free stats

ඔබ දැන් අම්මා කෙනෙක්. කොහොමද ඒ අත්දැකීම….. අලුත්ම අම්මා කෙනෙක් නම් ඔබට මේ අත්දැකීම් අරුම පුදුම ඒවා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. පැටියාගේ සමහර හැසිරීම් නිසා ඔබ බියටත් කුතුහලයටත් පත්වෙලා ඇති. නමුත් ඒ සියලු හැසිරීම් සාමාන්‍ය ඒවා බව ටික කලක් යන විට වැටහෙන්න පටන් ගනිවී. ඉතින් මේ පුංචි ලිපිය කියවා බලන්න. උපදෙසක් දෙනවාටත් වඩා මේ උත්සාහය ඔබත් සමඟ අලුත් අත්දැකීමක් බෙදාගන්නයි.

  1. බබාගේ හිස ඉතාම සුමුදු මොළොක් හැඩයෙන් යුක්තයි. එහෙම හැඩයක් ලැබෙන්නේ උපතේදී එයාට පහසුවෙන් එළියට එන්නයි. තාම බබාගේ ඇස් දෙක පුංචි ඉරි දෙකක්. නාසයට නිෂ්චිත හැඩයක් නැහැ. හරියට පිනි ජම්බු ගෙඩියක් වගේ. මාස නවයක්ම අම්මාගේ බඩ ඇතුලේ හිටපු නිසා තාම පැටියට ආලෝකය හුරු නැහැ.
  2. දැන් ඉතින් ඔබට බොස් කෙනෙක් ඉන්නවා. කවුරු කියන දේ ඇහුවේ නැතත් බබා කියන දේ නම් අහන්නම වෙනවා. පැටියාගේ නුහුරු බව නිසා අඩන වෙලාවට කවුරුහරි එයා ගාවම ඉන්න ඕන. සමහර විට බබා මුළු රෑම ඇහැරලා ඉදිවී. එහෙම ඇහැරිලා අඬන එකට නම් ඔබට හුරු වෙන්නම වෙනවා. මොකද එයා කාලයක්ම එහෙම අඬනවා.
  3. බබාට අපිරිසුදු වෙන්න දෙන්න නම් එපා. මොකද එයාට තමන්ව පිරිසුදු කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා බබාව නාවන්න. ඒ සඳහා උදය වරුව වඩාත් සුදුසුයි. ඉන් පස්සේ බබාගේ පෙකණිවැල හොඳින් පිරිසුදුව වියලිව තෙත මාත්තු කරලා තියන්නත් අමතක කරන්න එපා.
  4. බබාගේ හිස තදින් අල්ලන්න එපා. එයාගේ හිසේ රුධිර නාල තද වෙන්න හොඳ නැහැ. දැන්නම උඩට වඩාගන්න කලබල වෙන්නත් එපා. මොකද එයාට තාම හිස කෙලින් තියාගන්න තේරෙන්නේ නැහැ.
  5. පැටියාගේ එකම ආහාරය මව් කිරි පමණයි. ඒ නිසා කොතරම් මව් කිරි ප්‍රමාණයක් ඕන ද කියලා හොඳින් විමසිලිමත් වෙන්න. මොකද අඩුවෙන් වගේම වැඩියෙන් ආහාර දීමත් සුදුසු නැහැ. මේ ඉන්නේ අලුත් ලෝකයකට හුරුවෙන තාම ජීවිතය සෙමින් අල්ලගනිමින් ඉන්න ඒ වගේම ඔයාගේ උදව් උවමනා කරන පුංචි පැටියෙක්.
  6. වියළි සම කියන්නේ අලුත උපන් බවට සාක්‍ෂියක්. නමුත් එය වෙනස් වෙනවා. හොඳ තත්ත්වයේ බේබි ලෝෂන් එකක් ගැල්ලුවාට කමක් නැහැ. එයින් පැටියාගේ සමට වඩාත් හොඳ තෙතමනයක් ලැබෙනවා. පැටියාට මව්කිරි දීමත් සමේ ආරක්‍ෂාවට ඉතාම හොඳයි.
  7. ගෙදර ඉන්න අයගේ සෞඛ්‍ය සම්පන්න බව මේ දවස්වල ඉතාම වැදගත්. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතලා බලන්න. කැස්ස සරම්ප වගේ රෝග පැටියාට ඉක්මනින් බෝ වෙනවා. මොකද තවම එයා ඉන්නේ වර්ධනය වෙමින්.
  8. පැටියා හොඳටම අඬනවා නේද… එයා අඬන්නේ එයාට හැමදේම කියන්න තියෙන එකම ක්‍රම ඇඬීම විතරක් නිසා. ඒ ගැන බය වෙන්න එපා. හිතන්නත් එපා. අඬන වෙලාවට හේතුව අවබෝධ කරගෙන පැටියා නලවගන්න බලන්න.
  9. අලුත් බබාලා සෑහෙන වෙලාවක් නිදාගන්නවා. හැබැයි සමහර වෙලාවට පැය දෙකකට විතර පස්සේ ඇහැරෙන්නත් පුළුවන්. හොඳට බඩ පිරිලා නම් බබා ගොඩක් වෙලා නිදාගන්නවා. ඒ නිසා බබාගේ නින්ද ගැන බය වෙන්න එපා.
  10. මහන්සියි, කරදරයි, ආතතිය වගේ ! ඔව් ඒක ඇත්ත. පැටියා එක්ක මේ ගෙවන කාලය අමාරුයි තමයි. ඔබ අලුත්ම අම්මා කෙනෙක් නම් තවත් අපහසුයි. අනිත් අයගේ උදව් ඉල්ල ගන්න. පවුලේ අය එක්ක ඔබේ අනෙක් වැඩ බෙදාගන්න. පැටියෙක් ඉන්න එක වාසනාවක් කියලා හිතන්න.

අන්තර්ඡාලයෙන්

සටහන – චාපා හංසිනි ආටිගල