකිය. එය හොඳ උපත් බරක් නොවේ. සෑම මාසයකම අම්මාගේ බර වැඩිවීමෙන් හා අම්මට අවශ්‍ය පෝෂණය ලැබීමෙන් කළලයේ පෝෂණය ද වර්ධනය වේ.

දෙදෙනෙකුට අවශ්‍ය පරිදි ආහාර ගත යුතුයැයි අපි නොකියන්නෙමු. නමුත් එක් එක් ශක්තීන් ප්‍රෝටීන්, විටමින්, ඛණිජලවණ වෙනත් දිනවලට සාපේක්‍ෂව ගතයුතුයි. ශක්තීන් කිලෝ කැලරි 300-350 වැඩිපුර ගත යුතුයි. සාමාන්‍යයෙන් අම්ම කෙනෙක් අම්මාගෙ කිලෝ ග්‍රෑම් එකකට ග්‍රෑම් දෙකක් වන පරිදි ආහාර ගැනීම ප්‍රමාණවත්ය. එනම් කිලෝ ග්‍රෑම් පනහක් බර අම්මා ග්‍රෑම් සීයක් පමණ ප්‍රෝටීන සහිත ආහාර ගත යුතුයි.

මව දරුවා කුසයේ පිළිසිඳ ගත් දිනයේ පටන් ප්‍රෝටීන් බහුල ආහාර වර්ග කෑමට එකතු කරගත යුතුයි. ඒ මස් වර්ග, බිත්තර, සෝයා, කඩල, කව්පි, බෝංචි, මාලු වර්ග, හාල්මැස්සෝ ආදියයි. මෙම කෑම ආහාරයට එක්කර ගැනීමෙන් කළල අවධියේ සහ ළඳරු අවධියේ ශරීරයේ සෛල, පටක වර්ධනයට උපකාරි වේ.

මේදය සහිත ආහාර ගැනීමෙන් කළල වර්ධනයට මෙන්ම දරුවාගේ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට බලපාන්නේය. තෙල් බහුල ආහාර, සත්ත්ව ආහාර, කිරි ආහාර ද මේදය සහිත ආහාර ගණයට අයත් වේ.

ගර්භනී මවට අවශ්‍ය කාබෝහයිඩ්රේට්, පිෂ්ඨය ලබා ගැනීමට පිටි කෑම වර්ග, බත්, පාන් වර්ග ආහාරයට එක්කර ගත යුතුයි. ඒ මවට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහාය.

කළලයේ සහ දරුවාගේ ස්නායු පද්ධතිය මෙන්ම මොළයේ වර්ධනයට වැදගත් පෝෂණීය පදාර්ථ ලෙස විටමින් බී 12 හැදින්වේ. බිත්තර කහ මදය, මස්, මාලු, කිරි, පීකුදු මේ ගණයට අයත්වේ. විටමින් ඩී ලබා ගැනීමට කිරි ආහාර ගත යුතුයි. සෛල වර්දනයට විටමින් ඩී උපකාරි වේ. මෙය මව්වරුන්ට අවශ්‍ය අනිවාර්ය විටමින් වර්ගයකි. කුඩා මාලු, බිත්තර, මස් විටමින් ඩී ලබාගැනීම සඳහා උපකාරි වේ.

කැල්සියම් කළල අවධියේ සහ ළඳරු අවධියේ අස්ථි වල වර්ධනය වේගවත් කිරීමට උපකාරි වේ. හොඳින් කැල්සියම් තැන්පත් වීමෙන් අස්ථි වල ශක්තිමත් බව වැඩි කරයි. හාල්මැස්සෝ, කුඩා මාළු වර්ග, කිරි සහ කිරි ආහාර, බිත්තර කැල්සියම් සහිත ආහාර කැල්සියම් අඩංගු ආහාර කැල්සියම් සහිත ආහාරයන්ය. ශරීරයේ ඔක්සිජන් පරිවහනයට හා රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන රතු රුධිර සෛල නිෂ්පාදනයට කැල්සියම් අවශ්‍යයයි. නමුත් පීකුදු මේ සමයේ අහාරයට ගැනීම සුදුසු නොවේ.

