free stats

ඔසප් චක්‍රය ක්‍රියාත්මකවීමේ සිට කාන්තාවකගේ මාතෘත්වය දක්වා වූ බොහෝ ක්‍රියාවලීන් සඳහා නිරෝගී ගර්භාෂයක පැවැත්ම ඉතාමත් වැදගත් වේ. අනෙකුත් ශාරිරික අවයව සේම ගර්භාෂය කෙරෙහි පැවරුනු කාර්යයන් ඇති අතර ඒවා නිසි පරිදි සිදුනොවීම අවධානම් රැසකට හේතුවන බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි. මේ නිසාම ගර්භාෂය පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කරගෙන සිටීම වඩාත් වැදගත් වේ.

ගර්භාෂය යනු

ඉතාම සරල මාංශපේශියකින් නිර්මාණය වූ අවයවයකි. මෙය සිරුරේ ඇති අනෙක් අවයව මෙන් සංකීර්ණ කාර්යයක් සිදුකරන්නේ නැත. ප්‍රධානම කාර්යය වන්නේ දරු පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීමයි. ඒ නිසාම ගර්භාෂය සකස් වී ඇත්තේ දරුවෙක් පිටතට තල්ලු කිරීමේ හැකියාව සහිතවයි. මේ සඳහා ගර්භාෂයේ ඇති සංකෝචනය වන මාංශ පේශි උපකාරි වේ. දෙපස පිහිටා ඇති ඩිම්බ කෝෂවල ඇති ඩිම්බවලට ප්‍රතිචාර දැක්වීමත් මෙමඟින් සිදුවන තවත් කාර්යයකි. නමුත් ගර්භාෂය මඟින් හෝර්මෝන නිශ්පාදනයක් සිදුනොවේ.

ගර්භාෂයේ ක්‍රියාකාරිත්වය

ගර්භාෂය කොටස් දෙකකින් යුක්ත වේ. මෙහි ගැබ්ගෙල කොටස සංකෝචනය වීමෙන් දරුවා පහලට තල්ලුවීම සිදුවේ. එලෙස පිටවන දරුවාගේ ගමන් මාර්ගය පිහිටා ඇත්තේ ගර්භාෂයේ පහලිනි. එය යෝනි මාර්ගය ලෙස හැඳින්වේ. දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන අවස්ථාවේ ශ්‍රෑක්‍රාණු ගමන් කිරීම සිදුවන්නේ යෝනි මාර්ගය හරහායි.

ගර්භාෂයේ පිහිටීම

බොහෝ දෙනෙක් සිතා සිටින ආකාරයට ගර්භාෂය පිහිටා තිබෙන්නේ උදරයේ මැද
කොටසට වන්නට නොවේ. එය පිළිසිඳ ගැනීමකට ප්‍රථම පිහිටා ඇත්තේ ශ්‍රෝණිය තුළයි. ශ්‍රෝණිය පතුලේ “බේසමක යමක් තබා ඇති ආකාරයට” ගර්භාෂය පිහිටා තිබේ. පිළිසිඳ ගැනීමේ මුල්ම දින ගණන ද එය පිහිටන්නේ ශ්‍රෝණිය තුළයි. නමුත් පිළිසිඳ ගැනීමෙන් සති දොළහකට පසුව ගර්භාෂය උදරය වෙත පැමිණේ. වෛෙද්‍ය පරීක්‍ෂාවක දී අතට හසුවෙන තරම් විශාල වන්නේ ඉන් පසුවයි.

