දරුවෙක් නිර්මාණය වෙන්නේ මවකගේ ඇකයේ වුණත් ඒ දරුවා දවසක සමාජයට නිරාවරණය වෙනවා. සමාජයට නිරාවරණය වුණාට පස්සේ ඔහුට ජීවත් වන්නට සිදුවෙන්නේ සමාජශීලි පුද්ගලයකු ලෙසයි. ඒ නිසාම ඔහු යහපත් සමාජීය පුරවැසියෙක් කරන්න නම්, ඒ කියන්නේ සමාජය ඇතුලේ කොන් වීම හෝ තනිවීම නවත්වන්නට නම් ඔහු කුඩා කාලයේ දීම සමාජශීලී පුද්ගලයකු බවට පත්කිරීම ඉතාම වැදගත් වනවා. විශේෂයෙන්ම අවුරුදු 3 සිට අවුරුදු 5 දක්වා කාලසීමාව දරුවෙක් සමාජශීලී කරන්නට ඉතාම සුදුසු කාලසීමාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ කාලයේ දී දරුවන්ගේ සිත් ඉතාම පිරිසුදුයි. ඒ වගේම මේ ඔවුන්ගේ බුද්ධි වර්ධනයේ හොඳම කාලසීමාව නිසාම ඔවුන් තුළ යම් යම් සමාජීය කාරණා ඔබ්බවන්නටත් පුළුවන්කම තියෙනවා.
අවුරුදු පහට අඩු ළමයෙක් තුළ නිවස, පරිසරය, තමන්ගේ රට පිළිබඳ හැගීම ඇතිකරන්නට හරිම පහසුයි. ඔවුන් මේ කාලෙදි ජීවත් වෙන්නේ කුතුහලයෙන්. ආදරය ගෞරවය වැනි හැගීම් අලුත් අත්දැකීම්වලට හේතු වෙනවා. ශරීරය හා ජීව විද්‍යාත්මක වශයෙන් මොළය තුළ සිදුවන වෙනස්කම් නිසාම දරුවන් තුළ හැගීම් ග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ වැඩිවීමත් එක්කම දරුවා සුවිශේෂි අත්දැකීම් රැසක්ම ලබනවා. මේ අත්දැකීම් දරුවා සමාජශීලි වන්නට හේතුවක්. පවුලේ අයගේ ආදරය සහ දරුවා පිළිබඳව දක්වන අවධානය දරුවාට ඉතාම වැදගත්. එයින් දරුවා සමාජය තුළ දි තමාට හිමිවන අගය කිරීම් පිළිබඳව මුලින්ම ඉගෙන ගන්නවා. දෙමව්පියන්ගේ හා දරුවා අවට සිටින වැඩිහිටියන්ගේ අගයකිරීම් දරුවාට වැදගත් වන්නේ අන්න ඒ නිසයි.
ඉතා කුඩා අගය කිරිමකින් දරුවා ශක්ති සම්පන්න පුද්ගලයකු බවට පත් කරන්නට හැකි බව දෙමව්පියන් අවබෝධ කරගත යුතුයි. ලෝකය දිනු බොහෝ බුද්ධිමතුන්ගේ මෙන්ම දාර්ශනිකයන්ගේ ජීවිත පිළිබඳව සලකා බලන විට කුඩා කාලයේ දී ඔවුන් ඉතා යහපත් අගය කිරීම් මැද සිය ලබා කාලය ගත කළ බව අසන්නට ලැබෙනවා. ළමයෙක් නිවසේ බිත්තිය පුරා අදින සිතුවමකට ලැබෙන අගය කිරීමක් ඔහු පසුකලෙක සාමාජයේ හැසිරෙන්නේ කිනම් පුද්ගලයකු ලෙසට ද යන්න තීරණය වනවා. ඒ වගේම උපන් දින සාදවලදි දරුවන් තමන්ට ලැබෙන තෑගී බෝග ඒ මොහොතේම විවෘත කර බලන්නට දරුවො ආසයි. නමුත් දෙමව්පියන් එයට ඉඩ ලබා දෙන්නේ නැහැ. එයින් දරුවාට අගය කිරීම පිළිබඳව රික්තයක් හටගන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ
“මෙන්න පුතේ මේ තෑග්ග ඔයාට. බලන්න මොනවද තියෙන්නේ කියලා.”
