free stats

අප කවුරුත් දන්න විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය කියන්නේ ඕනම කාන්තාවකට හෝ පිරිමි කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. මෙවැනි තත්ත්වයකින් පෙළෙන කෙනෙකුට තමන්ගේ දෛනික ජීවිතය සමාන්‍ය පරිදි ගෙනයන්න අපහසුයි. මේ නිසාම එවැනි කාන්තාවක් ගැබිනියක් වු පසුව විශේෂයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වනවා. මානසික අවපීඩනය තිබෙන අයට අනෙක් අයගේ ආදරය, කරුණාව, රැකවරණය සහ සහය අවශ්‍යයි. ගර්භණී තත්ත්වයේ දීත් එය වෙනස් වෙන්නේ නැහැ. ලක්‍ෂණ හඳුනාගැනීම සහ අවබෝධය මඟින් අවශ්‍ය සහය ලබාදෙන්න පුළුවන්.

ලක්‍ෂණ

මානසික අවපීඩනය තිබෙන කෙනෙකුගේ ලක්‍ෂණ ගණනාවක් තිබෙනවා. ඒ අතරින් කැපී පෙනෙන ප්‍රධාන ලක්‍ෂණයක් විදියට දිගුකාලීනව දැනෙන දුක හඳුනාගන්න පුළුවන්. “දුක කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ඕනම කෙනෙකුට දුක ඇතිවෙනවා ඒ වගේම කෙටි කාලයකදී ඒ තත්ත්වය මඟහැරෙනවා. නමුත් මානසික අවපීඩනය තිබෙන කෙනෙකුට දුක කියන තත්ත්වය එක දිගට දීර්ඝකාලීනව තියෙනවා. මේක සාමාන්‍ය තත්ත්වය වඩා වෙනස්. හැමතිස්සෙම එයාගේ සිතේ ස්වාභාවය තියෙන්නේම සෘණාත්මක තත්ත්වයේ. තමන් කලින් ආසාවෙන් කරපු දේවල් තවදුරටත් කරන්න තියෙන අසාව අඩුවෙලා යනවා වගේම ඒ දෙවල් කලත් කලින් දැනුන සතුට නොදැනීමත් මේ තත්ත්වයේ දී හඳුනාගන්න පුළුවන්.

ඇගට දැනෙන වෙහෙස ගතිය වගේම ශක්තිය සහ ප්‍රබෝධය අඩුකමත් මේ රෝගයේ තවත් ලක්‍ෂණයක්. ඉලක්කයක් තියාගෙන අනාගතය වෙනුවෙන් යමක් කරන්නට තිබෙන උවමනාව අඩු වෙනවා වගේම ඉලක්කයක් ඔස්සේ මනස ඒකාකාරිව තබාගැනීමත් මේ අයට අපහසුයි. රාත්‍රි නින්ද අඩුවීම වගේම පාන්දර එක දෙක තුන අතර කාලයේ අවධි වීම සහ ඉන්පසුව නින්ද නොයාමත් මොවුන් අතර දක්නට ලැබෙනවා. තමන්ගේ ඉතාම සුළු වරදක් නිසා හෝ කිසිම වරදක් නොමැතිව දැනෙන පීඩාකාරි හැඟීම නිසා තමන් වරදක් කලාය කියන හැගීමක් මානසික අවපීඩන තත්ත්වයේ දී ඇතිවෙනවා. කලකිරීම සහ ආත්මාභිමානය අඩු වීම නිසා “මැරිලා ගියා නම් හොඳයි” කියන සිතුවිල්ලත් ඇති වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුගේ උදව්වවක් නැහැ කියලා හිතලා සියදිවි නසාගැනීමේ අදහස් වුණත් ඇති කරගන්න අවස්ථාව
තිබෙනවා.

වෙනත් රටවල සිටින පුද්ගලයන් ඔවුන්ගේ රෝග තත්ත්වය පිළිබඳව දැනුවත් වුණත් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කතා කළත් ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස්. මානසික අවපීඩනය හේතුවෙන් හට ගන්නා වෙනත් කායික රෝග තත්ත්වයන් නිසා තමයි ඔවුන් රෝහලට එන්නේ. මේ රෝගවලට මොනතරම් ප්‍රතිකාර කළත් වැඩක් නැහැ. මොකද හේතුව මානසික අවපීඩනය නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම මුලින්ම කළ යුතුවෙනවා. එවිට අනෙක් ඒ හා සම්බන්ධ සියළු කායික රෝග ඉබේම සුවපත් වෙනවා.

