free stats

රජයේ රෝහල් කරා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කුඩා දරුවන් අතරින් සියයට හැත්තෑපහකට වඩා දරුවන් කුමන හෝ පෝෂණ ඌණතාවයකින් පෙළෙන බව මේ වන විට හෙළි වී තිබේ. මේ අතරින් ප්‍රෝටීන්, යකඩ සහ විටමින් ඌණතාවය ප්‍රධාන වෙයි. මෙරට සිටින ළමුන්ගෙන් ප්‍රතිශතය ලෙස 80%කටත් වැඩි ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව පැහැදිලි වී තිබේ. එනම් එම ප්‍රමාණය පැවතිය යුතු සම්මත බරට වඩා අඩු බරක් දරන බවයි. මෙය කියවන ඔබද ඉන් කෙනෙකු වීමට ඉඩ කඩ වැඩිය.

පෝෂණ තත්ත්වයන් අනාවරණය කර ගැනීමට වැදගත් වන නිර්නායක අතර BMI-BODY MASS INDEX හෙවත් ශරීරයේ ස්කන්ධ ඒකකය ප්‍රධානයි. මෙහිදී පුද්ගලයකුගේ ශරීරයේ උස ප්‍රමාණයට අනුව තිබිය යුතු බර සැසඳිය හැකිය. මෙය අදාළ නියමිත වයසට අනුව නිශ්චිත අගයක් දක්වන දෙයකි. නමුත් අපේ රටේ දරුවන්ගේ සහ තරුණියන්ගේ BMI අගය අදාළ වයසට හා උසට අනුව ඉතා අඩු අගයක පවතී. පුද්ගලයෙකුගේ පෝෂණ තත්ත්වය තීරණය කිරීම සඳහා ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණ ඒකකය ද PCM බහුල ලෙස යොදා ගනියි. මෙහිදී අදාළ වයසට පැවතිය යුතු බර සහ පවතින ශරීර බර තීරණය වේ.

මෙම පෝෂණ බිඳ වැටීම සිදුවන්නේ ළදරු අවධියේ පටන් සිදුවන පෝෂණ වැරදි හේතු කොට ගෙනය. කුඩා දරුවන්ගේ ළමා වර්ධන සටහන හෙවත් අම්මයි බබයි කාඞ් එක (CHDR) පරීක්ෂාවෙන් මෙම පෝෂණ බිඳ වැටීම හඳුනාගනියි. එය තුළින් මව්කිරි පමණක් ලබා දෙන පළමු වන මාස 4 තුළ ළදරුවන්ගේ මනා පෝෂණයක් දැකිය හැකිය. වර්ධනය අඩාල වන බවක් පෙන්නන්නේ ඉන් අනතුරුව අමතර ආහාර ලබා දෙන කාල සීමාවේ ආරම්භයත් සමඟය. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් පළමුවැනි මාස 6 තිස්සේම දරුවාට මව් කිරි ලබා දෙන ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරු පෙළඹී සිටිති. එහෙත් පවතින පෝෂණ ගැටළුවට එය සාර්ථක විසඳුමක් නොවේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හමුවට එන බොහෝ මව්වරුන් නගන පොදු මැසිවිල්ලක් වන්නේ
 
“අනේ ඩොක්ටර් මෙයාට කොච්චර කවන්න හැදුවත් කන්නේ නෑ. බත් පිඟාන අරගෙන ගේ වටේම දුවන්න වෙනවා බත් කටක් කවා ගන්න” 

යන්නය. මෙහිදී අපට හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ සමහර මව්වරුන් අවුරුද්දක් පමණ යන තුරුම තම දරුවන්නට බත් කවන්නට නොදී පිටි කිරි ලබා දීමට පමණක් පෙළඹී සිටින බවයි. එයට හේතුවක් වශයෙන් බොහෝ මව්වරුන් පවසන්නේ දරුවන්ට බත් කවන්නට නැකතක්  තිබුණේ නැති බවයි.

දරුවා බත් කන්නට අදිමදි කරන්නේ ඇයි?

