free stats

සතිමත් බව (Mindfulness) හෙවත් වර්තමානයේ මේ මොහොත තුළ ජීවත් වීම අද කාලයේ ඉතාම සීඝ්‍ර ලෙස ජනප්‍රිය වෙමින් තිබෙන මානසික සුවතාවය ඉහළ නංවන ක්‍රමවේදයක්. වැඩිහිටි,කුඩා ඕනෑම අයෙකුට මෙම ක්‍රමවේදය පුහුණුකළ හැකි අතරම මෙයින් ජීවිතයට ලැබෙන මානසික ප්‍රබෝධය වචනවලින් විස්තර කළ නොහැකි තරම්. වැඩිහිටි ඔබට පවා ආතතියකින් තොරව දරුවන්ගේ කටයුතු, නිවසේ වැඩකටයුතු, රාජකාරි කටයුතු කිරීමට විශාල පිටුවහලක් මේ හරහා ලබාගත හැකියි.

කුඩා දරුවකු ළඳරු අවධියේ සිටම සතිමත්ව වැඩෙන්නට හුරුකිරීම තුළින් අනාගතයේදී ආතතියකින් තොරව ඕනෑම කටුක අවස්ථාවකදී පවා සතුටින්, සැහැල්ලුවෙන් ඒ ඒ අවස්ථාවන්ට මුහුණ දිය හැකි ලෙස දරුවාව හැඩගැස්සවිය හැකියි. දරුවන් දඟකාරයි, වගේම යමක් පුරුදු පුහුණු කිරීමේදී දෙමාපියන් වන ඔබට දරුවන්ගේ දඟකාරකම් නිසාම වෙහෙසක් දැනෙන බව ඇත්තක්.

එයට කළ යුතු හොඳම දේ වන්නේ මුලින්ම ඔබ සතිමත් පුද්ගලයෙකු වීමයි. මේ සඳහා ආශ්වාස ප්රාශ්වාස කිරීමට අවධානය යොමු කරමින් දිනටක විනාඩි 10– 15ක් වැනි කාලයක් හෝ අවම වශයෙන් ගත කළ හැකිනම් ඔබටම ඒ වෙනස වටහාගත හැකිවේවි. ඔබට ඒ සඳහා වැයකරන කාල සීමාව වැඩි කරගත හැකිනම් එසේ කිරීමෙන් විශාල මානසික සුවයක් අත්කරගත හැක. එලෙසම එදිනෙදා කටයුතුවලදී ඒ කරන දෙය වෙනුවෙන් පමණක් ඒ මොහොතේ අවධානය යොමුකරන්න. ඔබ ආහාර පිසීම වැනි කාර්යක නිරත වන අවස්ථාවක ඒ සඳහා පමණක්ම අවධානය යොමුකරන්න. එළවලු සේදීමේදී පවා එම එළවලුවේ හැඩය, එය අතට දැනෙන ආකාරය අත්විඳින්න. එය සෝදන විට අතට දැනෙන දැනීම විඳින්න.

ඔබ ස්නානය කරන අවස්ථාවකදී ජලයෙහි ඒ මොහොතේ උෂ්ණත්වය අත්විඳින්න. ඔබට ඊළඟට කිරීමට ඇති වැඩ කටයුතු වැනි වෙන කිසිඳු දෙයක් පිළිබඳව ඒ මොහොතේ සිතන්න එපා. ස්නානය කරන විට ජලය ඔබගේ හිස සහ ශරීරයෙහි ගෑවෙන විට ඔබට එය දැනෙන ආකාරය එම අවස්ථාවේ විඳින්න. දැනෙන සිසිලසට අවධානය යොමු කරන්න. හිසට වැටෙන ජලය ඔබේ සිරුර දිගේ පහළට ගලා යන අයුරු අත්විඳින්න. ආහාර ගන්නා අවස්ථාවක නම් වෙනත් දේවල් ගැන සිතමින් ආහාර ගැනීම වෙනුවට එම ආහාරවල සුවඳ,රසය පිළිබඳ අවධානය යොමු කරන්න. වෙනදා මෙන් නොමැතිව ආහාරයෙහි රසය දිවට දැනෙන අයුරු අත්විඳින්න. ඔබට ඉතාම හොඳ සැහැල්ලු බවක් දැනේවි.

ඔබ ගැබ් ගත්විට පවා සියළු කටයුතු සතිය පිහිටුවා කිරීම තුළින් දරුවාට ද එහි බලපෑම දැනෙන්න පටන්ගන්නවා. දරු ප්‍රසූතියෙන් පසුව ඔබේ ළඳරුවාට සතිමත්බව පුහුණු කිරීමේ අඩිතාලම දැමීම මවක් ලෙස ඔබට කළ හැකියි. එය අපහසු කරුණක් යැයි සිතුණත් එය ඇත්තෙන්ම ලෙහෙසියෙන් කළ හැකි දෙයක්. අවශ්‍ය වන්නේ ඔබේ ඉවසීම හා ළඳරුවාට අවධානය යොමුකිරීමයි.

