free stats

දරුවාගේ මුල් ළමාවිය පිළිබදව අප බොහෝ සෙයින් කතා බහ කරනවා. ඒ වගේම ඒ පිළිබදව අප විශේෂ උනන්දුවක් දක්වනවා. රට පුරාම ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන මේ උනන්දුව පිළිබදව ඇති ප‍්‍රබලම උදාහරණ ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඇත්තටම දරුවාගේ මුල් ළමාවිය සංවර්ධන මේ තරම් වැදගත් ඇයි ද කියන කාරණය ගැන අප තවදුරටත් පුළුල්ව කතා කරන්න හිතුවා. කොළඹ කාසල් කාන්තා රෝහලේ ප‍්‍රධාන හෙද නිලධාරිනි නන්දනි බස්නායක මහත්මිය සමග කළ සාකච්ඡුාවෙන් අනතුරුව සැකසුනු මේ ලිපිය මුල් ළමාවිය ම`ගින් සංවර්ධනය උදෙසා වැඩිහිටියන්ගේ දායකත්වය මොනතරම් දුරට වැදගත් වනවාද කියන කාරණය පැහැදිලි කරගන්න පුළුවන්.

දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය සදහා

අපි හැමදාම මුල් ළමා විය පිළිබදව කතා කරන්නේ දරුවාගේ උපතින් පසුයි. නමුත් ඔවුන්ගේ ළමාවිය සංවර්ධනය ආරම්භ වෙන්නෙ කලලය විකසනයත් එක්කමයි කියලා කිව්වොත් ඔබ තරමක් පුදුමයට පත්වේවි. කලල විකසනය සමග වර්ධනය වන දරුවාගේ මොළය මවගේ ගර්භයේ සිටම බාහිර ලෝකය සමග තමන්ගේ මුල්ම ගණුදෙනුව පටන් ගන්නවා. මාස කිහිපයක් යද්දි බාහිර ලෝකයෙන් ලැබෙන උත්තේජනවලට ප‍්‍රතිචාර දක්වන්න පටන් ගන්නේ අනෙකුත් අවයව වර්ධනය වීමත් සිදු වී අවසන් නිසයි. මේ වෙද්දි වර්ධනය වෙමින් පවතින මොළය එක් එක් කාර්යයන් සදහා වෙන්වීමත් සිදුවෙනවා. මවගෙන් ලැබෙන ආදරණිය උත්තේජනයන් අවශ්‍යම කාලයක් විදියට මෙන්න මේ කාල සීමාවත් වැදගත් වෙන්නේ මේ හේතුව නිසයි. පංච ඉන්ද්‍රිය උත්තේජනය සමග දරුවාට පණිවිඩ ලැබෙනවා. මේ ආදරණිය ආරංචි දරුවාගේ වර්ධනය සදහා අවශ්‍ය මූලික අඩිතාලම දාන්නේ අපි බලාපොරොත්තු වෙනවාටත් වඩා වේගයෙන්.

දරුවෙක් කුස පිළිසිද ගත් අම්මා කෙනෙක් වෙනදාටත් වඩා සතුටෙන් සහ නිදහසෙන් ඉන්න ඕන කියන්නේ අන්න ඒ නිසයි. ක-ුසේ ඉන්න දරුවා එක්ක කතා කරන්න, කුස අතගාන්න ආදරණීය බැදීමක් ඇති කරගන්න නම් අම්මා කායිකව හා මානසිකව නිදහසින් හා සතුටින් සිටීම ඉතාම වැදගත්. අනෙක් අතින් අම්මාගේ හිතේ මේ කාලෙදි ඇතිවෙන හැගීම් දැනීම් සහ සංවේදනා දරුවාට සෘජුවම බලපාන බව වෛද්‍ය මතයයි. ඒ වගේම අවට ඉන්න අයගෙන් අම්මාට වගේම කුසේ ඉන්න දරුවාට ලැබෙන ආදරය කරුණාව එයාට හොදින් දැනෙනවා. තමන් පැමිණීමට නියමිත ලෝකය ආරක්‍ෂා සහිත ආදරය පිරුණු සුන්දර තැනක් බව දරුවා තේරුම් ගන්නේ එවිටයි.

නිතර ක-ුස අතගාමින් සුරතල් බස්, නැළවිලි ගී කියන්නට හැකිනම් එයින් දරුවා තෘප්තියට පත්වනවා. වැඩෙමින් පවතින මොළය ඇතුළු අනෙක් පංච ඉන්ද්‍රියන් උත්තේජනය වීම දරුවාගේ වර්ධනයට මනා පිටිවහලක්. කුස අතගෑම, දරුවා සමග කතා කිරීම, මව පමණක් නොවෙයි දරුවාගේ පියාටත් මෙවැනි දෑ මගින් දරුවාට සමීප වන්නට පුළුවන්. අම්මාගේ කුස අතගෑම, කුස සිපගැනීම, වැඩිහිටි දරුවෙක් සිටිනවා නම් ඒ දරුවා සමග කතා කිරීම වැනි දේ මේ කාලෙදි දරුවා වෙනුවෙන් පියෙකු අතින් සිදුවිය යුතු දේ විදියට සදහන් කළ හැකියි. මවක් වෙන්නට ඉන්න ඔබත් මේ කාලෙදි හොද දේ දකින්න, අහන්න වගේම විදින්න ඕන. ඒ වගේම මනා ලෙස විනය පවත්වාගැනීම, සිහිය පවත්වා ගැනීම, අදහන ආගමක් හෝ දර්ශනයක් සමග නිතර සමීප වීම වැදගත් වනවා. එය දරුවාගේ පංච ඉන්ද්‍රිය වර්ධනයට වගේම මවගේ මානසික සැනසීමටත් හේතුවක්.