ඔසප් චක්‍රය සහ ගර්භාෂය

සෑම මසකට වරක්ම ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් පිටවේ. එයින් අදහස් වන්නේ එම ගර්භාෂය දරු ප්‍රසූතියකට සූදානම් වී ඇති බවයි. එසේ දරු ප්‍රසූතිය සඳහා සකස් වීමට ප්‍රතිචාර දක්වමින් ගර්භාෂය එයට සූදානම් වේ. එනම් ඩිම්බ කෝෂ මඟින් පිටවන හෝර්මෝනවලට ප්‍රතිචාර දක්වයි. මෙහිදි සැකසෙන කොටස් දරු ප්‍රසූතියක් සිදුනොවන අවස්ථාවේ ගැලවී යාම ඔසප් වීම ලෙස සරලව පෙන්වා දිය හැකියි. ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන කාන්තාවක් නම් මසකට වරක් නියමිත දිනයකදී ඔසප් රුධිරය පිටවීම සිදුවේ. මෙහිදි පෙර මාසයේ ඔසප් දිනයට දින කිහිපයකට පෙර හෝ දින කිහිපයකට පසු ඔසප් වීම සාමාන්‍ය වන නමුත් මසකට වඩා ප්‍රමාද වීම හෝ මසකට දෙවරක් ඔසප් වීම නිතර සිදුවේ නම් එය ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ලෙස පෙන්වාදිය හැකියි.

ඔසප් රුධිරය පිටවීම හා ශුද්ධ වීම

ශුද්ධ වීම කියලා හැඳින්වුවත් ඔසප් වීමෙදි සිදුවෙන්නේ අපිරිසිදු රුධිරය පිටවීමක් හෝ කාන්තාවකගේ සිරුරෙන් අපිරිසිදු ද්‍රව්‍ය පිටවීමක් නොවේ. කාන්තාවකගේ සිරුරේ විස ද්‍රව්‍ය එකතුවීමක් හෝ වෙනත් අපිරිසිදු දේවල් එක්වීමක් සිදුවන්නේ නැහැ. එවැනි හානිකර ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම ගර්භාෂයේ කාර්යයක් නොවන අතර ඒ සඳහා ඇති ඉන්ද්‍රය වන්නේ වකුගඩු යුගලයි. නමුත් ඔසප් අක්‍රමවත් වීමට හෝ ඔසප් සිදුනොවීමට බලපාන හේතු තිබිය හැකියි. මේවා නිසා වෙනත් රෝගාබාධ ඇතිවිය හැකියි. එබැවින් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. ඒ හැරෙන්නට ඔසප් සිදුවන විට අපිරිසිදු රුධිරය පිටවීම යන්න මිත්‍යාවකි. එහි ඇත්තේ ගර්භාෂයෙන් පිටවන කොටස්වල රුධිරය පමණයි. නමුත් පිටවන රුධිරය කැට වශයෙන් පිටවීම ගැටළුවකි. එලෙස කැට වශයෙන් රුධිරය පිටවේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වීම සහ වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් වනවා.

ගර්භාෂයේ ඇතිවන රෝගාබාධ

මේ අතරින් බහුලවම අවධානය යොමු වන්නේ ගැබ්ගෙල පිළිකා තත්ත්වයටයි. මෙය වෛරස් රෝගයක් මඟින් බෝ වන අතර වඩාත්ම සම්ප්‍රේශණය වන්නේ ලිංගාශ්‍රිතවයි. තම පළමු ලිංගික එක්වීමට පෙර මෙම එන්නත ලබාගැනීමෙන් වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාගත හැකිවේ. ඒ හැරුණු විට එන්ඩොමෙටි්‍රයෝසිස් තත්ත්වය ද ඇතිවේ. කල් ඇතිව හඳුනාගැනීමෙන් සුවකළ හැකි රෝග තත්ත්වයකි. ගර්භාෂයේ සිදුකරන සැත්කම් ද මේ වනවිට කැමරා ආධාරයෙන් කළ හැකි නිසා උදරයේ ඇතිවන කැපුම් තුවාල පිළිබඳව බියවීමට අවශ්‍ය නැහැ.

වෙනත් ගර්භාෂ රෝග

පිළිකා නොවන වෙනත් ගර්භාෂ රෝග තත්ත්වයන් ද තිබේ. අධික ඔසප් රුධිර පිටවීම, ඇඩිනොමයෝසිස් තත්ත්වය එනම් ගර්භාෂය සිවිය ගර්භාෂයේ මස්පිඩු තුළ වර්ධනය වීම, ඔසප් රුධිරය කැටිති ලෙස පිටවීම, ආදී රෝග තත්ත්වයන් පෙන්වාදිය හැකිය. හෝර්මෝන අසමතුලිත වීම නිසා විවිධ රෝගාබාධ ඇතිවිය හැකිබැවින් විශේෂයෙන් ආර්ථවයේ අවසාන අදියරේ සිටින කාන්තාවක් නිරන්තරයෙන් මාසික ඔසප් චක්‍රයේ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් වියයුතුයි.

