free stats

මවක් මාස නවයක් සිය දරුවා කුසෙහි ද ඉන් පසු වසර කිහිපයක් සිය දෑතේ ද මුළු ජීවිත කාලය පුරාම සිය සිතෙහිද දරා සිටියි.
– ගෞතම බුදුන් වහන්සේ –

අම්මා මවා ඇත්තේ හැම නිවසකටම දෙවියන් වහන්සේට යාමට නොහැකි නිසායි.
– ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ –

මාතෘත්වය යනු ඔබ ලබන වඩාත් උසස්ම පදවියයි. ඔබට කිසිම ලෙසකින් වෙනස් කළ නොහැකි ලෝකයක් වෙනස් කල හැකි ජීවිතයකට උපත ලබා දෙන්නට, ලෝකය තව දුරටත් ඉදිරියට ගෙන යා හැකි අලුත් නිර්මාණයක් කරන්නට අවස්ථාව ඇත්තේ ඔබට පමණි. එබැවින් ලොව සිටින හොඳම අම්මා වීමේ වගකීම ඔබ සතුය. එහෙත් හොඳම අම්මා විය යුත්තේ ඔබේ දරුවන්ට පමණක් නොවේ. සියලු දරුවන් වෙත මාතෘත්වයේ දෑත දිගු කරන්නට තරම් ඔබ පරිත්‍යාගශීලී විය යුතුය. එසේ නම් සියලු දරුවන්ට එක සේ පරිත්‍යාගශීලිව සලකන්නට හැකි මවක් වීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයකි.

  1. මිතුරු ඇසුරට ඉඩ දෙන්න

මිනිසා යනු සාමුහික ජීවියෙකි. මිනිස් ජීවියා බිහි වු දා පටන් අද දක්වාම ජීවත් වී ඇත්තේ කන්ඩායම් වශයෙනි. එය අපේ ජානමය ලක්‍ෂණයක් වන බැවින් ඔබේ දරුවාට ද මිතුරෙකු අවශ්‍ය බව මවක් ලෙස ඔබ තේරුම්ගත යුතුයි. එබැවින් ප්‍රථමයෙන්ම දරුවාට මිතුරු ඇසුරකට ඉඩ සලසා දෙන්න. මිතුරා තෝරා ගැනීමේ වගකීම දරුවාට පවරන්න. නමුත් ඔබ ඒ මිතුරා පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.

  1. එක හා සමානව සලකන්න

දරුවන්ගේ සිත් එක හා සමානය. ඔබේ දරුවාට දැනෙන යම් රිදවීමක්, වේදනාවක් අනෙක් දරුවාටත් දැනෙන්නේ ඒ ආකාරයටමයි. සමහර විට ඔබ සිදුකරන බැන වැදිමකින්, කියන ඇනුම් පදයකින් තවත් දරුවෙක් ජීවිත කාලය පුරාම අවපීඩනයට ලක්විය හැකියි. ඒ එක් වචනයක් ඔබ සිතනවාටත් වඩා වැඩි බලපෑමක් පුද්ගලිකව ඒ දරුවාටත්, ඔහුගේ පවුලටත්, සමාජයටත් සිදුවිය හැකියි.

  1. පුංචි පුංචි වැරදි

“දෙනුවන් හරි පෙරේතයි…අපෝ ඒ කොල්ලට එන්න කියන්න එපා මොනවා හරි හොරකම් කරයි. ඒ ළමයා නපුරුයි… එයා නම් පණ්ඩිතයි වයසට නෙවෙයි කතාව…

මෙවැනි වදන් කියමින් ඔබ අනෙක් දරුවන්ගේ වැරදි දකිනවා ඇති. මෙහි ඇති සොරකම් කිරීමේ වරද හැරෙන්නට ඉතිරි සියලු දඟකම් ඔබත් කුඩා කළ කර ඇති බව ඔබේ දෙමව්පියන්ගෙන් ඇසුවහොත් ඔවුන් ඔබට පවසයි. සෑම දරුවෙක්ම මෙයට පෙර නොකෑ ආහාරයක්, තමා කැමතිම ආහාරයක් දුටු විට එය ආහාරයට ගන්නට ආසා කරයි. එය සාමාන්‍ය තත්ත්වයකි.

