පුංචි පැටියෙක් ඉන්න ගෙදරක් නම් ඒ ගෙදර පාළුවක් ඇත්තේම නෑ. උඩ පනිනවා, දඟලනවා, කෑගහනවා, බෙරිහන් දෙනවා මේ දේවල් වලින් මුළු ගෙදරම පිරිලා. ඉතින් කොහෙද තවත් පාළුවක් දැනෙන්නේ? ඒකට හේතුව වෙන්නේ පුංචි වයස දගකාරකම්වලින් අඩුවක් නැති වයසක් වීමයි. ඒ නිසාම වෙන්න ඇති අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියලා අපේ පැරැණි කියමනකුත් තියෙන්නේ.
අන්න ඒ වගේ දඟ වැඩ කරන එක තමයි ළමා ගතිය. දඟ වැඩ කරන දුවන පනින පුංචි දරුවෙක් හොඳින් වැඩෙන නිරෝගි දරුවෙක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් පුංචි ඈයන්ගේ දඟකාරකම් නිසා අපේ දෙමව්පියෝ අපහසුතාවයට පත්වෙන වාර නම් අනන්තයි. ඇයි මෙහෙම වෙන්නේ? මොනවද මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන්? මේ කාරණාව අද වෙනකොට බොහෝමයක් දෙමාපියන්ගේ අවධානයට ලක්වෙන කාරණාවක්. ඒ නිසාම අපි මේ පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න හිතුවා.
මේ කාරණාවේදී අපි අවබෝධ කරගත යුතු දෙයක් පවතිනවා. ඒ තමයි පුංචි දරුවන් කියන්නේ මොළය වර්ධනය වෙමින් පවතින අය වග. ඒ කියන්නේ එයාලා ලොකු මිනිසුන් නොවන වග. මෙයාලට හොඳ නරක එකහෙලාම තේරුම් ගැනීමේ ශක්තියක් පවතින්නෙ නෑ. ඉතින් එයාලගෙ මේ කියන හැසිරීම අවබෝධ කර ගැනීම පුංචි පැටියෙක් ඉන්න දෙමාපියන් සතු පළමු වගකීම බවට පත්වෙනවා.
පළමුවෙන්ම අපි බලමු පුංචි දරුවෙක්ගේ හැසිරීම තීරණය වෙන්න බලපාන සාධක මොනවද කියලා. අපි සමහර වෙලාවට හිතනවා පුංචි පැටියෙක් ගොඩක් දගකාර නම් මේ දේ පවුලෙන් ආපු ගතිගුණයක් කියලා. ඒ කියන්නේ එයාලගේ ජාන වලින් ආව ගැටලුවක් කියලා. නමුත් බොහෝ වෙලාවට පුංචි දරුවන්ගේ හැසිරීමට බලපාන සාධකය වෙන්නේ ජානමය සාධකම නෙමෙයි. ඉපදුනාට පස්සේ එයාලගේ බාහිර පරිසරය සහ වටපිටාවයි.
දෙමාපියන්ගේ හැසිරීම සහෝදර සහෝදරයන් ඉන්නවනම් ඒ අයගෙන් ඉගෙන ගන්න දේවල් වගේම තමන්ගේ අවට ඉන්න අය හැසිරෙන කියන කරන දේවල් මත තමයි පුංචි අය තමන්ගේ ජීවිතයෙහි හැසිරීම් රටාව වෙනස් කරගන්නට උත්සාහ ගන්නේ. උදාහරණයක් විදියට දෙමාපියන් ප්‍රචණ්ඩකාරී හැසිරීම සහිතයි නම් පුංචි දරුවන් නිතැතින්ම ප්‍රචණ්ඩකාරී උදවිය බවට පත්වෙනවා.නිතර අඩ දබරවලින් පිරිච්චි පවුලක්නම් පුංචි දරුවනුත් ප්‍රචන්ඩකාරියි.
