ගර්භණී සමයේදී ශරීරයේ විවිධ වෙනස්වීම් ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම කාලයේදී ඇතිවන වෙනස්කම් අතර සමෙහි ඇතිවන විවිධ වෙනස්කම් ද හඳුනාගත හැකිය. මේ අයුරින් ඇතිවන සමේ හි වෙනස්කම් නිසා කුස තුළ සිටින දරුවාට අහිතකර බලපෑම් ඇති වේ යැයි මව්වරුන්ගේ සිතෙහි බියක් ඇතිවේ. එම නිසා මෙම කාලයේදී සමෙහි ඇතිවන වෙනස්කම් පිළිබඳව මව දැනුවත් වී සිටීම අවශ්‍ය වේ. ඒ අනුව ගැබිනි සමයේදී සම තුළ ඇතිවන වෙනස්කම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි.
- ගර්භණී සමයේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් වීම නිසා සමෙහි ඇතිවන ස්වභාවික වෙනස් වීම්.
- ගැබිනි සමයට ප්‍රථම වැළදී තිබූ සමේ රෝගවල ඇතිවිය හැකි අඩුවීම් හෝ උත්සන්න වීම්.
- ගැබිනි සමයට පමණක් විශේෂිත වූ සමේ රෝග
හෝමෝන වෙනස් වීමෙන් සමෙහි වෙනස්වීම් හට ගැනීම ඕනෑම ගැබිනි මවකට ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. මෙම තත්ත්වය 90% ක් පමණ මව්වරුන්ට ඇතිවිය හැකි බවත් එමඟින් මවට හෝ කුස තුළ සිටින දරුවාට සංකූලතාවයන් ඇති නොවන බව වෛද්‍ය පරීක්‍ෂණ මඟින් සනාථ වී ඇත. මෙහිදී වඩාත්ම බහුල ලෙස ඇති වන්නේ ශරීරයේ වර්ණය තද පැහැ ගැන්වීම, සම ඇදීම නිසා ඇතිවන කැලැල් සහ රුධිරවාහිනී ප්‍රසාරණය වීමෙන් ඇතිවන අත්පා පිපිහළු වීම, කකුල් ඉදිමීම ආදියයි.
තලෙළු සමකට හිමිකම් කියන ලංකික කාන්තාවන් වැඩි දෙනෙකුට ගර්භණී සමයේදී ශරීරයේ ඇතිවන අවපැහැ ගැන්වීම් වලට භාජනය වීමේ වැඩි ඉඩක් පවතී.
විශේෂයෙන්ම මුහුණ කම්මුල් අවට ඇතිවන කළු ලප සහ බෙල්ල කිහිලි සහ ඉකිලි ප්‍රදේශවල ඇති වන කළු පැහැගැන්වීම සහ ඝණ වීම මේ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. මේ පිළිබඳව බිය විය යුතු නොවේ. එසේම මවගේ තන පුඩු අවට, යෝනි ප්‍රදේශය අවට මෙන්ම පෙකණිවැල ප්‍රදේශයේද මෙවැනි අවපැහැ ගැන්වීම් සිදුවන අතර එයද සාමාන්‍ය අවස්ථාවකි.
ඉහත සඳහන් කළ ආකාරයේ ශාරීරික අවපැහැ ගැන්වීම් ඕනෑම ගර්භණී කාන්තාවකට ඇතිවන අතර එමඟින් කුස තුළ සිටින දරු පැටියාට හානියක් සිදු වන්නේ නැත. මවගේ බර අධික ලෙස වැඩිවන අවස්ථාවලදී සහ නිවුන් දරුවන් ලැබීමට සිටින මව්වරුන්ගේ ශරීරයේ මෙවැනි අවපැහැ ගැන්වීම් වැඩි වශයෙන් දැක ගැනීමට පුළුවන්ය. එවැනි අවස්ථාවලදී මෘදු සබන් වර්ගයක් භාවිතා කරමින් සොදාහැර වියලි බව වළක්වා ගැනීම සඳහා මෘදු බවින් යුක්ත බාහිර ආලේපනයක් භාවිත කිරීම සුදුසුය. එහිදී තදින් ඇල්ලීම නොකළ යුතුය. එසේ කිරීමෙන් තව දුරටත් සම ඝණ විය හැකිය. නිතර හිරු එළියට නිරාවණය වන කාන්තාවක් නම් එයින් ආරක්‍ෂා වීම සඳහා ආලේපනයක් භාවිතා කිරීම හෝ කුඩයක් භාවිතා කිරීමත් වැදගත්ය. ගැබිනි සමයෙන් පසු මෙම තත්ත්වයන් බොහෝ දුරට අඩුවී යයි.
