free stats

හිමෝෆිලියාව ප්‍රවේණිගත, රුධිරය ආශ්‍රිත රෝගී තත්වයකි. මෙය උපතේ සිට ඇතිවී ජීවිත කාලය පුරාම පවතී. මෙම රෝගියෙකුගේ රුධිරයේ වූ රුධිර කැටිකාරක ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා අඩු හෙයින් ඔවුන්ගේ ශරීරයේ රුධිර ගැලීමක් සිදුවූ විට කැටියක් සැදී එය නතර වීමට ගතවන කාලය වැඩි ය. එබැවින් නොනවත්වා රුධිර වහනය සිදුවේ. එයට හේතුවන්නේ හිමෝෆිලියාවට ගොදුරුවූ පුද්ගලයන්ගේ රුධිරයේ රුධිරය කැටිගැසීමට අවශ්‍ය සාධක (coagulation factors) නිසියාකාරව අන්තර්ගත නොවීම එයට හේතුවයි.

හිමෝෆිලියා රෝගයට ගොදුරුවන්නේ කෙසේද?

හිමෝෆිලියා රෝගය ජාන මගින් සම්ප්‍රේෂණය වන තත්ත්වයකි. එහි වාහකයන් ලෙස ක්‍රියා කරනුයේ කාන්තාවන්ය. පියා හිමෝෆිලියාවෙන් පෙලෙන විට දරුවන් කිසිවෙකු රෝගී නොවන අතර මව හිමෝෆිලියා රෝගයට ගොදුරු වී ඇත්නම් මව රෝග වාහකයකු වේ. ඒ අනුව උපදින පිරිමි දරුවන් හිමෝෆිලියා රෝගයට ගොදුරු විය හැකිය.

හිමෝෆිලියා රෝගයේ රෝග ලක්ෂණ

■ අනතුරක් නොමැතිව හිටි හැටියේ ශරීරය තුළ ක්ෂණික රුධිර වහනයක් සිදු වීම.
■ ශල්‍යකර්මයක දී, දතක් ගැලවීමේදී, කැපුම් තුවාලයකදී බොහෝ වේලාවක් රුධිරය වහනය වීම.
■ සන්ධි හා මාංශපේශි ඉදිමුම.
■ සන්ධි හා මාංශපේශි වේදනාව.
■ විශේෂයෙන් දණහිස් සන්ධිය, වැලමිට සන්ධිය සහ වළලූකර වැනි සන්ධි චලනය කිරීමට නොහැකි වීම.

රෝගය හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ

■ රුධිර පරීක්ෂණ
■ ජාන විශ්ලේෂනය

හිමෝෆීලියා රෝගී තත්ත්වයේදී ශරීරය තුළට හෝ පිටතට රුධිරය ගැලීමක් සිදු වේ. මෙහිදී රුධිරය ගැලීම නිතර සන්ධි තුළට සිදුවීමෙන් සන්ධි අනතුරට පත් වී වේදනාව හටගනී, සන්ධිවල චලන පරාසය නිසි ලෙස පවත්වා ගැනීමටත් සන්ධි අවට මාංශ පේශීන් ශක්තිමත් කිරීමටත් ව්‍යායාම කළ යුතුය. මේ සඳහා ඉතා සියුම් ව්‍යායාම කළ යුතුය. දැඩි ව්‍යායාම මගින් පේශිය තුළට හෝ සන්ධිය තුළට හෝ රුධිරය වහනය විය හැකිය. එබැවින් නිසි භෞතචිකිත්සක උපදෙස් මත සුදුසු ව්‍යායාම කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ඇත.

