free stats

ගර්භණී සමයේ මෙන්ම දරුවකු වර්ධනය වන අවදියේත් නිසි පෝෂණය ලබාගැනීම ඉතාම වැදගත් සාධකයකි. නිසි පෝෂණය ලබාගැනීම යනුවෙන් අදහස් කරන්නේ හොඳින් ආහාර ගැනීම පමණක්ම නොවේ. ගන්නා ආහාරවල සිරුරට අවශ්‍ය කරන පෝෂණය යහමින් අන්තර්ගත වී ඇත්දැයි යන්න ද සලකා බැලිය යුතුය. කෙතරම් ආහාර ප්‍රමාණයක් ලබා ගත්තත් එහි විටමින්, ප්‍රෝටීන්, ඛණිජ ලවන සහ අනෙකුත් පදාර්ථ අන්තර්ගත වී නොමැතිනම් එයින් සිදුවන්නේ යම් එක් පෝෂණ සංඝටකයක් පමණක් අධිකව සිරුරට එක්වීම පමණයි. මෙයින් පෝෂණය අසමතුලිත වීමක් ද සිදුවිය හැකිය.

එමෙන්ම එක් ආහාරයක් සමඟ තවත් ආහාරයක් සංසන්දනය කිරීමේ ක්‍රමයක් ද මව්වරුන් අතර දක්නට ලැබේ. උදාහරණ ලෙස බිත්තර වෙනුවට කොස් ඇට ආහාරයට ගැනීමෙන් බිත්තර මඟින් ලැබෙන පෝෂණ සංඝටක ලබාගත හැකිබව ඔවුන් අතර පවතින ජනප්‍රිය අදහසකි. නමුත් මෙහි කිසිඳු සත්‍යතාවක් නොමැත. දරුවන්ට බිත්තර වෙනුවට කොස් ඇට ලබා දීමෙන් පෝෂණ ඌණතා හෝ පෝෂණ අසමතුලිතතාවයන් මතුවීමට ඉඩ තිබේ. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සකස් කර ඇති ආහාර පිරමීඩය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වේ.

ආහාර පිරමීඩය ගත්විට එහි කොටස් පහක් දක්නට ලැබේ. එහි ඉහල ඇති මුල්ම කොටසින් පෙන්වන්නේ හිතකර මේද අම්ල අඩංගු රට කජු, කොට්ටන් වැනි ආහාර සහ ඔලිව් තෙල්, පොල් තෙල් සහ පැණි රස ආහාර වර්ගයි. මෙහි දෙවන කාණඩයෙන් පෙන්වන්නේ කිරි, බටර්, යෝගර්ට්, චීස් ඇතුළු කැල්සියම් සහ ප්‍රෝටීන් බහුල ආහාරයි. මස්, මාළු, බිත්තර, හාල්මැස්සෝ, ආදී යකඩ සහ මාංශ ප්‍රෝටීන බහුල ආහාර වර්ග අඩංගු වන්නේ ආහාර පිරමීඩයේ තුන්වන කාණ්ඩයටයි. එළවළු සහ පළතුරු අයිති වන්නේ මෙහි හතරවන කාණ්ඩයට වන අතර බත්, පාන්, පිටි, අල වර්ග ආදි පිෂ්ඨය මෙන්ම කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර පිරමීඩයේ පස්වන කාණ්ඩයට අයත් වේ.

මේ එක් එක් කාණ්ඩය තුළ පවතින ආහාරවල පෝෂක සංඝටක බොහෝ දුරට එක හා සමාන තත්ත්වයන් පෙන්නුම් කරයි. මේ නිසා මේ එක් එක් කාණ්ඩවල ආහාර එකින් එකට ආදේශ කළ හැකිය. එනම් බත් වෙනුවට එක් වේලක් පාන් හෝ පිට්ටු වැනි ආහාරයක් තෝරා ගැනීම, දහවලට කිරි වීදුරුවක් වෙනුවට යෝගර්ට් එකක් ආහාරයට ගැනීම හෝ රාත්‍රියට චීස් කැබැල්ලක් ආහාරයට ගැනීම වශයෙන් ආහාර කාණ්ඩය තුළ ආහාර වර්ග හුවමාරු ගැනීමට හැකියාව පවතියි.