මීට අමතරව දරු ගැබ මෝරන විට උදරයේ සම ඇදීම සිදුවේ. එසේ සම ඇදීම නිසා රෝස පැහැ හෝ දම් පැහැ ලප ඇති වේ. මෙවැනි ලප බොහෝ ගැබිනි මව්වරුන්ගේ උදරයේ මෙන්ම, පියයුරු, අත් ගොබ, කලවා වැනි ප්‍රදේශවලද ඇති විය හැකිය. බොහෝ මව්වරුන්ට මෙවැනි ලප මගින් ශාරීරික විඩා ඇති නොවන අතර සුළු පිරිසකට එම ලප මත තද කැසීමක් ඇතිවේ. ගර්භණී භාවයේ අවසාන මාසයේ දී මවගේ බර ඉතා ඉක්මනින් වැඩි වු අවස්ථාවන් වලදීත්, ප්‍රථම ගැබ් ගැනීමේදීත් මෙම ලප ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. තද කැසීමක් හෝ එම ලප ඉතා ඉක්මණින් වර්ධනය වන අවස්ථාවන් වලදීත් වෛi ප්‍රතිකාර වෙත යොමු වීම අවශ්‍යවේ. එසේ නොමැති නම් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. දරුවා ඉපදීමෙන් පසු මෙම ලප ක්‍රම ක්‍රමයෙන් සුව වී යන හැකි වුවත් සම්පූර්ණ ලෙස සුව නොවේ.
ගැබ් ගැනීමට පෙර මවගේ සමෙහි තිබූ සමහර රෝග ගැබ් ගැනීමත් සමග අඩු හෝ වැඩි වන අවස්ථාවන් තිබේ. ඒ අනුව පොතු කබර රෝගය හා කුරුලෑ වැනි තත්ත්වයන් ගැබ් ගැනීමත් සමග අඩු වන අතර දිලීර රෝග, වෛරස් නිසා ඇතිවන හර්පිස් හෝ ඉන්නන් වැනි සමේ අසාදන වල වැඩිවීමක් සිදු වේ. පරපෝෂිතයන් නිසා ඇතිවන කසානය තත්ත්වයද ගැබිනි සමයේ බහුල ලෙස ඇතිවේ. එහිදී රාත්‍රී කාලයේදී ඇතිවන තද කැසීම සහ රතුපාට බිබිලි ඇඟිලි අතරත්, උදරය හා පියයුරු අවටත් ප්‍රධාන ලෙසම දැකිය හැකි වේ. මෙවැනි අවස්ථාවලදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එස්ම ගැබිනි සමයේ දී ලබා ගන්නා ඖෂධ වර්ග නිසාද සමෙහි යම් යම් සංකූලතා ඇති වේ. එම නිසා වෛද්‍යවරයකු විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අත් බෙහෙත් වර්ග, යම් යම් ශාක පත්‍රවල යුෂ සහ විවිධ ආලේපන වර්ග භාවිතය නුසුදුසුය. එසේ කිරීමෙන් අනතුරුදායක තත්ත්වයක් වුවත් නිර්මාණය විය හැකිය.
ඉතාමත් කලාතුරකින් ගර්භණී සමයේදී පමණක් දක්නට ලැබෙන සමේ රෝග කිහිපයක්ද මේ වන විට හඳුනාගෙන තිබේ.Polymorphics eruption of pregnancy නැමැති තත්ත්වය මේ අතරින් ප්‍රධාන වේ. ඉතා තද කැසීමක් සමග ශරීරයේ පළු මතු වීමක් සිදුවේ. ඒවා උදරයේ අත්පාවල ඇති විය හැකිය. මෙම තත්ත්වය භයානක අවස්ථාවක් නොවන අතර ප්‍රථම දරු උපතේදී සහ ගර්භණී සමයේ අන්තිම සතිවලදී බහුල ලෙසම ඇතිවේ. මෙහිදී වෛi උපදෙස් ලබා ගත යුතුය. එහෙත් ඉතා තද කැසීමක්, සමෙහි වතුර බිබිලි වැනි තත්ත්වයක් ඇති වීම හෝ මුත්‍රාවල වර්ණය වෙනස් වීම වැනි අවස්ථාවක් මේ නිසා ඇති වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතුය. මෙවැනි අවස්ථාවක දී නියමිත ප්‍රතිකාර වෙත යොමු වීමට පෙර රුධිර පරීක්‍ෂාවකට හා වෙනත් පරීක්‍ෂණ වෙත යොමු කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර වෙත යොමු කිරීම යෝග්‍ය වේ.
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බිනරි එස්. විජේනායක මහත්මිය