ළඳරුවාගේ පළමු අවුරුද්ද තුළ ඔහුව/ඇයව සතිමත් බව පුහුණු කිරීම සඳහා සූදානම් කළ හැකියි. මේ අවධියේදි ළඳරුවාට බඩගින්න දැනුන විට, අවධානය, රැකවරණය අවශ්‍ය වූ විට එය ඉල්ලා සිටිය හැක්කේ හැඬීම මගින්. මෙවන් අවස්ථාවල ඔබගේ කාර්යබහුල බව නිසාම ඔබට කිසියම් ආතතියක්,වික්ෂිප්තබවක් දැනෙන බව සත්‍යයක්. නමුත් එවන් අවස්ථාවල ඔබ කලබල නොවී වර්තමාන මොහොත තුළ සිටින්න උත්සහ කරන්න. ඔබට යම්කිසි ආතතිමය තත්වයක් දැනේනම් සන්සුන්ව හිඳගෙන හොඳ හුස්මක් ගන්න, පහළ හෙළන්න. කිහිප වතාවක් එසේ හුස්මට අවධානය යොමු කරමින් හුස්ම ඉහළ පහළ හෙළීමෙන් ඔබගේ මනස සැහැල්ලු සහ තැන්පත් ස්වභාවයක් ගන්නවා.

ළඳරුවා හඬන වෙලාවට ඔහුව/ඇයව ඉතාම මෘදුව ආදරණීය ලෙස ඔබ අතට ගන්න. සාමාන්‍යයෙන් ළඳරුවන් තම මවගෙන් කිරි උරා බොන විට පවා මවගේ ඇස් දෙස බලා සිටිනවා. මෙවන් අවස්ථාවලදී ඔබත් සන්සුන්ව ළඳරුවාගේ දෙඇස් දෙස ඕනෑකමින් සහ සන්සුන්ව බලා සිටින්න. ළඳරුවා සන්සුන්වන අයුරු ඔබට තේරුම් යාවි. මෙය සතිමත්බව ළඳරු අවධියේදීම ඉගැන්වීම සඳහා උපකාරීවේ. කිසි විටකත් දරුවා සමඟ සිටින විට ජංගම දුරකථනය භාවිතයේ යෙදෙමින් දරුවා සමඟ කාලය ගත නොකිරීමට වගබලා ගන්න. පූර්ණ අවධානය දරුවාට ලබාදෙන්න.

ඔබට හැකි අවස්ථාවලදී දරුවා අතට ගෙන තණ බිස්සක හෝ ගෙමිදුලෙහි හෝ එසේත් නැතිනම් නිවස තුළ හෝ සක්මනෙහි යෙදෙන්න. දරුවාගේ දෙඇස් දෙස සන්සුන්ව සෘජුව බලාගෙන මඳ සිනහවකින් දරුවාට සංග්‍රහ කරන්න. ඔහුගේ ඇස් දෙස සෘජුව බලාගෙන ඉතාම සන්සුන්ව ඇවිදින්න. එම මොහොතේ ඔබගේ දෙපාවලට දැනෙන සිසිලස හෝ උණුසුම හොඳින් විඳින්න. ඔබගේ දෙපා පොළොවේ ගැටෙන ආකාරය ගැන අවධානය යොමුකරන්න. ඔබේ ඇඟිලිවලට,විළුඹට දැනෙන සංවේදනය ගැන සිහියෙන් දකින්න. ඒ වගේම දරුවාගෙ උණුසුම ඔබට දැනෙන අයුරු කෙරෙහිද අවධානය යොමුකරන්න. ඒ උණුසුම් හැඟීම් ඔබට මෙන්ම දරුවාටද අපූරු මානසික සුවයක් ලබාදේ. තවද ඔබට ලැබුණ ඒ අනර්ඝ වස්තුව වන දරුවා වෙනුවෙන් ස්තුතිවන්තවන්න.

මෙලෙස දිනකට කිහිප වතාවක් හෝ දිනපතා එක් වරක් හෝ කිරීමෙන් ඔබට ඔබ තුළ ඇතිවන වෙනස මෙන්ම ළඳරුවා තුළද ඇතිවන වෙනස ප්‍රායෝගිකව අත්දැකිය හැකිය. හැකිනම් මනස සන්සුන් කරන සංගීත ඛණ්ඩයකට සවන් දෙන්න. ළඳරුවාටද එය ඇසීමට සලස්වන්න. සතිමත්ව දරුවකු හැදීමේදී කළ හැකි අභ්‍යාසයන් ඔබට අන්තර්ජාලය හරහාද ලබාගැනීමට වර්තමානයේ පහසුකම් තිබෙනවා. ළඳරු අවධිය සේම ඉන්පසු අවධිවලදී ද සතිය පිහිටුවා කටයුතු කිරීමට දරුවාට ඉගැන්වීම තුළින්, දරුවාට ඔවුන්ගේ බාහිර හා අභ්‍යන්තර පරිසරයේ වෙනස්කම් ගැන අවධානය යොමුකිරීමට,හැඟීම් පාලනය කරගැනීමට, අවධානය වෙනතක යනවිට එය වළක්වාගැනීමට, කියාදෙන දෙයක් හොඳින් ධාරණය කරගැනීමට, උද්වේගකාරී ආවේගශීලී හැසිරීම් අවම කරගෙන සන්සුන්ව සාමකාමීව වර්තමාන මොහොත තුළ ජීවත්වීමට හොඳ හැකියාවක් ලැබේ.

ගුණ යහපත් බවින් පිරිපුන්, කාගේත් ආදරයට පාත්‍රවන, දක්ෂ, නිර්මාණශීලී, සතුටින් ජීවත්වන දරුවකු දායාද කිරීමට මේ මොහොතේ සිටම උත්සහ කරන්න. ඔබගේ සතිමත්භාවය තුළින් දරුවාද සතිමත් දරුවකු බවට පත්කරන්න. අපට ජීවිතය තුළ ලැබිය හැකි පරම ධනය වන්නේ සතුටයි. සතිමත්බව තුළින් ඔබගේ පරම ධනය උපයාගන්න උත්සහවන්තවන්න.

සටහන ප්‍රියාශා හෙට්ටිහේවා