free stats

රෝගයක් වැළඳීමට වයසක් අදාළ නොවේ. ලොකු, කුඩා වයස් පරතරයකින් තොරවම රෝග වැලඳේ. දියවැඩියාව නැමැති වදන ඇසූ සැණින් හිත ගැස්සීමක් වගේ දෙයක් ඔබටත් සිදුවිය හැකියි. එයට හේතුව අද අහන අහන හැමෝම වගේ මෙම රෝගයට ගොදුරු වී සිටිමය. අනෙකුත් රෝගවලට මෙන්ම දියවැඩියාටද වයස් සීමාවක් අදාල නොවේ. වයස අවුරුද්දේ සිට වයස අවුරුදු 18 දක්වා ඕනෑම අවස්ථාවකදී මේ රෝගය වැලඳීමේ අවදානමක් ඇත. මෙසේ කි සැනින් ආදරණීය අම්මේ, ඔබගේ සිත සැලීමට පත්කර නොගන්න. තමන්ගේ දරුවා දියවැඩියාව රෝගයට ගොදුරු විය හැකිය යන සැකය මත දරුවාට එවැනි දෙයක් අත් විමෙන් වලක්වා ගැනිමට ආදරණීය අම්මා කෙනෙකු ලෙස ඔබට ඔබට පියවර ගත හැකිය.

කුඩා දරුවන් අතර දියවැඩියා රෝගය එතරම් බහුල නොවේ. නමුත් ටිකෙන් ටික උස් මහත් වන දරුවා දියවැඩියා රෝගයට ගොදුරක් විමේ මූලික බීජ ඇති වන්නේ කුඩා අවධියේය. වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ආහාර රටාව පාලනය කිරීමෙන් අනාගත වැඩිහිටියෙකු මේ රෝගයෙන් බේරා ගත හැකිය. ආදරණීය අම්මේ, ඒ වගකීම ඔබට බාර වේ. වයස අවුරුදු 5ට අඩු දරුවාට සමබල අහාර වේලක් ලබා දීමෙන් ඒ වගකීම සපුරාලිය හැකිය. දරු පැටියාට තිබෙන ආදරේ වැඩිකමට අම්මා, සීනි, තෙල්, ලුණු වැඩිපුර කවන්නට උත්සාහ දරයි. දරුවා කෑම කන්නට අකමැත්තක් දක්වන විට පැණි රස වැඩි කර හෝ බැදුමක් ලෙස ආහාරය පිළියෙල කර දරුවාගේ කටට ඔබන්නට අම්මා උත්සාහ කරන්නීය. අම්මාගේ ආදරය පෙන්වන එක් අකාරයකි එය. නමුත් දරුවාට ආදරය දක්වන අම්මා කෙනෙකු නොකළ යුතු දෙයකි එය. මවු කිරිවලට අමතරව ඝන ආහාර ලබා දීමට ආරම්භ කරන මාස හයේ සිටම දරවාගේ දිව සමබල ආහාරයකට හුරු කිරීම ඉතා වැදගත්ය. අධික සීනි, තෙල්, ලුණු ආහාර ලබා නොදීමෙන් දරුවාගේ දිව ඒ රසට හුරු කරවා ගත හැකිය. එම රසට හුරු කරවා ගැනීමෙන් දරුවාගේ ආහාර රටාව කුඩා කාලයේ සිටම පාලනය කර ගත හැකිය. එමඟින් ආහාර රටාව නිසා ඇති වන දියවැඩියාව පමණක් නොව වෙනත් බොහෝ රෝග වලින්ද දරුවා ආරක්ෂා කර ගැනීමට ඔබට හැකිය.

දියවැඩියාවෙහි ප්‍රධාන ප්‍රභේද 2කි. Tips 01 සහ Tips 02 ලෙස දියවැඩියාව රෝගය කොටස් දෙකකට බෙදේ. ජානමය හා පාරිසරික හේතු මත පළමු වර්ගයේ එනම්Tips 01 රෝගයට ගොදුරු වේ. ස්ථූලතාව හේතුවෙන් Tips 02 හෙවත් දෙවැනි වර්ගයේ දියවැඩියාව වැළඳේ. පළමු වර්ගයේ දියවැඩියාවට දරුවන් ගොදුරු වන අතර දෙවැනි වර්ගයේ දියවැඩියාව වැඩිහිටියන් අතර සුලභ වේ. මුත්‍රා වැඩි වාර ගාණක් පිටවීම, පිපාසය, ශරීරය පණ නැති විම, ශරීරය කෙට්ටු වීම, මලානික ගතිය යනාදී රෝග ලක්ෂණවලින් දරුවකුට දියවැඩියාව රෝගය වැළඳී ඇත්ද යන්න හඳුනා ගත හැකිය. Tips 01 වර්ගයේ දියවැඩියාව රෝගයෙන් දරුවා පෙළෙන බව හඳුනාගැනීම කල්ගත වුවහොත් ඖෂධ නොලැබී යාම හා විජලනය නිසා ස්වසන වේගය ඉහළ යාමේ අවදානමක් පවතියි.

