free stats

අම්මා සහ පැටියා අතර ඇතිවන සංවේදී සබධතාවයේ මූලාරම්භය සිදුවන්නේ පැටියා මව්කුස පිළිසිඳ ගැනීමත් සමඟයි. මේ බැඳීම දරුවාගේ මානසික, කායික හා සමාජීය වර්ධනයට මහත් පිටුවහලක් වේ. මෙයට වඩාත් සමීපතම හේතුව වන්නේ මිනිසා වර්ධනයේ සිටම එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා බැඳීම මෙන්ම දරුවන් සෑම අතින්ම දෙමව්පියන් මත සිය පැවැත්ම තීරණය කිරීම බව කියවේ.

දරුවෙකු ලෙස කලල අවධිය පසු කරමින් සිදු කරන වර්ධනයේ දී දෙමව්පියන් ද අලුත් උපතට අලුත් සාමාජීකයාට අනුව සිය පැවැත්මේ ප්‍රබල වෙනසක් සිදුකරයි. ඇවිදීම, කතා බහ, ආහාර පාන යනාදියේ සිට වෙනත් සමාජ සබධතා පවා වෙනස් වීම මෙයට උදාහරණ වේ. පිළිසිඳ ගැනීමෙන් අනතුරුව සිය දරුවා පිළිබඳව විවිධ සිහින දකින අම්මා කෙනෙකු තුළ විවිධ
හැඟීම් ජනනය වේ. එය දරුවා රැක බලාගන්නේ කෙසේද, දරුවා වෙනුවෙන් කාලය වෙන්කරන්නේ කෙසේද, අනාගතය කුමනාකාර වේද යනාදිය පිළිබඳව දකින සිහිනයි. මෙවැනි සිතුවිලි දරුවා තුළ ට කාන්දුවන අතර එවන් සිතුවිලි නිසා මව තුල සිදුවන හෝර්මෝන වෙනස දරුවා වෙත දැනෙන්නට පටන් ගනියි. එය මව සහ දරුවා අතර සංවේදී සබධතාවයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවකි. දරුවාගේ උපතින් අනතුරුව මව අතින් සිදුවන දරුවාගේ කාර්යයන් තවදුරටත් දෙදෙනා අතර සංවේදි බැඳීමකට හේතුවේ.

බැදීම සහ සම්බන්ධය

දරුවා සමඟ මවට ඇතිවන බැඳීම විවිධාකාරයි. එමෙන්ම එවන් බැඳීම් ඇතිවන්නේ නිරායාසයෙන්. පැටියා හඬන විට, සිනාසෙන විට සහ නින්දට යන විට දරුවා දකින බව තුළ ඒ පිළිබඳව ඇතිවන්නේ සංවේදී හැඟීමක්. එය දෙදෙනා අතර බන්ධනයට හේතු වේ. දරුවා වඩාගන්නා විට, ආහාර කවන විට, පිරිසුදු කරන විට, දෙදෙනා අතර බැඳීම තවදුරටත් තහවුරු වේ. සිට මවගේ සම තම සම මත තෙරපෙන විට දරුවා තුළ ඇතිවන්නේ ආරක්‍ෂාකාරි සමීප හැඟීමකි. මොළකැටි සමට දැනෙන මේ පහස නිසාම තමා සමඟ අම්මා සිටිනවාය යන හැඟීම දරුවා තුළ ඇති වේ.

සෑම විටම මව මුලින්ම හඳුනාගන්නේ මවගේ සුවඳයි. එයට හේතුව වන්නේ දෙදෙනා අතර විවිධ ආකාරයේ ක්‍රියාවලින් නිසා ඇති වන බැඳීම වන අතර නැහැවීම, බඩපිරවීම, නිදි කරවීම ආදිය සිදුවන්නේ මව සිටින විට බව දරුවා හඳුනාගනියි. වේදනාවක් දැනෙන අවස්ථාවලිදි මව තමා අසලට පැමිණෙන බව දරුවා හඳුනාගන්නා නිසා සමහර අවස්ථාවලදී මව සමීපයට ගෙන්වා ගැනීම සඳහා හැඩිමට ද පෙළබේ. එමෙන්ම දරුවා හඬන අයුරින් හේතුව කුමක්ද යන්නත්, බඩගින්න, නිදිමත වැනි අවස්ථාවලදී දරුවා දක්වන ප්‍රතිචාරවල වෙනසත් මවට හොඳින් හඳුනාගත හැකියි. මේ බැඳීම දරුවා සිය කුඩා කාලයේ සිටම මවට දක්වන ලැදියාවට, මව මත යැපීමට දක්වන කැමැත්ත සඳහා හේතුවේ.

මෙම බැඳීම දරුවාගේ සංවර්ධනයට ඉතාම වැදගත් වේ. කුඩා වියේ දී මවගෙන් ලැබෙන ආදරය දරුවා වැඩිහිටිවියට පත්වු විට අනෙක් අයට දක්වන කරුණාවට ආදරයට පවා හේතු වන්නේ ඒ නිසයි. එසේම එවැනි ආදරයක් ලබන දරුවා ඉතාමත් ස්වාධින දරුවෙක් වන බවත් පර්යේෂකයන් පෙන්වා දේ. නිරන්තරයෙන් අවධානය ලබාගැනීම මනුෂ්‍ය ස්වභාවය වන අතර දරුවන් වැඩි වශයෙන් මවගේ අවධානය බලාපොරොත්තු වන බව මෙම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දේ. මවගේ උණුසුම නොමැති විට දරුවාට අපහසුතාවයක් දැනෙන අතර නිරන්තරයෙන් මවගේ උණුසුම බලාපොරොත්තු වේ. එයින් සිදුවන්නේ මව හා දරුවා අතර තවදුරටත් වැඩි බැඳීමක් ඇති වීමයි. මේ උණුසුම නිසි අයුරින් ලැබේ නම් දරුවා වර්ධනය වන්නේ ශක්තිමත් බැඳීමක් සමඟයි.

