free stats

දරු පැටියෙකු පැමිණි බව දැනගත් මොහොතේ සිටම සෑම මවකගේම ප්‍රාර්ථනාව නිරෝගී, ශක්තිමත්, බුද්ධිමත්, ගුණගරුක දරුවෙකු සමාජයට දායාද කිරීමයි. ඒ සඳහා මව කායිකව මෙන්ම මානසිකව නිරෝගීව සිටීම වැදගත් වේ. කායික
නිරෝගීබව සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත්ත ද මානසික නිරෝගීබව සඳහා වෛද්‍ය උපදෙස් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මව තුළ යහපත් සිතුවිලි ඇතිවිය යුතුයි. නමුත් කාර්යබහුල වර්ථමාන සමාජ වටපිටාව තුළ අප සෑම කෙනෙකුගේම සිත තුල අනේක විද ක්‍රෝධ, තරහා සිත් ඇතිවීමට ඉඩ තිබේ. ගැබිනි මවක් වුවත් නැතත් එවැනි සිතු-විලි හටගැනීම සාමාන්‍යයි. එසේ වුවත් දිගින් දිගටම හටගන්නා අකුසල් සිතුවිලි තුළ ඇලී සිටීම නිසා මවගේ සිතුවිලි අයහපත් වීමෙන් හැසිරීම සහ සිතෙහි ඇතිවන කෙලෙස් ස්වභාවය නිසා මවගේ සහ කුස තුළ වැඩෙන දරු පැටියාගේ මානසික හා කායික නිරෝගීබවට අයහපත් බලපෑමක් ඇතිවිය හැකියි.

ආගමික හා සංස්කෘතියක පරිසරයකට උරුමකම් කියන ශ්‍රි ලාංකික කාන්තාවන් ගැබ් ගැනීමෙන් අනතුරුව ක්‍රියාකල යුතු පොදු ස්වභාවයන් තිබේ. එය බුදු දහම හා අනුකූලය. නමුත් වර්ථමාන සමාජයේ නවීන සිතුවිලි වලින් පෝෂණය වුණු මව එම පොදු ස්වභාවයෙන් ඈත්වී කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. එවැනි හැසිරීම් නිසා සමීපතමයන්ගෙන් මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් ඇනුම් බැනුම් විවේචනවලට ලක්වීමට සිදුවේ. එවිට මවගේ සිතෙහි දුක තරහව ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා මව තුළ හටගන්නා සිතුවිලි අයහපත් වේ. එය කුස තුළ සිටින දරුවාට අයහපත් ලෙස බලපෑම් කළ හැකිය. මේ සඳහා සරල උදාහරණයක් සමාජය තූළින්ම ගතහැකිය.

ඇතැම් ගැබිනි මව්වරුන් ගර්භණී සමයේ විවිධ රූපගත කිරීම් සිදුකරයි. පසුගිය දිනවල මෙවැනි රූපගත කිරීම් විශාල ලෙස සමාජ මාධ්‍ය හරහා ජනතාවට දැකගැනීමට ද ලැබුණි. එවැනි රූපගත කිරීම් ලංකාව වැනි සංස්කෘතියක් හිමි රටවලට කෙතරම් ගැලපේ ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුයි. තවද එවැනි ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය වීම හා ඒවා දකින පුද්ගලයන් විවිධ ආකාරයේ අදහස් දැක්වීම නිසා ඒවා දකින ඇසෙන ගැබිනි මවගේ සිතට කළකිරීමක්, දුකක් ඇතිවේ. එවැනි සිතුවිලි කුස තුළ සිටින දරුවාගේ මානසික වර්ධනයට බලපෑමක් එල්ල කරයි.

එම නිසා සමාජගත පුද්ගලයන් සිදුකරන දොස් පැවරීම් නිසා මවගේ සිතේ කෙලෙස් අනවශ්‍ය ආකාරයෙන් වර්ධනය වේ. එවිට සිදුවන්නේ තමා මවක්ය යන්න අමතක වීමෙන් විකෘති ස්වභාවයට පත්වේ. මනස විකෘති වීම නිසා ධර්මයෙන් මනස ඈත් වේ. කුමන හෝ දෝෂාරෝපනයක් තමා වෙත ආ විට ඒවාට පිළිතුරු දීමට හා බැන වැදීමට උත්සහ කරන්නේ එවිටයි. කුමන දෝෂාරෝපනය තමා වෙත පැමිණියත් එයින් මිදීමට සුදුසු උපක්‍රම භාවිතයට මව දැනසිටිය යුතුයි. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ඒ මොහොතේ සිතේ ස්වභාවය තේරුම් ගැනීමයි. ඒ සඳහා මව අනුගමනය කළ යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ සතිය වැඩීම හෙවත් මනා සිහියෙන් පිහිටුවා සිටීමයි. මනා සිහියෙන් සිත පිහිටුවා ගැටළුව දෙස බැලීමයි.