ගර්භාෂය ඉවත් කිරීම

මෙවැනි සැත්කමක් සිදුකිරීම සඳහා විවිධ හේතු බලපෑ හැකිය. එනම් යම් කාන්තාවක් අවශ්‍ය දරුවන් ගණන බිහි කර අවසාන වී ඇත්නම් ඇයට සිය කැමැත්තෙන් වන්ද්‍යාකරණ සැත්කමක් සිදුකරගැනීමට අවස්ථාව තිබේ. ඒ හැරුණු විට ඉහත සඳහන් කළ පිළිකාමය තත්ත්වයන් හා පිළිකා නොවන වෙනත් රෝග තත්ත්වයන් නිසාත් ගර්භාෂය ඉවත් කිරීමට සිදුවේ. මෙය ජන වහරේ බඩ සෝදනවා ලෙස අර්ථ ගැන්නුවත් එහිදි සමහර විට සිදුවන්නේ සාමාන්‍ය පරීක්‍ෂණයක් සඳහා කොටස් ලබාගැනීම පමණයි. මේ හැරුණු විට වයසට යාමත් සමඟ සිදුවන ගර්භාෂය පහත්වීමේ තත්ත්වය නිසාත් සැත්කමක් මඟින් මෙය ඉවත් කිරීමට සිදුවේ.

ගබ්සාවක් සිදුවීම

කාන්තාවකට ගබ්සාවක් අවශ්‍ය නොවන අවස්ථාවක දී ගබ්සාවක් සිදුවිය හැක. ඒ හැරුණු විට මවගේ ජීවිතය බේරාගැනීමට සිදුවූ විට, දරුවාගේ පැවැත්ම තහවුරු කිරීමට නොහැකි වූ විට වෛද්‍ය උපදෙස් මත ගබ්සාවක් සිදුකළ හැකිය. මෙහිදි කුමන ආකාරයෙන් ගබ්සාව සිදුවුවත් ගර්භාෂයේ කලල කොටස් ඉතිරිවීමක් සිදුනොවිම අනිවාර්යය වේ. නැතිනම් එම කොටස් ආසාදනය වීමෙන් ගර්භාෂය තුළ ගැටලු මතුවේ. ගර්භාෂ බිත්ති එකට ඇලවීම, පැලෝපීය නාලයේ ආසාදන ඇතිවීම ආදිය නිසා සදාකාලික වඳභාවයට පත්වීම ද සිදුවිය හැකිය.

සැත්කමකින් පසු,

මාස තුනක කාලයක් යනතුරු බර එසවීම සුදුසු නොවන බවට වෛද්‍ය උපදෙස් ලබාදේ. එය සිසේරියන් සැත්කමක් කළ කාන්තාවකට වුවත් පොදු කරුණකි. කිසියම් හේතුවක් නිසා හෝ ගර්භාෂයේ සැත්කමක් සිදුකළ පසුව ගර්භාෂ බිත්ති දුර්වල වීම සිදුවේ. බර එසවීමක දී මෙම බිත්තිවලට හානියක් සිදුවීමට ඉඩ තිබේ. සිසේරියන් සැත්කමකදී වුවත් සැත්කම නිසි ආකාරයෙන් සිදුකලේ නම් සහ මව වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කලේ නම් නැවත නැවත සිසේරියන් සැත්කම් සඳහා මුහුණ දිය හැකියි. එබැවින් වෛද්‍ය උපදෙස් පිළිපැදීම වඩාත් යෝග්‍ය වේ. ලැපරස්කොපි ක්‍රමය යටතේ සිදුකළ සැත්කමකදී පමණක් දැඩි අවධානමක් ඇති නොවේ.

විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ට
සටහන චාපා හංසිනි ආටිගල