එවැනි විටකදී දරුවාගේ ජිවිතය රැක ගැනිමට හදිසි ප්‍රතිකාර පවා ලබා දිමට සිදුවේ. දරුවන්ට වැළඳී ඇති දියවැඩියාව රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාරයක් ඔවුන්ට ලබාදීම වඩාත් වැදගත්ය. නිසි ලෙස දියවැඩියාව පාලනය නොකළහොත් වකුගඩුවලට හානිවීම, අක්ෂි දුර්වලතා, කොලොස්ටරෝල් මට්ටම ඉහළ යාම, ආඝාතය, ස්නායු දුර්වලතා, හාදයාබාධ, පාදවල තුවාල සිදු විම යනාදී සංකූලතා ඇති විය හැකිය.

දියවැඩියාව රෝගයේදී දරුවන්ගේ අහාර පාලනය ක්‍රමානුකූලව සිදු කළ යුතුය. වැඩිහිටියන් මෙන් ඔවුන්ගේ වර්ධනය අවසන් වි නොතිබීම ඊට හේතුවයි. එම නිසා දරුවන්ගේ දියවැඩියාව සහ වැඩිහිටියන්ගේ දියවැඩියාව පාලනය කරනුයේ ආකාර දෙකකටය. එය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි. මෙහිදී දරුවන්ට සීනි තබෙන ආහාර වැඩිපුර ආහාරයට නොගන්නා ලෙස උපදෙස් දුන්නද, පිටි සහිත අහාර මුළුමනින්ම නැවැත්විමට උපදෙස් නොදී ඒවා සීමා කිරීම පමණක් සිදු කරයි. දරුවාගේ ශරීර ස්කන්ධ දර්ශකය එනම් උසට සරිලන බරක් තිබේද යන්න පරීක්ෂා කර පිටි සහිත ආහාර සීමා කරයි. ඒ අනුව දියවැඩියාව රෝගයෙන් පෙළෙන දරුවකුට සීනි සහිත ආහාර හැර අනෙක් සෑම ආහාරයක්ම පාලනයකින් යුතුව ලබාදිම සිදුවේ.

දරුවකු දියවැඩියාව රෝගයෙන් බේරා ගැනිම සඳහා කළ යුතු හොඳම දෙය වන්නේ දරුවාගේ ආහාර පාලනය සිදු කිරිමය. දරුවාට ඝන ආහාර ගත හැකි වයසේ සිටම එළවළු පලා වර්ග, පළතුරු වැඩිපුර ලබා දී සමබල අහාරයකට දිව හුරු කරවිය යුතුය. උදාහරණයක් ලෙස එළවළු, පලා වර්ග එකතු කර විවිධ රසැති සලාද වර්ග සාදා දරුවාගේ ආහාර ලෙස ලබාදිය හැකිය. කොළ පැහැති එළවළු වර්ග වැඩිපුර ලබාදිය යුතුය. කෙසෙල් වැනි පලතුරු නිතරම දරුවාගේ ආහාරයට එකතු නොකර කොළ පාට පලතුරු වන පේර, වෙරළු, අඹරැල්ලා, නමිනං, ලබාදීම සිදු කළ යුතුය. පළමු අවස්ථාවන්වලදී දරුවා මෙම ආහාර රසට අකමැත්තක් දැක්විය හැකිය. නමුත් ඒවා අහාරයට ගැනීමට ක්‍රමානුකූලව හුරු කරවීමේ වගකීම ආදරණීය අම්මාගේ කාර්යයකි . අපහසුවෙන් හෝ මෙවැනි අහාර රටාවකට දරුවා හුරු කරවීමෙන් දිගු කාලීනව මවගේ මානසික සහනයට එය හේතු වේ. නොඑසේ නම් දරුවා අසනීප වන වාරයක් පාසා මවගේ සිත දුර්වල වීම නොවැළැක්විය හැකි කාරණයකි.

දියවැඩියාව ඇතුළු සෙසු බෝ නොවන රෝගවලින් දරු පැටියා ආරක්ෂා කර ගැනීම සඳහා දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ ලබාදීමද වැදගත්ය. දරුවාට අනතුරු නොවී සෙල්ලම් කළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. එසේම සිනි අධික පැණි බීම දරුවාට ලබාදීමෙන් වැලකී වැළැකී සිටිය යුතුය . වයස අවුරුදු පහට අඩු කාලයේ සිටම අහිතකර ආහාර රටාවන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනිමෙන් නීරෝගී සම්පන්න අනාගත වැඩිහිටියකු නිර්මාණය කරගත හැකිය.

සාකච්ඡාව
දියවැඩියාව රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ප්‍රසාද් කටුලන්ද මහතා
සටහන – කුමාරි එස්. කරුණාරත්න