ගැබිනි මවක් මනා සිහියෙන් යුතු කටයුතු කිරීමෙන් සිතෙහි පවතින රාගය, කෙලෙස් ආදිය බැහැර කර ප්‍රඥාව දියුණු වීමෙන් ගුණදහම් වැඩීමට සිත යොමු වන අතර එය ගැබිනි මවගේ මානසික නිරෝගී බවට ඉතාම වැදගත් වේ. එම නිසා දරුවෙකු ලැබෙන්නට සිටින මවක් දරු පැටියා කුසට පැමිණිදා සිට සක්මන් භාවනාව ප්‍රගුණ කිරීම මෙන්ම ඉරියාපනය වැනි භාවනා ක්‍රම පුහුණු කිරීම තුළින් ලැබීමට සිටින දරුවාට මෙන්ම මවටත් විශාල සෙතක් ඇතිකරගත හැකිය. මෙම භාවනා ක්‍රම මඟින් උපේක්‍ෂා සහගත ලෙස ගැටලු දෙස බැලීමට පුරුදු වේ. එම නිසා මොනයම් ආකාරයක සිත් පීඩාවක් පැමිණියත් මවට සහ දරුවාට අයහපතක් සිදුනොවන ලෙස ක-ුසල් කිරීමේ හැකියාව ද මෙම ඉරියාපතනයට හුරුවීම තුළින් හැකියාව ලැබෙයි.

මේ අයුරින් ඉරියාපතනයට පුරුදු වීමෙන් ගැබිනි සමය තුළ ඇතිවන වේදනා මඟහරවා ගත හැකිය. ගැබිනි සමය යනු වේදනාවන් බහුල ලෙස දැකගත හැකි කාලයකි. ඇතැම් අවස්ථාවල ඇතිවන වේදනා දරාසිටීමට අපහසුය. ශාරිරිකව එවැනි වේදනාවක් ඇතිවන විට සිතට ගෙන දෙන්නේ පීඩාවකි. එවිට එම වේදනාව දෙස මනා අවධානයෙන් බලාසිටියහොත් ටික වේලාවකින් එම වේදනාව යටපත් කරගැනීමට ඔබට හැකිවේ. මේ තත්ත්වය පුරුදු පුහුණු කළ විට දරු ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව දරාගැනීම අපහසු නොවනු ඇත.

ගෘහස්ථ ලෙස හිංසනයට පත්වීම නිසාද ගැබිනි මව විශාල ලෙස පීඩනයට පත්වේ. මෙවැනි අවස්ථාවල දී මවගේ සිත තුළ අයහපත් සිතුවිලි ඇතිවීම වැළැක්විය නොහැකිය. එවිට ඉරියාපත භාවනා ක්‍රමයට යොමු වී තම මනස දැහැමි ලෙස මෙහෙයවා ගැනීමට ගැබිනි මවට හැකි නම් තම නිවසේ පරිසරය තුළ සිදුවන දුක් පීඩාවන් සියල්ලක්ම දරාගැනීමේ හැකියාවක් ලැබෙයි. එම අවස්ථාවල දී ද්වේශය, කේන්තිය, තරහව ආදී සිත තුළට පැමිණිය ද සිතුවිලිම පමණක් යැයි අවබෝධ කරගෙන ධර්මය වෙත සිත යොමුකර ඔබටත් දරුවාටත් යහපත ළඟාකරගත හැකිය.

ලෝකයේ මැවීම්කරු දෙවියන් නම් යහපත් දරුවෙක් මැවිය හැක්කේ මවටයි. යහපත් දරුවෙක් සමාජගත කිරීමේ දොරටුව විවෘත කිරීමේ යතුර ඇත්තේ මවගේ අතෙහිය. එය මැනවින් තේරුම් ගෙන ක්‍රියාකිරීම මව සතු වගකීමකි.

අනගාරිකා ජීවන්ති නිරාශා
නිවෙන අරණ අනගාරිකා ආරාමය
මොහාට්ටි වත්ත බලපිටිය.

සටහන අරුණි ජයසේකර