free stats

පැටියාගේ පෝෂණය ගැන හිතන අම්මාටත් හොඳ ආහාර වේලක්
අවශ්‍යයි.

ඔබේ කිරි කැටියාට ලබා දිය හැකි හොඳම දයාදය මව්කිරියි. මුල් මාස හය පුරාවට දරුවාගේ වර්ධනය සඳහා අවශ්‍ය සම්පුර්ණ පෝෂණය ලැබෙන්නේ මව්කිරි මඟිනි. පෝෂණය පමණක් නොව දරුවාට ඇති වන ලෙඩ රෝග සහ ආසාත්මිකතාවලින් ආරක්ෂාව ලබා දීමට මව්කිරිවල ඇති ප්‍රතිදේහ මහඟු පිටිවහලක් සපයයි. ඒ නිසාම ස්වභාව ධර්මයේ දායාදයක් වු මව්කිරෙන් තම දරුවා පෝෂණය කිරිම මවකගේ වගකීමකි. නමුත් ඒ වගකීම නිසි ආකාරව ඉටුකිරිමට නම් මව නිසි පෝෂණයෙන් යුක්ත විය යුතුයි. ඇය පෝෂණයෙන් පිරිපුන්ව ශක්තිමත්ව සිටිය යුතුයි. ඒ නිසා මේ සුදානම් වන්නේ කිරි දෙන මවකගේ පෝෂණය පිළිබඳව ඔබව දැනුවත් කිරිමටයි.

ගර්භණි සමයේ දී ගැබිනි මව පමණක් නොව ඇගේ පවුලේ සියලු දෙනා ඇගේ පෝෂණය හා නිරෝගි බව පිළිබඳව නිරන්තර අවදානයෙන් පසුවන්නේ ගැබ තුල සිටින කිරි කැටියා ඇගෙන් පෝෂණය වන බැවිනි. එහෙත් දරු ප්‍රසුතියෙන් පසුව මවගේ පෝෂණය දෙවැනි තැනට පත්වන්නේ නිරායාසයෙනි. නමුත් මේ කාලයේ දි කිරි දෙන මවකගේ පෝෂණය ශක්ති අවශ්‍යතාව ගර්භනි සමයටත් වඩා ඉහළය. එයට හේතුව අවශ්‍ය මව්කිරි නිෂ්පාදනයට අවශ්‍ය සියලු පෝෂණ කොටස් සැපයෙන්නේ මව ලබා ගන්නා ආහාර මඟින් වීමයි.

කිරි දෙන මව්වරුන් සෑම විටම සමබල ආහාර වේලක් ගත යුතුයි. ආහාර වල විවිධත්වයක් තිබීම අත්‍යවශය වේ. මැල්ලුම් වර්ග, පළා වර්ග, මාළු, මාංශමය ආහාර, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර මවකගේ බත් පිඟාන සමබල කරයි. මේ සෑම පෝෂ්‍ය කොටසක්ම ආහාර වේලකට ඇතුලත් විය යුතුයි.

පිෂ්ඨය අඩංගු ආහාර කිරි නිෂ්පාදනයට මෙන්ම ඔබේ කාර්යබහුල ජිවිතයට ද ශක්තිය සපයයි. ප්‍රෝටීන් මව්කිරි වල අඩංගු ප්‍රධානම සංඝටකයකි. එමෙන්ම කැල්සියම් ද කිරි වල බහුලව අඩංගු දරුවාගේ වර්ධනයට අවශ්‍ය සංඝටකයකි. යම් කිසි විදියකින් මව්කිරි දෙන සමයේ මවට නිසි පරිදි කැල්සියම් නොලැබුණහොත් දරුවාගේ කැල්සියම් අවශ්‍යතාවය සම්පුර්ණ කරගැනිම සඳහා මවගේ අස්ථිවල තිබෙන කැල්සියම් ලබා ගනියි. එයින් සිදුවන්නේ මවගේ අස්ථි දුර්වල වීම යි. කැල්සියම් ඌණතාවය කෙස් හැලියාමට ද හේතුවකි. මේ නිසා කිරි දෙන මවක් කැල්සියම් අඩංගු ආහාර වැඩියෙන් ආහාරයට එකතු කරගත යුතුය.

එනම් කූනිස්සන්, කුම්බලාවන්, හාල්මැස්සන්, කිරි ආහාර, තද කොළ පැහැති එළවලු හා පළා වර්ග, දිවුල්, තල, කඩල ආදි ආහාර මවගේ කැල්සියම් අවශ්‍යතාවය සම්පුර්ණ කරයි. යකඩ මවගේ ශරිරයේ ලේ ධාතුව වර්ධනයටත් ශරිරයේ මනා ක්‍රියාකාරිත්වයටත් එක සේ වැදගත් වේ. යකඩ දරුවාගේ සම්පුර්ණ වර්ධනයටත් මොළයේ මනා ක්‍රියාකාරිත්වයටත් හේතු වේ. එම නිසා යකඩ බහුල සත්ව ආහාර මෙන්ම තද කොළ පැහැති එළවලු හා කඩල කව්පි වැනි ඇට වර්ගත් තම ආහාර වේලට එක්කැර ගැනිම වැදගත් ය.

දරුවා ඉපදි මාස හයක් ගතවන තුරු යකඩ සහ කැල්සියම් පෙති භාවිතය අනිවර්යයි. උදැසනට කැල්සියම් පෙත්තත් රාත්‍රියට යකඩ පෙත්තත් ගැනීම සුදුසු ම ක්‍රමය වන අතර යකඩ පෙත්ත ගෙන පැයකට පමණ පසු ආහාර ගතයුතුයි. ඔබ ගන්නා ආහාර වල බලපෑම ඔබෙන් ශ්‍රාවය වන කිරි වලටද සෘජුව බලපායි. එබැවින් රසායන ද්‍රව්‍ය අඩංගු එමෙන්ම සකස් කරන ලද ආහාර ආහාරයට ගැනීම සුදුසු නොවේ.

හොඳින් ජලය පානය කිරිම අත්‍යවශ්‍ය කරුණකි. මව්කිරිවලින් 70% ක් පමණ අඩංගු වන්නේ ජලය යි. මේ නිසා අවශ්‍ය පරිදි ජලය නොමැති වීම මව්කිරි අඩු වීමට හේතු වේ. ජලය අඩුවෙන් පානය කිරිම සම වියලි වීමට ද හේතුවකි. මේ නිසා කිරි දෙන මවක් දිනකට අවම වශයෙන් ජලය ලීටර 2 හෝ 2.5 පමණ දවස මුලුල්ලේම පානය කිරිම සුදුසු වේ.