ඉතින් අපි දන්නවා ඇඬීම කියන්නේ පුංචි දරුවකුගේ ජීවිතයේ ප්‍රධානතම අංගයක්. නමුත් යම් දෙයකදී එයාලා ඇඩීම භාවිතා කරන ආකාරය ඒ කියන්නේ කොහොමද අඬන්න අවශ්‍ය, කොයි වෙලාවටද අනන්නේ, කොච්චර අඩනවද, මොනවටද අඬන්නේ, මට මේ දේ අඬලා ලබා ගන්න පුළුවන්ද? මෙන්න මේ කරුණු තීරණය වෙන්නේ අම්මා තාත්තා මේ ඇඩිල්ලට දක්වන ප්‍රතිචාර මතයි. මේ නිසා තමයි බොහෝමයක් පුංචි දරුවන් තැනක් නොතැනක් නොබලා ඇඬිල්ල එයාලගේ වාසියට අවශ්‍ය විදිහට භාවිතා කරන්නේ. මේ විදියට පුංචි අය එයාලගේ අවට ඉන්න අයගේ ක්‍රියා කලාපය අනුව හැසිරීම වෙනස් කරගන්නට උත්සාහ ගන්නවා.
අවුරුදු තුනෙන් පස්සේ පුංචි පැටවුන්ගේ පෙර පාසල් ගමන එයාලගේ හැසිරීම තීන්දු කරන තවත් ප්‍රබල සාධකයක් විදියට හදුන්වන්න පුලුවන්. මෙන්න මේ පෙර පාසල් ගමනත් එක්ක මුණගැසෙන යහළුවන් සහ ඔවුන් කතාබහ කරන විදිහ හැසිරෙන විදිහ මේ දේවල් අනුකරණය කරන්නට පුංචි උදවිය උත්සාහ ගන්නවා. මේ අනුකරණය තුළ හොඳ වගේම නරක අන්තර්ගතයකුත් තියෙන්න පුළුවන්.
මොකද පෙරපාසල කියන්නේ විවිධ පවුල් පරිසරය තුළින් ලබාගන්න අත්දැකීම් පොදු බවට පත් වෙන ස්තානයක් වෙන නිසා. ඉතින් මේ නිසාම පෙරපාසලත් පුංචි දරුවන්ගේ හැසිරීම තීරණය කරන තවත් ප්‍රබල සාධකයක් වෙනවා.
ජනමාධ්‍ය සහ ජංගම දුරකථන අද දවසේ අපි මේ කතාකරන පුංචි පැටවුන්ගේ හැසිරීමට බලපාන තවත් ප්‍රබන සාදකයක්. මෙහි පවතින අන්තර්ගතය නිසාත් පුංචි ඈයො එයාලගේ හැසිරීම හැඩගස්වා ගන්නට බොහෝ වෙලාවට උත්සාහ ගන්නවා. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි වෙලද දැන්වීම්. අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා වෙළඳ දැන්වීම් වල තියෙන යම් යම් දේවල් ඉල්ලලා අඩන දරුවන්. ඒ කියන්නේ දෙමාපියන් සමග වෙළඳපලට යන පුංචි දරුවන් දෙමාපියන් අපහසුතාවයට පත් වෙන ආකාරයට මේ දේවල් ඉල්ලනවා.
ජනමාධ්‍ය මගින් පුංචි පැටවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරගන්න තවත් එක් සාදකයක් තමයි කාටූන්. විවිධ කාටුන් චරිතඅනුකරණය කිරීම අද වෙනකොට බහුලව දැක ගන්න පුළුවන් කරුණක් බවට පත්වෙලා තියෙනවා. මෙන්න මේ කියන සාධක තමයි පුංචි දරුවකුගේ හැසිරීම වෙනස් කරන්නට බලපාන හේතු බවට පත් වෙන්නේ.
මේ නිසාම ළමයින් සමග ගනුදෙනු කිරීමේදී මේ කතාකරපු කරුනු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නමුත් බොහෝ දෙමාපියන් ඒ බව හරි හැටි තෙරුම් ගන්නේ නෑ.ඒ නිසාම සමාජය තුළ දී දෙමාපියන් අපහසුතාවයට පත්වෙන වාර අනන්තයි.
ඉතින් දෙමාපියන් වශයෙන් පළමුවෙන්ම සිදු කළ යුතු වන්නේ හැසිරීමට බලපාන එකී සාධක හරි හැටි අවබෝධ කර ගැනීමයි.