නමුත් මේ ආහාර අතරත් යම් ආකාරයක බෙදීමක් පවතියි. එනම් එළවළු වර්ග ගත්විට තද කහ පැහැති එළවළු සහ කොල පැහැති එළවළු අතර වෙනසක් තිබේ. පතෝල, වැටකොළු වැනි එළවළු අනෙක් සියලු එළවළු වර්ගවල වඩා වෙනස් වේ. එසේම දෙහි කුළයේ පළතුරු වර්ග සහ අනෙකුත් පළතුරු වර්ග අතර පවතින වෙනස ද මේ ආකාරය. දෙහි වෙනුවට දොඩම් හෝ දොඩම් වෙනුවට දෙහි පානය කළ හැකි වුවත් දෙහි හෝ දොඩම් වෙනුවට ගස්ලබු ආහාරයට ගතනොහැක.

එසේම අප අතර පවතින තවත් ජනප්‍රිය මතයක් වන්නේ ඌරු මස් වෙනුවට හතු ආහාරයට ගත හැකිය යන්නයි. මේ ආහාර දෙක අතර කිසිදු සමානකමක් දක්නට නැත. ඌරු මස්වල මාංශ ප්‍රෝටීන අඩංගු වන අතර හතුවල අඩංගු වන්නේ ශාක ප්‍රෝටීනයි. කොස් ඇට සහ බිත්තර යන ආහාර දෙවර්ගය ද එකිනෙකට වෙනස් වේ. මේ ආහාර දෙවර්ගයෙන් බිත්තර අයත් වන්නේ මාංශමය ආහාර කොටසට වන අතර කොස් ඇට යනු පිටි සහිත ආහාර කාණ්ඩයට අයත් එකකි. මේ අනුව බිත්තර වෙනුවට මස් වර්ගයක්, මාළු වර්ගයක් හෝ හාල් මැස්සන් වැනි ආහාරයක් ආදේශ කල හැකි අතර කොස් ඇට බත්, පිට්ටු ආප්ප වැනි ආහාරයක් වෙනුවට ආහාරයට ගත හැකි කාබෝහයිඩේ‍රට බහුල ආහාරයකි.

මව්වරුන් අතර පවතින තවත් මතයක් වන්නේ කැල්සියම් අවශෝෂනය සඳහා කිරි වෙනුවට හාල්මැස්සන් හෝ කතුරුමුරුංගා වඩාත් සුදුසු බවයි. කිරිවල කැල්සියම්වලට අමතරව පොස්පරස් ද අඩංගු වේ. එහි කැල්සියම් අවශෝෂනය පහසුයි. නමුත් හාල් මැස්සන් යනු කැල්සියම් බහුල ආහාරයක්. එහි කුඩා කටුත් ආහාරයට ගතහැකියි. නමුත් අපිට දිනපතා හාල් මැස්සන් ආහාරයට ගැනීම ප්‍රායෝගිකව සිදුකල නොහැකියි. දිනපතා හොඳින් කැල්සියම් ලබාගැනීමට නම් දිනකට අවම වශයෙන් දෙවරක් කැල්සියම් අඩංගු ආහාර ගතයුතුයි. නමුත් ප්‍රායෝගිකව දිනකට දෙවරක් හාල්මැස්සන් හෝ කතුරුමුරුංගා ආහාරයට ගත නොහැකියි. එහෙත් උදෑසන කිරි පානය කර, දහවලට යෝගර්ට් ආහාරයට ගෙන රාත්‍රියට මුදවපු කිරි ආහාරයට ගැනීමේ හැකියාවක් තිබේ.