හේතුව

මානසික අවපීඩනය ඇතිවන්නේ කිසිම කෙනෙකුගේ වරදක් නිසා නෙවෙයි. එය මොළයේ ඇතිවන රසායනික වෙනසක් නිසා ඇතිවන තත්ත්වයක්. ඒ නිසා මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් දුර්වල, ප්‍රශ්න දරාගත නොහැකි පුද්ගලයන් විදියට සැලකියයුතු නැහැ. විශේෂයෙන්ම මෙවැනි රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා කාන්තාවක් සමඟ විවාහ වෙනවා නම් ඒ කාන්තාව පිළිබඳව පූර්ණ අවබෝධයෙන් යුතුව විවාහ වීම ඉතාම වැදගත්. මොකද ඒ අය සඳහා අනෙක් පුද්ගලයන්ගේ සහය අවශ්‍යයි. පවුල් ජීවිතයේ යම් යම් මතබේද ඇතිවන අවස්ථාවලදී අවබෝධයෙන් කටයුතු කිරීම වගේම එම ප්‍රශ්න බිරිඳට දැනෙන ප්‍රමාණය අවම කිරිම සැමියාගේ වගකීමක්. එසේ නැත්නම් එවැනි හේතුවක් නිසා ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්.

මව්පදවිය හා මානසික අවපීඩනය

දැනටමත් විශාද රෝගයෙන් පෙළෙන කෙනෙකුට වගේම ඒ සඳහා ප්‍රතිකාර ගන්න කෙනෙකුටත් දරුවෙක් පිළිසිඳගන්න පුළුවන්. නමුත් ඒ සඳහා කලින් සූදානම් වීම වඩාත් සුදුසුයි. ප්‍රතිකාර නවත්වන්න තරම් හොඳවුණු කෙනෙක් නම් විශේෂ සැලසුමක් අවශ්‍ය නැහැ. ගර්භණී වීමට පෙර වෛද්‍යවරයා මුණගැසිලා ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීම පමණක් සෑහෙනවා. ඒ අනුව රෝග තත්ත්වය පාලනය වෙලා තිබෙන ප්‍රමාණය, ඖෂධ ලබාදිය යුතුද නැද්ද, ප්‍රමාණය අඩුකළ යුතුද නැද්ද, අතුරු ආබාධ ගැන සලකා බලලා අවශ්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරයා කටයුතු කරනවා.

දරුවාට තිබෙන අවධානම

ඖෂධ ප්‍රතිකාරවලට වඩා අම්මාට තිබෙන රෝග තත්ත්වය නිසා දරුවාට අවධානමක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මානසික අවපීඩනයේ දී ආතතිය ඇතිවීමට අදාල හෝර්මෝනය වැඩිවෙනවා. එය වැදෑමහ හරහා ගිහින් දරුවාට ඇතුල් වෙන්න පුළුවන්. එයින් දරුවාට ආතතිය ඇතිවෙනවා. ඒ වගේම මෙවැනි තත්ත්වයක ඉන්න අම්මා කෙනෙක් අනිත් අම්මලා වගේ තමන්ව රැකබලාගනියි කියලා අපිට විශ්වාස කරන්න බැහැ. මේ තත්ත්වයේ ඉන්න අම්මා කෙනෙක්ට එවැනි උවමනාවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට පෙර නිසි ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වෙනවා.

පවුලෙන් ලැබෙන සහය

මානසික අවපීඩනය සහිත මවකට අනෙක් අයගේ සහය අවශ්‍යයි. විශේෂයෙන්ම එයාගේ සතුට වඩාත් වැදගත් වෙනවා. අම්මා සතුටින් ඉන්න තරමට තමයි දරුවා නිරෝගී දරුවෙක් විදියට බිහිවෙන්නේ. නිතරම අම්මාව සැහැල්ලුවෙන් සහ සතුටින් තැබීම ඉතාම වැදගත්. උදව්වක් නැතිකර නැවත රෝගය උත්සන්න වෙන්න බලපාන හේතුවක්. ගර්භණි සමයේ දී කායික වෙනස්කම් සිදුවෙනවා. ශාරිරික අපහසුතා නිසා රෝග උග්‍ර වෙන්න පුළුවන්. ගර්භණී සමයේ සිදුවන හෝර්මෝන වෙනස්වීමත් මෙයට හේතුවක්. ඒ නිසා පවුලේ අයගේ, විශේෂයෙන්ම සැමියාගේ උදව් අවශ්‍ය වෙනවා. දරුවා බිහිවන තුරුම අම්මා අවම මානසික ආතතියකින් තබාගැනීම වැදගත්.

