free stats

මව්කිරි ලබාදීමෙන් දරුවාගේ පෝෂණ අවශ්‍යතා සියල්ලක්ම සපුරා ලිය හැකිය. දරුවාගේ විජලනයෙන් වලක්වාගත හැකි අතරම දරුවාගේ වර්ධනයට හේතු වේ. මව්කිරිත් සමඟ රෝග සමඟ සටන් කිරීමේ ප්‍රතිශක්තිකරණ හැකියාවද හිමි වේ. එම නිසා ප්‍රමාණවත් ලෙස මව්කිරි ලබාදී ඇති දැයි මවට තීරණය කිරීමට උපකාරී වන කරුණු කිහිපයක් ඇත. මේ එම කරුණු පිළිබඳව දැනුවත් කිරීමට විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා සමඟ කල සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලද ලිපියකි.

  1. දරුවා මව්කිරි බීමට කොපමණ වේලාවක් ගත කරන්නේද?

සාමාන්‍යයෙන් එක් වරකට විනාඩි 20-30 අතර කාලය ප්‍රමාණවත්. සමහර මව්වරුන් දරුවා දවස පුරාම මව්කිරි බොන බව කියනවා. මෙය සෑහෙන පමණට මව්කිරි නොලැබෙන බවට හොඳ සාක්ෂියක්. මෙතැනදි වෙන්නේ දරුවා තන පුඩුවේ එල්ලී විනාඩි 5 ක් වගේ කිරි බීලා ඉන්පසු නින්දට යාම. මේවන විට ආමාශ්‍ය සම්පුර්ණයෙන්ම පිරීලා නැති නිසා දරුවා නැවතත් ඉතා කෙටි කාලයකින් ඇහැරිලා මව්කිරි උරා බොනවා. මෙය දවස පුරාම නොනවත්වා සිදුවන්නක්. මේ නිසා ශරීරයේ වර්ධනයට අවශ්‍ය ප්‍රමාණවත් විවේකය ( නින්ද) ලැබෙන්නේ නැහැ.

  1. දරුවා මව්කිරි බීමෙන් පසු කොතරම් කාලයක් නිදා ගනීද?

හොඳින් මව්කිරි බිලා නම් පැය 2 ක් 3 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සුවසේ නිදාගන්නවා. නමුත් නිසි පරිදි මව්කිරි බීලා නැත්නම් දරුවා පැය භාගයකින් වගේ ඇහැරලා නැවත කිරි ඉල්ලා අඩනවා.

  1. දරුවා දිනකට මුත්‍රා කරනු ලබන වාර ගණන කොපමණද?

අලුත උපන් දරුවෙකු මුල් දින කිහිපයේදී දිනකට වාර 3ක් 5ක් අතර ප්‍රමාණයක් හෝ ඊට වැඩිපුර මුත්‍රා කළ යුතුය. මේ තත්වය මුල් සතියෙන් පසු මුත්‍රා වාර 10 වතාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්වනවා. මුත්‍රා කරනවා අඩුවන්නේ ප්‍රමාණයට මව්කිරි ලැබී නැති නම් පමණයි.

  1. දරුවාට මව්කිරි මදි වීම බාහිරින් දිස්වනවාද?

අලුත උපන් දරුවාගේ උෂ්ණත්වය ඉහළ යාම (උණ) කහ පාට වීම, මලානික බව ආදියද මව්කිරි අවශ්‍ය ප්‍රමාණයට ලැබී නොමැති බවට සාක්‍ෂි වන්නට ඉඩ තිබෙනවා.

අවසාන වශයෙන් දරුවාගේ බර නියමිත පරිදි වැඩි වී නැති නම් එය මව්කිරි අවශ්‍ය පමණට නොලැබී ඇති බවටසාක්‍ෂියකි.

මෙවැනි අවස්ථාවක දී වෛද්‍යවරයෙකුට යොමු වීමෙන් පසු ඔහු ඉහත කරුණු විමසා බලා තව දුරටත් පරීක්‍ෂා කරන්නේ නිවැරදිම හේතුව සොයාගැනීමටයි. ඉන්පසු විවිධ රුධිර පරීක්‍ෂණ යොමු කරන්නේ පරීක්‍ෂණ ප්‍රථිඵල මතයි. දරුවා මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී දරුවාගේ වර්ධනය නිවැරදි අන්දමින් සිදුවන්නේ දැයි සායනවලදී පරීක්‍ෂා කිරීම අවසානයේ සිදුවේ.

සටහන – අරුණි ජයසේකර

ශික්ෂණ රෝහල, කරාපිටිය
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජේෂ්ඨ කථිකාචාර්ය අරුණ ද සිල්වා මහතා