යම් ගැටළුවක් ඇති වු විට සාමකාමී අදහස් දැක්වීමට වඩා දරුවන් උත්සහ දරන්නේ හඬා හෝ රණ්ඩු සරුවල් කර සිය අයිතිය දිනාගැනීමටයි. එවැනි තත්ත්වයන් කාලයත් සමඟ දරුවාගෙන් දුරස් වන නිසා ඒවා විශේසයෙන් මතුකොට දරුවකුට අපහාස කිරීම සුදුසු නැත. වයසටත් වඩා වැඩි අදහස් දැක්වීම ද දරුවන්ගේ සාමාන්‍ය චර්යාවකි. නමුත් දරුවෙක් මේ සියල්ලෙහි උපරිම තත්ත්වයට පත්ව ඇත්නම් ඔබ එයට මැදිහත් නොවී ඒ දරුවාගේ දෙමව්පියන් දැනුවත් කළ යුතුයි. නමුත් මැදිහත් විය හැකි අවස්ථාවක් නම් ආදරයෙන් පැහැදිලි කර දරුවාට සහය වීම ඔබේ වගකීමකි.

  1. දරුවන් අතරට මිනුම් දණ්ඩක්

අපෝ එයා දුප්පත්… ඒ බබාට ඉගෙන ගන්න බැහැ…. එයා හොඳ පවුලක නෙවෙයි

මෙවැනි අදහස් ඔබ තුළින් කියවෙනවා නම් එයින් ඉවත් විය යුතුයි. දරුවන් බිහිවන්නේ කල් ඇතිව සැලසුම් කිරීමෙන් නොවේ. එබැවින් පවුල් පරිසරයේ ස්වභාවයට දරුවකු කිසිසේත්ම වගකිවයුතු නොවේ. ඒ නිසා ඔබට තිබෙන පුද්ගලික ගැටළු, දෙමව්පියන් සමග තිබෙන ආරවුල් දරුවන් පිටින් තබා කටයුතු කරන්නට ඔබට හැකියාවක් නොමැත.

  1. දක්ශයා වැරදිකරුවෙක්

තම දරුවාට වඩා වෙනත් දරුවෙක් අධ්‍යාපනය තුල ප්‍රගතියක් පෙන්වයි නම් බොහෝ මව්වරුන් එම දරුවා කෙරෙහි ඉරිසියාවක් ඇතිකර ගනියි. මේ තත්ත්වයේ උපරිමයට යාමෙන් දරුවා මානසික පීඩාවට ලක් කිරීම හා ඉන් නොනැවති අනතුරක් සිදුකිරීමට උත්සහ කළ අවස්ථාත් පසුගිය කාලයේ වාර්ථා වුණි. නමුත් තවත් දරුවෙක් තුළ ඇති දක්‍ෂතාවක් යනු ඒ දරුවාගේ කැපවීමේ ප්‍රතිපලයයි. එය කිසිසේත්ම පැහැරගත හැක්කක් නොවේ.

ඔබ යහපත් මවක් ලෙස දෙවියන්ගේ තැන ගන්නේ නම් ඔබේ දරුවාට සේම අනෙක් දරුවන්ටත් එක හා සමානව සැලකිය යුතුවේ. සියලු දරුවන් ඔබගේ දරුවන් විය යුතුය. ඔබට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයේ සියලු තැනට ඔබින මවක් විය හැක්කේ එවිටය. සෑම දරුවෙක්ම සිතෙහි දරාගෙන උපේක්‍ෂාවෙන් සියල්ල දකින්නට හැකිනම් සැබවින්ම ඔබ භාග්‍යවන්තය.

සටහන චාපා හංසිනි ආටිගල