බොහෝ දෙමාපියන් තම දරුවන්ට බත් කවන්නේ පිටි කිරි බිස්කට් ආදිය ලබාදෙන අතරතුරයි. බත් කැවීමට පටන් ගත්තත් පිටිකිරි හෝ මව්කිරි දීම සීමා කරන්නට මව්වරු උත්සාහ කරන්නේ නැත. පැයෙන් පැයට පිටිකිරි බීමට ගියහොත් වැඩිහිටි අපට ද බත්කෑමට රුචියක් ඇති නොවීම ස්වාභාවිකය. බත් කන්නට කිට්ටු වෙද්දී අප තේ එකක් හෝ බීමෙන් වැළකී සිටින්නේ ද ඒ නිසාය. 

    ඉතින් බිස්කට් ආදියත් පිටිකිරි ආදියත් පෙර පරිදිම ලබා දෙමින් , දරුවාට බත් කවන්නට උත්සාහ කළාට පලක් නොවීම පුදුමයක් නොවෙයි. මූලික හේතුව බඩ පිරී ඇති දරුවාට බත් කන්නට තරම් රුචියක් ඇති නොවීමයි. 

මේ වැරදි නිවැරදි කරගෙන මව්වරුන් දැනුවත් කිරීමට අපේ රටේ සෞඛ්‍ය අංශය තවමත් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. වෙනත් රෝගයකට හෝ රෝහල් ගත වීමෙන් පසු ළමා රෝග සායන වලට නිසි පරිදි ළමයින් කැටුව පැමිණෙන්නේ නම් යම් පමණකට හෝ මව්වරුන් දැනුවත් කිරීමට වෛද්‍ය වරුන් උනන්දු වෙයි. බොහෝ මව්වරුන් එසේ පැමිණෙන්නේ නැත. 

කෙසේ වුවද මේ කරුණ තුළින් පැහැදිලි වන්නේ අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ දැවැන්ත බිඳ වැටීමක් සිදු වෙමින් ඇති බවයි. විශේෂයෙන්ම අද ගම්වල සිටින වින්නඹු හෙදියන්ගෙන් මව්වරුන්ට නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් නොලැබෙන බව පෙනී යයි. එය තහවුරු වන්නේ අප වෙත පැමිණෙන ළමා රෝගීන්ගෙනි. ඔවුන්ගෙන් හෙලිවන තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ අලුත උන් දරුවා විටින් විට පරීක්ෂා කිරීම, මාතෘ හා ළමා සායන වලදී ගැටළු හඳුනාගෙන උපදෙස් ලබාදීම ආදිය අද ගම් මට්ටමින් නිසි පරිදි සිදු නොවන බවයි. මෙය වහ වහා නිවැරදි කළ යුතු දෙයකි. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පළක් නැති බැවිනි. 

අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනෙකු විසින් ලබා දෙන උපදෙස් යල් පැන ගිය ඒවා වීම ද උද්ගතව ඇති තවත් ගැටලුවකි. මෙම සෞඛ්‍ය සේවිකාවන් නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වන වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර නැත. එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන් ද (MOH)විටින් විට නව වෛද්‍ය විද්‍යා දැනුමෙන් පෝෂණය කිරීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුය.

මේ හැරුනු කළ රූපවාහිනිය වැනි මාධ්‍ය තුළින් කෙරෙන ආකර්ෂණීය ප්‍රචාරක දැන්වීම් වලින් පෙන්වන ළමා ආහාර ඇත්තෙන්ම දරුවන්ගේ පෝෂණයට බලපානවාද නැද්ද යන්න ගැනද දෙමව්පියන් දැනුවත් විය යුතුය. 

“බබා කන්නේ නෑ මහත්තයෝ විටමින් එකක්වත් ලියලා දෙන්න” යයි බොහෝ මව්වරු ඉල්ලා සිටිති. එහෙත් විටමින් සිරප් බෝතලයකින් දරුවෙකු ලොකු මහත් වන්නේ නැත. ඒ සඳහා ගමේ වත්තේ පිටියෙන් සපයා ගත හැකි එළවළු, පළතුරු මෙන්ම බිත්තර, කුඩා මාළු වර්ග හා ධාන්‍ය ඇට වර්ග ද ආහාරට දිය යුතුය. 