නමුත් දෙමව්පියන් හැමවිටම කියන්නේ
“එපා. උත්සවය ඉවර වෙනකල් ඉන්න” කියලයි.
මෙයින් දරුවා මානසික වශයෙන් පීඩාවට පත් වෙනවා. දරුවාට ඒ මොහොතේ අවශ්‍ය වෙන්නේ අගය කිරීමක්. තමන් කරන ක්‍රියාවට පෙළබවීමක්. එවැන්නක් නොලැබෙන විට දරුවා මානසික පසුබෑමකට ලක් වෙනවා. සමහර විට ඒ මොහොත දරුවා තමන්ගේ ජීවිතයේ ලබන සුන්දරම මොහොත වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා වැල්ලේ නටන විට මඩ අල්ලන විට ඒ තුළින් ඔහු ලබන තෘප්තිය මිල කරන්නට බැහැ. එවැනි අවස්ථාවක අගය කිරීමක් වෙනුවට ප්‍රතික්‍ෂෙප කිරීමක් සිදුවුණොත් දරුවා එයින් පීඩාවට පත්වෙනවා. සමහර විට සමාජයේ දි තමා නියැලෙන ක්‍ෂෙත්‍රයේ දි අලුත් අදහස් ඉදිරිපත් නොකරන, නිරන්තරයෙන් ප්‍රතික්‍ෂෙප වේ යයි බියෙන් පසුවන පුද්ගලයන් බවට පත් වන්නේ එවැනි අයයි. ප්‍රතික්‍ෂෙප වීම දරා ගැනීමට නොහැකි වන්නේ ද ඔවුන්ටයි.
දරුවෙක් බිහි කිරීමට වඩා හදාවඩා ගැනීම වෙහෙසකරයි. එම කාර්යය බොහොම නිර්මාණශීලීව කළ යුතු කාර්යයක්. නිවැරදි දේ දරුවා වෙත නොලැබුණොත් ඔහු පෞර්ෂයෙන් හීන පුද්ගලයකු බවට පත්විම වළක්වන්න බැහැ. අගය කිරීම, පිළිගැනීම, ගෞරවය නොලැබෙන දරුවා මොනතරම් උගතෙක් බුද්ධිමතෙක් වුණත් ඔහු කෝටියක් මැද්දේ මානසිකව ඉතා පීඩාකාරි ලෙස තනිවෙනවා. ඒ තනිවීම විවාහයට, රැකියාවේ සාර්ථකත්වයට වගේම අනෙකුත් සියලු පුද්ගලික හා සමාජීය කාරණා සම්බන්ධයෙන් ඉතාම අහිතකර ලෙස බලපානවා. නිතරන්තරයෙන්ම
“එපා, ඔයාට බෑ”
වැනි
සෘණාත්මක වචන අසන දරුවෙක් තුළ මෙවැනි පෞර්ෂාබාධමය තත්ත්වයන් දකින්න පුළුවන්. එයින් දරුවා මානසිකව හුදකලා වීම නවත්වන්නට බැහැ. ඔහු සමාජයට බිය වු පුද්ගලයෙක් වන්නේ ඉන්පසුවයි.
තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට උත්සහ කරන හැම විටම “මට එපා කියයි ද, බනීද, මට බෑ කියයි ද” බයට පත්වෙලා තමන්ගේ වටිනා අදහස් සඟවා ගන්නා බොහෝ දෙනා ළමා කාලයේ අගය කිරීම් අහිමි වු අය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. සෑම විටම “එපා, ඔයාට බෑ” වැනි වචන වෙනුවට යහපත සහ අයහපත දරුවාට කියා දිය හැකියි. එයින් දරුවා හොඳ නරක ඉගෙන ගන්නවා. ඒ වගේම තමන්ගේ හැකියාවන් හඳුනාගන්නවා. ශක්තිමත් වන්නට උත්සහ
කරනවා.
මනෝ ප්‍රවර්ධන උපදේශිකා
රත්නා පුෂ්පකුමාරි
සටහන චාපා හංසිනි ආටිගල