බෞද්ධ කාන්තාවන්ට පමණක් නොව හැම ගැබිණියකටම රසවිදිය හැකි මහා ජන කාව්‍යය පිළිබඳ විවරණයකි.
මේ කවි කියවීමෙන් ඇසීමෙන්ද ඔබේ සිත් පහන් වනු ඇත්තේය.
යසෝදරාවත යනු අවුරුදු සිය ගණනක් තිස්සේ මෙරට බෞද්ධයන්ගේ සිත් සතන් පහන් කල ජනකවි මාලාවකි. මේ කාව්‍යයට පසුබිම් වන්නේ, සිදුහත් කුමරු මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමේ සිට උත්පත්තිය ලබා, ගිහිගෙය හැර ගොස් බුද්ධත්වයට පත්වී කිඹුල්වත් පුරයට වැඩම කරවීම පිළිබඳ සිද්ධි මාලාවයි.
මෙය බෞද්ධයන්ට පමණක් රස විඳිය හැකි කාව්‍යයක් ලෙස කෙනෙක් සිතන්නට පුළුවන. එහෙත් එය එසේ නොවේ. යසෝදරාවත වූ කලී අව්‍යාජ කවි සිතකින් පහල වූ භක්ති ආදර හැඟීම් මාලාවකි. යසෝදරාවත, කවි වලින් වෑහෙන කරුණා රසය ජාති ආගම්, දේශ සීමා ඉක්මවා යන විශ්වසනීය ගුණයෙන් පරිපූර්ණය.
මහාචාර්ය සරචිචන්ද්‍ර, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි ශ්‍රේෂ්ඨ විද්වත්හු යසෝදරාවත මහා ජන කාව්‍යයක් ලෙස හඳුන්වා දෙති. මේ කාව්‍යයට කවි එකසිය තුනක් ඇතුළත්ය. රචකයාගේ නම සඳහන් වී නැතත්, එය සෙංකඩගල රජ සමයේ ලියැවෙන්නට ඇතැයි නිගමනය කොට තිබේ.
යසෝදරාවත කවි ස්ත්‍රී හදවත් මුදු ලෙස ස්පර්ෂ කරමින් ජීවිතයේ යථාරූප ස්වභාවය කියාපාන බැවින්, අග්‍රගන්‍ය මව් පදවියට හිමි කම් කියන – ඔබට මේ කවි දිව ඔසුවක් වනු ඇතැයි සිතන්නෙමි.
මේ ලිපියට පාදක වන්නේ, සිදුහත් කුමරු පිළිසිඳ ගැනීමේ දී, මහා මායා දේවිය දුටු සිහින පිළිබඳ සසෝදරාවතේ කවි කිහිපයයි.
මහමායා දේවිය රාජ්‍ය සම්පත්තිය උපරිමයෙන් විඳින්නට අවස්ථාව ලැබූ පුණ්‍යවන්ත කාන්තාවකි. ඇගේ නිදි යහන දණක් පමණ උසට මල් අතුරන ලද සුව පහසු එකකි. ඇය සුදෝවුන් රජ වෙත පිය නගන්නී රන් කඳක් සේය. ඇය සැතපෙන විට දහසක් බිසෝවරු ඇය වටකොට මුරට සිටින්නීය.
රන් යහනේ සැතපෙන කල බිසවුන්ට
පුන් සඳ මඬල අහසින් ඒ යහන පිට
රන් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ළඟට
තුන් ජාමෙට පෙනුණා සඳ මඬල මට
දණක් පමණ මල් අතුරපු දිව යහනේ
පමණක් බිසව් සැතපෙන කල දුටු සීනේ
මැණිකක් දකින කොට ගැබ ඇතුළට වැදුණේ
මොන මොන දෙයක් දෝ නොදැනෙයි සුවාමිනේ
මහමායා සැතපෙන කල මල් යහනේ
අහසින් රිදී පරුවතයක් එම යහනේ
දහසක් බිසෝවරු වට කර මුර සිටිනේ
මහ රජු හට සැළ කෙරුවා මෙම සීනේ
නේරංජනා ගංඟවේ සුදු වැල්ලේ
නේරංජනේ ඉස්නානේ නෑවිල්ලේ
පැන්නා වටකරට සුවඳට මන ලොල්ලේ
පෙන්නා දිදී දරු සීනය පෙළින් පෙළේ
මහමායා බිසව සිහින පෙළක් දුටුවාය.
හිමාලයේ ඇති මහා විල් සතෙන් අනෝතත්ත විලෙහි යහනක ඉඳුවා කන්‍යාවන් දෙදෙනෙක් ඇය විලෙහි පැන් වලින් තමන් නෑවීම ඇය සිහිනෙන් දුටුවාය. අනෝතත්ත විල යනු පර්වත පහකින් වට වී දිග යොදුන් 150 ක් ද වූ සිහිල් ජලයෙන් පිරී ඉතිරෙන මහා ජලාශයකි. සුදර්ශන කූඨ නම් මහා පර්වතය එයට සෙවණ දෙන්නේය. පර්වත පහ නිසා හිරු රැස් හෝ සඳ රැස් අනෝක්ත විලට සෘජුවම වැටෙන්නේ නැත. ජලය මත වැටෙන්නේ ආලෝක ප්රතිබිම්බයන් පමණි. විලෙහි ජලය හැමදාමත් සිහිල්ව තිබෙන්නේ එබැවිනි.
දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළුවා
අනෝතත්ත විල මැද යහනක ඉඳුවා
කන්‍යා ලියෝ දෙදෙනෙක් පැන් නෑවෙව්වා
අනෝතත්ත විල මම සීනෙන් දුටුවා
එම සිහිනයේදී ඇත් පැටවෙක් පැමිණ තම කුස පිරිමදිනු මහමායා දේවිය සිහිනෙන් දුටුවාය. ඇය ඒ සිහිනයේ අරුත කුමක්දැයි මහරජුගෙන් විමසන්නීය.
සුදු සක ලෙසට ඇත් පැටියෙක් විත් යහනේ
සුදු සොඬ ටිකෙන් මගෙ බඩ පිරිමදිති අනේ
සුදු යම් දෙයක් සිදු වෙයි මම දුටු සීනේ
සුදසුන් නිරිඳුනේ මොකදැයි ඔය සීනේ?
මහරජු උගත් බමුණුන් ගෙන්වා, පළමුවෙන්ම ඒ බමුණන්ට කිරිබත් සංග්‍රහකොට දෙවනුව සිහිනයේ අරුත විමසුවේය. ඒ සිහිනයෙන් කිසිවෙකුට අපලයක් සිදු නොවන බවත් පින් කළ අයට නපුරු සිහින නොපෙනෙන බවත් බෝධිසත්වයෙක් කුස පිළිසිඳ ගැනීම මේ සිහිනයෙන් කියැවෙන අනාවැකිය බවත් බමුණෝ කීහ.
පිරිසිදු බමුණු ගෙන්නා මහරජ එදිනේ
කිරිබත් කවා දෙවනු ව ඇසුවා සීනේ
නිරිඳුනි අපල නැත කාටත් ඔය සීනේ
පිරිසිදු බෝසතෙක් උපදි ය ලොවට අනේ
සුද්දෝදන නරනිඳුනේ අසනවට
නපුරු සීන නො පෙනෙයි පින් කළ අයට
පෙනුණු සීනෙ ද සීනේ ම යි ඔබට
පින් ඇති බෝසතෙක් උපදි ය තුන් ලොවට
අලුයම් වේලෙහි මහමායා දේවිය තවත් සිහිනයක් දුටුවාය. රන් යහනේ සැතපෙන කල – රන් මාලාවක් යහන මත විය. දෙවියෝ පැමිණ ඒ රන් මාලය බිසවුන්ගේ කරට දැමීය.
රන් යහනේ සැතපෙන කල බිසවුන්ට
රන් මාලාවක් තිබුණා යහන පිට
රන් දම විගස දැමුවා දෙවියෝ කරට
අලුයම් වේලෙ ඔය සීනෙ පෙනුණි මට
මහා සේනාවෝ කුඩ කොඩි ගෙන සිටියදී අහසින් රන් තරුවක් පොළවට පතිත විය. දේවිය ඒ රන් තරුව අහුලා ගත් විට ඇයට ඒ තරුව ගිලුනි.
මහසෙන් රැස් ව කුඩ කොඩි ගෙනවට කරට
අහසින් ඇවිත් රන් තරුවක් දෙරණ පිට
විගසින් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙසට
සීනෙන් තරුව ගිලුණා මගෙ ගැබ තුළට
මහමායා දේවිය මල් යහනේ සැතපෙන කල ඇය මහමෙර මුදුනේ ආසනයක වැඩ සිටි ආකාරය සිහිනෙන් දුටුවාය. ඇය සිටියේ අසල පායා ඇති පුන් සඳ පිරිමදිමිනි.
මහමායා සැතපෙන කල මල් යහනේ
මහමෙර මුදුනෙ ආසනයක වැඩ ඉඳිනේ
අසල ගමක පුන් සඳ පිරිමදිමින්නේ
මහ රජුනේ මොක දැයි ඔය දුටු සීනේ?
බිසව රිදී යහනේ සැතැපෙන විට රිදී කඳක් ද දෙරණ වටා සිටි රිදී නයි පැටවෙක්ද දුටුවාය.
රිදී යහන සැතපෙන කල බිසවුන්ට
පිරී දෙතන කිරි එරිලා කරඬුවට
රිදී කඳකි නයි පැටියෙකි දරණ වට
නෑරිය දරු සීන පෙනුණා බිසවුන්ට
ඉතින් ඇවිත් බුමුණෝ වාසල් දොරට
සොඳින් සීන තෝරා දුන්නේ රජුට
මෙතුන් ලොවට නායක පුන් සඳ ලෙසට
උතුම් බෝසතෙක් උපදි ය තුන් ලොවට
රජවාසලට පැමිණි බමුණෝ රජුට සිහිනය හොඳින් පැහැදිලි කර දුන්හ. සිහිනයෙහි අරුත නම්, තුන් ලෝකයට පායන පුන් සඳක් බඳු උතුම් බෝධි සත්ව කුමාරයෙක් මහාමායා දේවියට දාව උත්පත්තිය ලබන බවයි.