ළමා වාට්ටු වලට ඇතුල් කරන දරුවන්ගෙන් වැඩි දෙනෙකු රක්තහීනතාවය එහෙමත් නැත්නම් යකඩ ඌණතාවයෙන් පෙලෙන බව ඔවුන් පරික්ෂා කිරීමේ දී සහ රුධිර පරීක්ෂා වලින් පෙනී යයි. මෙම දරුවන්ගෙන් වැඩි දෙනෙකු රුධිරය තුළ නියමිත හිමොග්ලොබින් මට්ටමට වඩා අඩු අගයක් පෙන්නුම් කරයි.

අද අපි අතිශය තරඟකාරී, අති ධාවනකාරී ගමනක යෙදී සිටින්නේ අනෙකා පරයා නැගී සිටීමට නොහැකි නම් කෙසේ හෝ ඒ මට්ටමටවත් පිවිසෙනු පිණිසය. ඒ හේතු කොටගෙන වැඩිහිටියන් මානසික ආතතිය, හෘදයාබාධ, රුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වලින් පීඩා විඳින අතර දරු පරපුර මන්දපෝෂණයට ගොදුරු වී සිටිති. මෙම තරඟය නිසා අද වැඩි වශයෙන්ම පීඩා විඳින්නේ පාසල් යන කුඩා  දරු දැරියන්ය. ඔවුනට උදේට කඩෙන් ෂෝට් ඊට්ස් ද හවසට කොත්තු රොටීද කන්නට සිදු වී තිබෙන්නේ මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙසය. 

එහෙත් මේ කාරණයේදී දක්නට ලැබෙන අවාසනාවන්තම කරුණ වී තිබෙන්නේ කුඩා දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වී තිබෙන්නේ දෙමව්පියන්ගේ නැතිබැරිකම නිසා නොවීමයි. ඔවුන් තම දරුවන් ඒ තත්ත්වයට පත්කර තිබෙන්නේ නොදන්නාකමත් රැවටීමත් නිසාවීමය.

ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනා යල් පැන ගිය වෛද්‍ය උපදෙස් ලබා දෙනු විනා නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වීමක් නොපෙන්වයි. එබැවින් කොළඹ හත ශීත මැදිරි වලට වී සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් වීමෙන් පලක් නොලැබෙයි. අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන් ද (MOH)  විටින් විට නව දැනුමෙන් පෝෂණය කළ යුතුය.

නිවසේ සාදන ආහාර වේල විවිධ විය යුතුය. දරුවාට ප්‍රීයතාවයක් ඇති වන්නේ එවිටය. සෑම දිනකම බිත්තර තම්බා දෙනු වෙනුවට බිත්තර බැද, ඔම්ලට් සාදා දිය හැකිය. රටේ තරුණ හා ළමා පිරිසෙක් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් මෙසේ මන්ද පෝෂණයෙන් හා නීරක්තියෙන් පෙළීම කිසිසේත්ම සුළුවෙන් තැකිය හැකි නොවෙයි. අවසානයේ දුර්වල ජාතියක් බවට , පරාධීන දේශයක් බවට බිඳ වැටුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත් වන්නේ අපමය.

මන්ද පෝෂණය යයි පැවසූ විට එකවර අපගේ මතකයට පැමිණෙන්නේ ඉතියෝපියාව, සෝමාලියාව, ඝානාව වැනි අප්‍රිකානු  රටවල දරුවන්ගේ ස්වරුපයයි. ක්වොෂියොකෝර් හෝ මැරස්මස් වැනි මන්ද පෝෂණ තත්ත්වයන්ගෙන් පීඩිත හා මියෙන දරුවන්ය. නමුත් කෝවොෂියොකෝර්  හෝ මැරස්මස් තත්ත්වයට පත් වීමට පෙර එහි මුල් අවදිවල පසුවන ලක්‍ෂ සංඛ්‍යාත ලාංකික දරු දැරියන්ට පිළියම් යෙදීමට අප වහ වහා පෙරට පැමිණිය යුතුය. 

රටේ ළමා හා තරුණ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් මෙසේ පෝෂණ ඌණතාවයන්ගෙන් පෙළීම නිසා ඔවුන් නිතර කායික රෝග වලට ගොදුරු වී රෝහල් ගත කිරීමට සිදුවන අතර, දුර්වල මානසික වර්ධනයන් ද උරුම වෙති. මෙය විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

සටහන තාරුකා ළිඳකුඹුර