ඒ වගේම සෑම දිනකම එකම කාණ්ඩයෙන් එකම ආහාර වර්ගයක් ආහාරයට ගැනීමත් ප්‍රායෝගික නොවේ. එනම් සෑම දිනම තුන් වේලටම බත් පමණක් ආහාරයට ගැනීම නිසා අනෙක් පෝෂණ සංඝටක සිරුරට අහිමි විය හැකිය. මේ නිසා පාන්, කුරක්කන්, ආප්ප, පිට්ටු, ඉදි ආප්ප වැනි ආහාර වර්ග විවිධත්වයකින් යුතුව එක්කරගැනීම වඩාත් ගැලපේ.

මේ අතරින් මස් වෙනුවට සෝයා ඇතුළු රනිල කුලයේ ඇට වර්ග ආහාරයට ගත හැකිය යන මතයක තරමක් පිළිගත හැක්කකි. මස්වල සත්ත්ව ප්‍රෝටීන් ඇතත් රනිල කුලයේ ආහාරවල ඇත්තේ ශාක ප්‍රෝටීන පමණයි. එවැනි යම් යම් අඩුපාඩු තිබෙන නමුත් මේ ආදේශකයේ යම් ආකාරයක වටිනාකමක් දක්නට තිබේ. එසේම බටර් වෙනුවට මාජරින් ආහාරයට එක් කරගැනීම ද යම්තාක් දුරට සාර්ථක ආදේශකයකි. බටර් නිෂ්පාදනය සිදුවන්නේ කිරිවලින් වන අතර මාජරින් නිෂ්පාදනය සිදුවන්නේ ශාක තෙල් සහ පාම් තෙල් යොදාගෙනයි. මේ දෙවර්ගයේම මේදය බහුලව පවතින නමුත් කිරිවලින් ලැබෙන සාධක පිළිබඳව කතා කිරීමේ දි බටර් ආහාරයට එක්කර ගැනීමට වඩාත් සුදුසු වේ.

පළතුරු හෝ පළතුරු යුෂ අතුරින් වඩාත් සුදුසුම දෙය කුමක් ද යන්න පිළිබඳව බොහෝ දෙනා අතර ගැටලුවක් පවතියි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ලබාගැනීමට නම් වඩාත් සුදුසු වන්නේ පළතුරු කැබලි වශයෙන් ආහාරයට ගැනීමයි. එහි කෙදි කොටස් යහමින් අඩංගු වන අතර පළතුරු යුෂවල තන්තු අඩංගු නොවේ. එසේම අඹ කැබැල්ලක අඩංගු ප්‍රමාණයට වඩා අඹ යුෂ පානයක වැඩියෙන් සීනි අඩංගු වේ.

රතු සහල් සහ සුදු සහල් පිළිබඳවත් මෙවැනිම මතයක් තිබේ. එනම් රතු සහල් ගැනීම මඟින් සීනි පාලනය වන අතර සුදු සහල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි වැඩිවන බවයි. නමුත් ප්‍රතිඔක්සිකාරක වඩාත් ඇත්තේ රතුසහල්වලයි. ඒ හැරෙන්නට රතු හෝ සුදු සහල් ආහාරයට ගැනීමෙන් සිරුරට එකතුවන සිනී ප්‍රමාණයේ වෙනසක් සිදුනොවේ. ඒ සඳහා කල යුත්තේ ගන්නා ප්‍රමාණය අවම කිරීම හෝ පාලනය කිරීම පමණයි.

ඔබේ දරුවාට ආහාර ලබා දෙන විට මෙන්ම ඔබ ආහාර ගන්නා විටත් මේ ආහාර පිරමීඩයේ ඇති ආහාර වර්ග පහෙන් එක බැගින් දවස පුරාම සිය ආහාර වේල් සඳහා එක්කර ගැනීම වැදගත් වේ. එසේම යම් ආහාරයක් වෙනුවට වෙනත් ආහාරයක් ආදේශ කරගැනීමට අවශ්‍ය නම් වඩාත් සුදුසු වන්නේ ඒ ඒ කාණ්ඩය තුළ ආහාර වර්ග ආදේශ කරගැනීමයි.

මහාචාර්ය රේණුක සිල්වා
පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය
වයඹ විශ්ව විද්‍යාලය

සටහන චාපා හංසිනි ආටිගල