ඊළඟට බලමු දරුවන්ගේ හැසිරීම නිසා කොහොමද දෙමාපියන් ඇත්තටම අපහසුතාවයට පත් වෙන්නේ කියලා. මේ දේවල් වලට දෙමාපියන් විදිහට අපි නිරන්තරයෙන් මුහුණ දෙන බවටනම් කිසිදු සැකයක් නෑ. නමුත් ඒ පිළිබඳව ඔබ නිසි අවබෝධයෙන් නොසිටින්නට ඇති.
දෙමාපියන් අපහසුතාවට පත්වෙන ආකාරයට පිලිබඳ කතාකරද්දි පලමු කාරනාව වෙන්නේ අනිකුත් පුද්ගලයන් පොඩිත්තාගේ හැසිරීම පිළිබඳ කුමක් සිතයි ද යනුවෙන් බොහෝමයක් දෙමාපියන් සිතින් වද වීමයි.
අපි දන්නවා අද සමාජයේ බොහෝ දෙනෙක් ඕනෑම අවස්ථාවකදී තමන්ගේ හැසිරීම තීරණය කරන්නට සූදානම් වෙන්නේ අනෙකුත් පුද්ගලයන්ගේ සිතුම් පැතුම් අනුවයි. ඒ අයට අවශ්‍ය ආකාරයටයි. අපි දැකලා තියෙනවා පුංචි දරුවෙක් කෑගහලා දඟලනකොට දෙමාපියෝ ගොඩක් කලබල වෙනවා.
අනේ මගේ දරුවා කෑගහනව, දඟලනව,උඩ පනිනවා මේ එක්කම අනිත් අය අපි ගැන මොනවා හිතයිද? හරිම ලැජ්ජාවක් තමයි මේ දරුවා නිසා ඒ අය ඉස්සරහ අපට වුණේ”
මෙන්න මේ විදිහට තමයි අපේ සමාජයේ අම්මලා තාත්තලාත් දරුවන්ගේ දඟ වැඩ ඉස්සරහ තමන්ගේ හිත කලබල කර ගන්නේ.නමුත් ඔබ දැකලා තියෙනවද විදෙස් රටවල දෙමව්පියන්.ඔවුන් දරුවන්ට ඔවුන්ගේ නිදහස දීලා තියෙන්නේ හරි අපූරු විදිහට. ඔවුන්ගේ දඟකාරකම් අනිත් පුද්ගලයන්ගේ සිතුම් පැතුම් මත වලකාලන්නට කිසිවිටෙකත් උත්සාහ ගන්නේ නෑ. දරුවන්ට ඔවුන්ගේ ලෝකය තුළ හැසිරීමට ඔවුන් බොහෝ විට ඉඩ ලබා දෙනවා. මේ නිසාවෙන් පලමුවෙන්ම අප දරුවන්ගේ ලෝකය තේරුම් ගත යුතුයි.
බොහෝ අවස්ථාවල දෙමාපියන් අපහසුතාවයට පත් වෙන්නට හේතුව වෙන්නේ ළමයාගේ චර්යාවම නෙවෙයි. ළමයාගේ චර්යාව නිසා දෙමාපියන් දෙස බලන අනිත් පුද්ගලයන් අයහපත් ආකාරයෙන් සිතා වී යැයි යන හැඟීමයි.
මීළඟ කාරණාව වෙන්නෙ දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට දරුවාගේ හැසිරීම හසුරුවන්නට උත්සාහ ගැනීමයි. මෙන්න මේ දේ තමයි දෙමව්පියන් අතින් සිදුවන ලොකුම අනාවබෝධි ක්‍රියාව වෙන්නේ. මොකද පුංචි දරුවන් බොහෝ විට සිදුකරන්නේ ඔවුනට අවශ්‍ය දේ. මේ කාරණාවේදී හොඳම උදාහරණය තමයි පුංචි පැටවුන්ට කෑම කැවීමේ දී අපේ අම්මලා පත්වන අපහසුතාවය. නමුත් ඇයි එහෙම වෙන්නේ? හේතුව වෙන්නේ දෙමාපියන්ට අවශ්‍ය වේලාවට දරුවන් කෑම කන්නට සූදානම් නැහැ. ඒ අයට බඩගිනි වෙලාවට තමයි පුංචි දරුවන් කෑම කන්නේ. නමුත් එතනදි අනිවාර්යයෙන්ම අපේ දෙමාපියන්ට ප්‍රශ්නයක් ඇති වෙනව. පුංචි පැටියට බඩගිනි එන වෙලාවක කෑම කවනන අපි අපේ කාලසටහන සාදාගෙන නොසිටීම. ඉතින් මෙන්න මේ වෙලාවෙදි තමයි දරුවන්ගේ හැසිරීම නිසා දෙමාපියන් අපහසුතාවයට පත්වෙනවා කියල කියන්නේ. මොකද අපට අවශ්‍ය වේලාවට අපට ඕන විදියට දරුවා හැසිරෙන්නේ නැති උනහම දෙමාපියො අපහසුතාවයට පත් වෙනවා.