මව සහ දරුවා අතර බැඳීම දුර්වල වු විට

එය ඉතාම භයානක තත්ත්වයක්. බැඳීම දුර්වල වීම හෝ බැඳීමක් නොමැති විම දරුවාට ඉතාම තදින් බලපායි. එයින් දරුවාගේ වර්ධනය පවා අඩාල වීමට පුළුවන. මෙවැනි දරුවන් භාහිර ස්වරූපයෙන් සාමාන්‍ය පරිදි දක්නට ලැබෙන නමුත් ඔවුන්ගේ ශක්‍යතාවන් පිළිබඳව ගැටළු පවතියි. ඒවා සංවර්ධනය වීම සිදුවන්නේ මවගේ ආදරය මත ඇතිවන සාමකාමී හැඟීම් මතයි. ඔබ විසින් සිටුවන ලද මල් පැලයක් සිහියට නඟාගන්න. එය වර්ධනය වීම සඳහා ජලය, පොහොර, මෙන්ම හිරු එළිය හොඳින් අවශ්‍යයි. මේ සියල්ල නිසි පරිදි ලැබුණත් වර්ධනය වීම සඳහා හොඳ පසක් නොමැති නම් ශාකයෙන් බලාපොරොත්තු වන ප්‍රතිපලය ලබාගත නොහැකියි. සමහර විට සාමාන්‍ය පෙනුමෙන් යුතු වුවත් පිපෙන මල්, සෑදෙන ගෙඩි ආදිය ප්‍රමාණයෙන් බාල විය හැකියි.

දරුවෙක්ට සියලු අවශ්‍යතාවයන් ලැබුණත් නිසි ආදරය සහ රැකවරණය නොලැබෙන්නේ නම් ඇතිවන්නේද එවැනි තත්ත්වයකි. මෙවැනි දරුවන් අධි ක්‍රියාකාරි, නිතර කෑගසන, දරුවන් බවට පත්වේ. එයට හේතුව ඔවුන් වැඩි අවධානයක් බලාපොරොත්තු වීමයි. සමහර අවස්ථාවලදී දරුවා තනිකර දමන නිසා අනතුරු සිදුවීමේ ඉඩකඩක් ද පවති. එවන් අවස්ථාවක දරුවා තුළ ඇතිවන බිය සදාකාලිකව බියපත් වීමට හේතුවන්නට පුළුවන. මව හා දරුවෙක් අතර ඇතිවන බැඳීම මඟින් දරුවෙක් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න හඳුනාගත හැකි වුවත් මෙවැනි අවස්ථාවල ඇතිවන බැඳීම දුර්වල නිසා දෙදෙනා අතර අදහස් හුවමාරුවක් නිසි පරිදි සිදු නොවේ. දෙදෙනා අතර ඇතිවන බැඳීම නියුරෝන වර්ධනයට හේතුවන අතර එයින් හැසිරිම, අනෙකාට ආදරය කිරීම, වේදනාව හඳුනාගැනීම ආදි සංවේදනා වර්ධනය වේ. නමුත් බැඳීම හීන වු විට මෙවැනි තත්ත්වයක් ඇති නොවන නිසා සංවේදී නොවන දරුවන් නිර්මාණය වීමට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් විපරීත හැසීරිම් සහිත දරුවෙක් බිහි කිරීමට සමත් වේ.

බැඳීම් වර්ධනය කරන්නේ කොහොමද?

ප්‍රකෘතිමත් වන්න

ඔබේ සිරුර සහ මනස ප්‍රකෘතිමත්ව තබාගන්න. නිතරම දරුවාට ඒ පිළිබඳව දැනෙන්නට ඉඩ තැබීමෙන් දරුවාට මව පිළිබඳ විශ්වාසය ගොඩනැගේ. පුංචි පැටවා ඔබේ ජීවිතය අලුත් කරන්නට හේතුව වු අන්දම නිතර සිහි කරන්න. දරුවා සමඟ ගෙවන ජීවිතය ඔහු පැමිණිමටත් පෙර සිටම සැලසුම් කරන්න.

ඇත්ත තත්ත්වයට මුහුණ දෙන්න

දරුවාගේ අවශ්‍යතා හඳුනාගන්න. දරුවා කිසිම විටෙක ඔබට හිරිහැරයක් වන්නේ නැත. ඒ දරුවන්ගේ ස්වභාවයයි. ඒ බව වටහා ගන්න. පැටියා හඬන විට එයට වඩාත් සමීප හේතුව හඳුනාගන්නට උත්සහ කරන්න. දරුවන්ගේ මෙවන් හැසිරීම සාමාන්‍ය බව මතක තබාගන්න.

දෙදෙනා අතර හොඳ සබධතාවයක ලක්‍ෂණ

මව කතා කරන විට ඒ සඳහා අවධානය යොමු කරයි නම් එයින් හැඟවෙන්නේ දරුවා මව හඳුනන බවයි. එසේම මව සිනාසෙන විට දරුවා සිනහවකින් පිළිතුරු දේ නම් දරුවා මවගේ සතුට හොඳින් හඳුනයි. දරුවාගේ අවශ්‍යතා හඳුනාගැනීම, හැඩීමට අදාල විවිධ හේතු හඳුනාගැනීම දෙදෙනා අතර බැදීමට හොඳම උදාහරණ වේ.

සටහන චාපා හංසිනි ආටිගල