අවබෝධය

පවුලේ අය රෝගය පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත්. එයා බොරුවක් කරන්නේ කියලා හිතන්න එපා. හැම විටම එයාව පිළිගන්න. එයාව ගණන් ගන්නේ නැහැ වගේ පෙන්නන්න එපා. ඒ වගේම ආදරය, අවධානය සහ ඇහුම්කන් දීම ඉතාම වැදගත්. මේ මානසික තත්ත්වය අම්මාගේ වරදක් නෙවෙයි. කලින් සිදුවුණු සිදුවීමක් නිසා ඇතිවුණු තත්ත්වයකුත් නෙවෙයි. ඒ වගේම මානසික අවපීඩනය ඕනම කෙනෙකුට එන්න පුළුවන්. මේ රෝග තත්ත්වය තියෙන කෙනෙක් නිතරම අඩන්නේ හිතේ තියෙන දරාගන්න බැරි දුක නිසයි. ඒ වෙලාවට එයාට අඩන්න දෙන්න. කිසිම දෙයක් නොකියා ලඟට වෙලා ඉන්න. එයාලා අවධානය බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. 99% ක් හොඳ දේක වුණත් එයාලා 1% ක වරදක් දකිනවා. පුංචිම පුංචි දේකට වුණත් අඩනවා. ඒ නිසා එවැනි දේවල් ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. මේක රෝගයේ හේතුව මිසක රඟපෑමක් නෙවෙයි.

දරුවා බිහි කිරීම

දරුවා බිහි කිරීම සාමාන්‍ය පරිදි කරන්න පුළුවන්. ඒක ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගේ තීරණය මත පදනම් වෙනවා. ප්‍රසූතියෙන් පසුව ඇතිවන පසු ප්‍රසව විශාදය ඇතිවීමට වැඩි අවස්ථාවක් තිබෙන නිසා දීර්ඝකාලීනව නිසි ප්‍රතිකාර ලබාදීම වැදගත්. මෙහිදි මව්කිරි හරහා දරුවා වෙත සම්ප්‍රේෂණය නොවන ඖෂධ ලබාදෙන්න පුළුවන්. රෝගය උත්සන්න වීම මව හා දරුවා අතර බැඳීමක් ඇති නොවීමට හේතු වෙනවා. එය පසුකලෙක මානසික රෝග ගණනාවක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්.

මිත්‍යා විශ්වාස

විශාදය හෙවත් මානසික අවපීඩනය පිළිබඳව විවිධ මිත්‍යා විශ්වාස තිබෙනවා. උග්‍ර තත්ත්වයේ නොපවතින විශාදය, සමහර විට කිසිම දෙයක් නොකලත් සුව වෙනවා. හිතේ විශ්වාසය නිසාත් සුව වෙනවා. ඒ නිසා යකදුරුකම්, නූල් බැඳීම්, තොයිල් ආදීයෙන් මේවා සුවකරන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉස්සර කාලේ පසු ප්‍රසව විශාදයට වැදු ගෙයි සන්නිය කියලා යකඩයක් අතට දීමෙන් රෝගය සුව වන බව විශ්වාස කළා. නමුත් සමාජයේ මුල් බැසගත් මෙවැනි මතවල කිසිඳු සත්‍යතාවයක් නැහැ. උග්‍ර විශාදය ඒ අයුරින් සුව වෙන්නෙත් නැහැ. මෙයින් රෝගය තවදුරටත් උත්සන්න වෙන්න පුළුවන්.

මානසික අවපීඩනයෙන් මිදෙන්නට

සෑම අම්මා කෙනෙක්ම මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න සමබල ආහාර වේලක් ගන්න. හොඳින් වතුර බොන්න. මත්පැන් සහ දුම්වැටි වැනි මානසික සෞඛ්‍යට වගේම ශාරීරික සෞඛ්‍යටත් අහිතකර දේවල් වලින් ඈත් වීමත් ඉතාම වැදගත්. සතියට කිහිප වතාවක් සතුට දැනෙන, සැනසීමක් දැනෙන ඔබ කැමති දෙයක් වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන්. මානසික අවපීඩනය නොමැති මවක් නම් ඇයට භාවනාවක් කරන්නත් පුළුවන්. අනිත් අයගෙන් උදව් ගන්න. ඒ වගේම අනිත් අයට උදව්වක් වෙන්න ඉඩ දෙන්න. ව්‍යායාම සහ හොඳ නින්දක් ලබාගන්න. මේ දේවල් වලින් පහසුවෙන් මානසික ආතතිය සහ මානසික අවපීඩනය වළක්වාගන්න පුළුවන්.

සටහන චාපා හංසිනි ආටිගල