මෙහිදී දිනකට කළ යුතු ව්‍යායාම වාර ගණන සහ වරකට කළ යුතු වාර ගණන

භෞතචිකිත්සකවරයා විසින් තීරණය කරනු ඇත. පේෂිය විඩාපත් වන තුරු ව්‍යායාම කිරීමෙන් වේදනාව වැඩි විය හැකිය. එනිසා දැඩි වේදනාව හා ඉදිමුම ඇති අවස්ථාවලදී ස්ථිති ව්‍යායාම පමණක් කිරීම සුදුසුය. එහිදී පේශිය සංකෝචනය වන නමුත් සන්ධිය චලනය වීමක් සිදු නොවන බැවින් වේදනාව හා ඉදිමුම අඩු කිරීම මෙන්ම අවට පේශින් සිහින් වීමද වළක්වා ගත හැක.

සන්ධියක් ස්ථාවරව බැඳ තබා ගන්නේ එහි අවට මාංශ පේශින්ය. සන්ධියක් ස්ථාවරව බැඳ තබා ගන්නා එහි අවට මාංශ පේශීන් දුර්වල වීමෙන් සන්ධිය අස්ථාවර බවට පත්වේ. එවිට ඇවිදින විට, දුවන විට සන්ධියේ සමතුලිතතාව බිඳ වැටී සන්ධිය අනතුරට පත්විය හැකිය. යම් හෙයකින් එවැනි විටෙක රුධිර නාල බිඳී යාමෙන් සන්ධිය තුළට හෝ මස්පිඩු තුළට රුධිරය වහනය වේ. එබැවින් ජීවිතය පුරාම හොඳින් සිටින කාලයේදීත් සන්ධි අවට මාංශ පේශි ශක්තිමත් කිරීමෙන් රෝගය පාලනය කර ගත හැක. සන්ධි තුළ වේදනාව, ඉදිමුම දැඩිව ඇත්නම් පතුරු බැඳීමද සුදුසුය. Splinting හා Taping මගින්ද වේදනාව අඩු කර ගත හැක. එමෙන්ම සන්ධිය ස්ථාවර වීමට වෙලූමක් යෙදිය හැක.

වේදනාව සමනය කිරීමට භෞතචිකිත්සකවරු TENSනම් වන විද්‍යුත් උපකරණවලින් ප්‍රතිකාර ලබා දේ. එහිදී සියුම් විද්‍යුත් ධාරාවක් මගින් ස්නායු උත්තේජනය කර වේදනාව නැති කරයි.

මෙම රෝගී තත්ත්වයේදී දැඩි වේදනාව හේතුවෙන් රෝගියා කායික හා මානසික පීඩාවට පත් වේ. එවිට මාංශ පේශි දැඩි වේ. ශ්වසන වේගය, හෘද ස්පන්දනය, රුධිර පීඩනය වැඩි වේ. එවිට රෝග තත්ත්වය තවත් වැඩි විය හැක. එනිසා ආතතියෙන් මිදීමට හිත සන්සුන් කිරීමේ ව්‍යායාම (Relaxation exercise) කිරීම සුදුසුය.

මෙවැනි රෝගීන් සැලකිලිමත් විය යුතු අනෙකුත් කරුණු

■ තුවාල සිදුවීම අවමකර ගැනීමට වග බලා ගතයුතුය.
■ තුවාල සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති රැකියා හා ක්‍රීඩා වලින් ඈත් විය යුතුය.
■ යම් රුධිර වහනයක් සිදුවන්නේ නම් ඒ සදහා නිවසේදී කල යුතු දේ ගැන
පූර්ව අවබෝධයෙන් සිටිය යුතු අතර වහාම රෝගියා රෝහලට රැගෙන යායුතුවේ.
■ සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අවස්ථාවෙදී හෝ ශල්‍යකර්මයකට
භාජනයවන අවස්ථාවලදී තමාට හීමෝෆිලියාව ඇති බව වෛද්‍යවරයා
දැනුවත් කල යුතුය.

වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති,
කොළඹ 08 රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ප්රාධාන භෞතචිකිත්සක ජාලිය උඩුවැල්ල මහතා
සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි

සටහන
දිශාන්ති වෙදගේ