ගර්භනී සමයේදී නිරෝගී කළල වර්ධනයට පෝෂණීය පදාර්ත වලින් යුක්ත ආහාර ගත යුතුය. ගර්භණි මවක් තමා ගන්නා බත් පිගානේ එළවළු, පළතුරු, පළා එකතු කරගත යුතුය. ආහාර පිගානේ ශක්ති, වර්ධක, ආරක්‍ෂක ආහාර ගතයුතුයි. කෑම ගන්නා විට කිසිදු විටක දරුවටයි අම්මටයි කියලා දෙගුණයක් කෑම සුදුසු නොවේ. නමුත් හැකි සෑම විටම අම්මට හැකි ප්‍රමාණයට ආහාර ගැනීම සුදුසුය. බත් තව හැන්දක්, ආප්ප කනවනම් තව ආප්පයක් වගේ කිහිපයක් වැඩියෙන් ආහාරයට එක් කර ගැනීම මිස දෙගුණයක් කන්න ඕන කියන සම්මත රීතියක් නැත. දවස ඇතුළත එළවළු 2ක්, පලතුරු 2ක්, පළා එක්වරක් හෝ ආහාරයට ගත යුතුයි. ගර්භණි මව දිනකට වතුර වීදුරු හත අටක් වත් පානය කළ යුතුය. වතුර බීමේදී තිබහ හැදෙන තුරු සිටිය යුතු නොවේ.

මීට අමතරව සායන වලින් පෝලික් ඇසිට්, විටමින් සී, කැල්සියම් ලබා දෙයි. විටමින් සී උදේට ගත්විට කැල්සියම් හවසට ගත යුතුයි. එසේ නැතිනම් ප්‍රතික්‍රියා කිරීමේ දී වෙනස්කම් ඇතිවීම හේතු වේ.

අම්මාගේ මෙන්ම කළලයේ වර්ධනය සඳහා සෑම මාසයකම ත්‍රිපෝෂ ලබා දෙයි. ගර්භණී සමයේ මව දවසට ග්්‍රරෑම් පන්සීයක් පමණ ත්‍රිපෝෂ ගත යුතුයි. ඒ හැදි දෙකක් පමණය. ත්‍රිපෝෂ ආහාරයට ගැනීමෙන් අම්මා කෙනෙක්ට කැලරි ග්්‍රරෑම් දෙසීයක් පමණ, ප්‍රෝටීන් ග්්‍රරෑම් දහයක් පමණ, තෙල්, විටමින්, ඛණිජ වර්ග ලැබේ.

ඉදිණු ඕනෑම පළතුරක් අම්මා ආහාරයට ගැනීම සුදුසුය. එනමුත් රඹුටන් වගේ උෂ්ණ කෑම අම්මාට විසවෙනවානම් ඒවා කෑමෙන් වැලකී සිටිය යුතුයි. පළතුරු බීම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හදන් බීමේ දී එයට සීනී එක්කිරීමෙන් වැලකී සිටිය යුතුයි. සෑම විටම හිත සන්සුන්ව තබා ගත යුතු අතර හිත සන්සුන් තරමට මවට සහ දරුවාට යහපත් වර්ධනයකට හේතු වේ. නිදහසේ භාවනාකිරීමට ද කාලය වෙන්කර ගත යුතුයි.

දරුවා ගැබෙහි සිටියදී ඔබ එදිනෙදා වැඩ සාර්ථකව කරගැනීම සඳහා වැඩි ශක්ති ප්‍රමාණයක් වැයකරයි. කළලය විකසනයට සහ වර්ධනයට අවශ්‍ය පෝෂණය, ඔබගේ රුධිර පරිමාව වැඩි වීමට සහ ඔබේ සිරුරේ මේද සහ අනෙකුත් පෝෂක සංචිත කිරීම, සිරුරේ මූලික පරිවෘත්ති ක්‍රියාකාරිත්වය වැඩි වී ඇති අතර ඒ සඳහා වැය වන ශක්ති ප්‍රමාණයද වැඩිවේ. දරුවෙකු බිහිකිරීමට ඉන්න ඔබ බඩගිනි වුන සෑම විටම ආහාර ගත යුත්තේ ආහාර වල විවිධත්වය රැක ගන්නා අයුරිනි. ව්‍යායාම ඔබේ සාමාන්‍ය දින චර්යාවට එක් කර ගත යුතුයි. ගර්භනී මව නොගත යුතු ආහාර වර්ගද ඇත. ක්ෂණික ආහාර වර්ග, අධික උණු, සීනි, තෙල් සහිත ආහාර පුරුදුදක් ලෙස ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. ඔබට මීට පෙර අසාත්මිකතා ඇති වූ ආහාර ගැනීමෙන් වළකින්න. බාගෙට පිසූ ආහාර ගැනීමෙන් හැකි තරම් වළකින්න. කෝපි, චොකලට් දිනපතා පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් වළකින්න. ඇල්කොහොල්, දුම් පානයෙන් සියයට සීයක් වැලකිය යුතුයි. නිවසේ කවුරුන් හෝ දුම්පානය කරන්නේ නම් දුම් ආඝ්‍රහණය කිරීමෙන් දරුවාගේ වර්ධනයට එය බලපාන්නේය.

ශාන්ති ගුණවර්ධන
ප්‍රජා වෛද්‍ය
සෞඛ්‍ය අමාත්‍යංශය
බෝනොවන රෝග අංශය