දඟකාරකමක් කරමින් සිටින ළමයෙක් දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත එය නැවැත්වීමට කිසිදු විටෙක සූදානම් නැහැ නමුත් දෙමාපියන් එය බලාපොරොත්තු වීම තුළින් දරුවාගේ හැසිරීම මත දෙමව්පියන් අපහසුතාවයට පත් වීම සාමාන්‍යයෙන් සිදුවීමක්.
මීළඟට දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන කාරණාවක් වෙන්නේ සාමාන්‍ය සමාජය පිළිනොගන්නා හැසිරීම් රටාවක් පුංචි පැටියකු තුළින් පිළිබිඹු වීමයි.මෙන්න මේ වගේ අවස්ථාවක අපේ අම්මලා ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. උදාහරණයක් විදියට දරුවෙක් යම්කිසි දෙයකින් තවත් කෙනෙක්ට පහර දීමකදි එහෙමත් නැත්නම් අසභ්‍ය වචනයක් පිට කිරීම කෙළ ගැසීම වගේ ක්‍රියාවන් දරුවන් අතින් සිදු වුණාම ඒ දෙමාපියන් කොහොමත් අපහසුතාවයට පත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සමාජයේ බලාපොරොත්තු නොවන අසාමාන්‍ය හැසිරීම් රටාවක් දරුවන් තුළින් ප්‍රකට වීමයි.
සාමාන්‍ය විදිහට ගත්තොත් මේ කාරණාවන් කීපය නිසා තමයි අපේ දෙමවුපියන් දරුවන්ගේ හැසිරීම් ඉදිරිපිට ඇති අපහසුතාවට පත් වෙන්නේ. නමුත් මීට අමතර ව සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් පවතිනවා. ඒ පුංචි දරුවාගේ හැසිරීම් රටාව සාමාන්‍යයි නිරෝගී දඟකාරකම් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වෙන දරුවෙක්. නමුත් දෙමාපියන් අසාමාන්‍යයි ඒ කියන්නේ ඔවුන් දරුවන්ගේ හැසිරීම දගකාරකම් පිලිබඳ ඕනවට වඩා වඳ වෙනවා. එයාලගේ හැසිරීම් රටාව අසාමාන්‍ය ඇයි කියලා සිත කලබල කරගන්නව. ඉතින් මෙන්න මේ නිසාවෙන් අපහසුතාවට පත්වෙන දෙමව්පියනුත් අද සමාජයේ නැතිවාම නොවේ.
පුංචි දරුවකුගේ හැසිරීම නිසා ඔහු රෝගයකින් පෙලෙන්නේ..බොහොමත්ම කලතුරකින් .ඒ කියන්නේ අධි ක්‍රියාකාරි දරුවෙක් උනත් රෝගි ලක්ශණයක් පෙන්නුම් කරන්නේ බොහොමයක් කලාතුරකින් .ඉතින් අපේ දරුවන් බොහෝවිට සාමාන්‍යයයි.ඔවුන් දගකාර වූ පමනින්ම අප සැමවිටම අපේ සිත කලබල කරගත යුතු වෙන්නේ නෑ .විය යුතු වන්නේ දරුවන් වැඩිහිටියන් නොවන බව අවබෝධ කර ගැනීමයි.
විශේෂඥ මනෝ වෛද්‍ය
මනෝජ් ප්‍රනාන්දු මහතා
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව
රජරට විශ්වවිද්‍යාලය
සටහන නදීශා ගයානි