මුල් ළමාවිය

දරුවෙකුගේ මුල් ළමාවිය ලෙස අප සළකන්නේ උපතේ සිට අවුරුදු තුන දක්වා කාලයයි. මේ වයස වන විට දරුවාගේ මොළයෙන් 80% පමණ වර්ධනය වී අවසානයි. මොළය නිර්මාණය වන්නේ ජාලයක් ආකාරයෙන්. මෙහි නියුරෝන සහ ස්නායු විශාල සංඛ්‍යාවක් අඩංගුයි. මේ ජාලයේ සෑම තැනකටම උත්තේජනයක් අවශ්‍ය වන්නේ එම නියුරෝනවල නිවැරදි වර්ධනය සදහායි. වයස අවුරුදු 10 - 15 අතර කාලය වන විට මේ තත්ත්වය ක‍්‍රමයෙන් අඩුව යන නිසා ප‍්‍රයෝජනයට නොගන්නා නියුරෝන විනාශ වනවා. ඒ නිසාම දරුවාගේ අධ්‍යාපන, සමාජ චර්යා හා සාරධර්ම කාරණා වගේම සන්නිවේදන හැකියාවේ වර්ධනය සදහාත් මුල් ළමාවිය කාලසීමාව ඉතාමත් වැදගත් වනවා. මේ වයසේදි දරුවාගේ ගණිත හා තර්කන හැකියාව වර්ධනය කළ හැකි අතරම අවශ්‍ය නම් විදේශීය භාෂා දහයක් පමණ නිවැරදිව උගන්වන්නට පුළුවන්. දරුවාගේ ග‍්‍රහණය කරගැනීමේ මෙන්ම මතක තබාගැනීමේ හැකියාවත් ඒ තරම් ඉහළයි.

මේ වයසේ දි දරුවෙකුගේ බුද්ධි වර්ධනය සහ මතකය ඉතාම ප‍්‍රබල මට්ටමක පවතින නිසා දරුවා වෙත කරන බලපෑම පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. යම් හෙයකින් දරුවාගේ යහපත උදෙසා හෝ වෙනත් හේතුවක් මත ඔහු වෙත පැනවෙන තහංචි, දඩුවම් ඔහුගේ අනාගතය අදුරු කරන්නට හේතුවන්නට පුළුවන්. ඒ වගේම මෙවැනි වයසක සිටින දරුවෙක්ට තමා කෙරෙහි ඇති අවධානය හෝ ආදරය අඩු යයි දැනෙන හැගීමත් අනාගතය කෙරෙහි අනිසි ලෙස බලපාන්නට පුළුවන්. මේ නිසා අවුරුදු දෙක තුන අතර වයසේ පසුවන දරුවෙක් සිටින මවක් නැවත ගැබ් ගත්විට දරුවා ලැබෙන තුරුත් ඉන්පසු අලූත උපන් දරුවාට තේරෙන වයසට පැමිණෙන තුරුත් වැඩිමල් දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වනවා.

මුල් ළමාවිය සංවර්ධනය වුණු දරුවෙක්

ඉතාම ස්වාධීන සහ නිවැරදි තීරණ ගන්නා දරුවන් මුල් ළමාවිය සංවර්ධනය හො`දින් සිදුවු දරුවන් ලෙස සලකන්නට පුළුවන්. මොවුන් ආත්මශක්තියෙන් පරිපූර්ණ දරුවන් ද වනවා. ඔවුන්්ගේ ඉවසීම ඒ ඒ සිදුවීමට අනුරූපව වෙනස් වීම ද ඔවුන් තුළ දක්නට ලැබෙන ඉහළම ගුණාංග ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මෙයට අමතරව

අනතුරුවලින් ආරක්‍ෂා වීම
තමාව පාලනය කරගැනීම
අගය කිරීම හා ආත්ම අභිමානය දියුණු කරගැනීම
අදහස් ප‍්‍රකාශනය හා නිර්මාණශීලි බව
භාෂා සංවර්ධනය
චාලක හැකියාව හොද මට්ටමක පැවතීම දෙමව්පියන් සමග සුරක්‍ෂිත හා ඉහළ මට්ටමේ සබධතා පැවතීම

ආදි අනෙකුත් යහපත් ලක්‍ෂණ දරුවා තුළ ජනිත වන්නෙත් මුල් ළමාවිය නිසි පරිදි සංවර්ධනය වු පසුවයි. මේ වයසේ දි දරුවාගේ කණ්ඩායම් හැගීම් වර්ධනය කරවීම උදෙසා අනෙක් දරුවන් සමග සෙල්ලම් කිරීම සදහා ඉඩ ලබා දීම, කාල සටහනකට අනුව දවස කළමණාකරනය සදහා හුරු කරවීම, පොත් පත්වල ඇති රූප කතා අවබෝධ කරවීමට උත්සහ දැරීම, වැලි මැටි ආදියෙන් සෙල්ලම් කරමින් දරුවාගේ අත් ඇ`ගිලිවලට ව්‍යායාම ලබාදීම ආදිය වඩාත් සුදුසු වනවා.

කාසල් කාන්තා රෝහලේ
ප‍්‍රධාන හෙද නිලධාරිනි
නන්දනි බස්නායක

සටහන චාපා හංසිනි ආටිගල