free stats

කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව සාමාන්‍ය ජීවිතයේදී අදින පළදින ඇදුම් ඇදීමට නොහැකි වීම ගැබිණි කාන්තාවන්ට තිබෙන විශාලම අභියෝගයක්. ගර්භණී භවට පත් වීමත් සමග ඊට පෙර ඇදුම් තෝරාගත් ප‍්‍රමාණයේ ඇදුම් ඇගට ගැලපෙන්නේ නැහැ. මවක් වීමට සූදානම් වන කාලයේදී දිනෙන් දිනම ශරීරය ප‍්‍රමාණයෙන් හා බරින් වෙනසකට ලක්වෙන නිසාම ඒ වෙනුවෙන්ම සුදුසු ඇදුමක් තෝරා ගැනීම වැදගත් වෙනවා. කුස ටිකින් ටික ඉදිරියට නෙරා පැමිණිමත් සමගම ගැබ් ගැනීමට පෙරාතුව භාවිත කළ ඇදුම් ඇදීම අපහසු වීම සාමාන්‍යයි.

ඔලීවියා කේපන් නම් ඇදුම් නිර්මාණ ශිල්පිනිය පවසන්නේ ගර්භනී සමයේදී පවා කාන්තාවන්ට සැහැල්ලූ විලාසිතාවන් සදහා යොමු විය හැකි බවයි. නමුත් කාන්තාවන් සෑම විටම තමන් ගර්භනී කාන්තාවක් බව පෙනෙන ලෙස විලාසිතා තෝරා ගත යුතු බවත් ඇය පෙන්වා දෙනවා. ඔලීවියා ට අනුව ගර්භණී කාන්තාවන් ඇදුම් තෝරා ගැනීමේදී වර්ණ වලට අනිසි බියක් නොදැක්විය යුතුයි. කළු, තද නිල් වැනි තද පැහැ වර්ණ වලින් ගර්භණී සමයේ සිරුර වඩා සිහින්ව පෙන්වන බව ඇය පවසනවා. එසේම මේ කාලයේදී ඇදෙන සුලූ ඇගට හිර , තද පැහැ කලිසම් වර්ග වෙනුවට කපු මිශ‍්‍ර සැහැල්ලූ ලොකු කලිසම් වර්ග සුදුසු බව ඇයගේ අදහසයි.

ගර්භනී කාන්තාවක් ආරක්ෂා කිරීමත් ඇය පිළිබද විශේෂ සැළකිල්ලක් දැක්වීමත් ඕනෑම සමාජයක පොදු කාරණාවක්. මේ සදහා බාහිර සමාජයට තමන් මවක් වීමට සිටින බව සන්නිවේදනය වන ලෙස ඇදුම් තෝරා ගැනීම අවශ්‍යයි. විශේෂයෙන් පොදු ප‍්‍රවාහන සේවාවන් වල ගමන් කරන කාන්තාවන්ට ආසනයක් පවා දීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ ඇය ගර්භනී කාන්තාවක් බවට හදුනාගත හැකි වුවහොත් පමණයි. ඇගට හිර කුස තද වන ඇදුම් ඇදීමෙන් ගැබිණි මවක් වෙන් කර හදුනා ගැමීම පහසු වන්නේ නැහැ. අක්රා හී රිජ් රෝහලේ පවුල් සෞඛ්‍ය සේවිකාවක වන යිරේන්කි පවසන්නේ වර්තමානයේ ගර්භනී කාන්තාවන් විලාසිතාවක් ලෙසට උදරය පැහැදිලිව පිටතට පෙනෙන ලෙස අදිනු ලබන ඇගට හිර කලිසම් සහ සායවල් නිසා මව නොදැනුවත්වම කුසේ සිටින දරුවාට හානියක් මෙන්ම අපහසුතාවයක් ඇති කළ හැකි බවයි.

එමෙන්ම මෙම කාලයේදී ඇඟට තද වන ඇඳුම් ඇඳීමෙන් ආහාර ජීර්ණය වීමේ ක‍්‍රියාවලියට බාධා වීමෙන් ශරීරයට අපහුතාවක් ඇති වන බවද ඇය පවසනවා. එසේම ගර්භනී සමයේදී සිරුර පුරා රුධිරය හොදින් සංසරණය වීමට ශරීරය හැඩගැසෙන අවධියක්. මේ කාලයේ සිරුරේ ජල ප‍්‍රතිශතය වගේම රුධිර ප‍්‍රතිශතය වැඩිවෙනවා. එමනිසා රුධිර නාලිකා තද වන ලෙස අත් සහ කකුල් හිර වන ඇඳුම් ඇඳීමෙන් මෙම රුධිර සංසරණ ක‍්‍රියාවලියට පවා බාධා සිදු විය හැකි යැයි කැලිෆෝනියා පැසිෆික් වෛද්‍ය සායනය පෙන්වා දෙනවා. ගර්භණී කාලයේදී සිරස් අතර ඉරි සහිත සහ එකම පැහැය අඩු වැඩි වෙමින් යන මෝස්තර සහිත ඇඳුම් මඟින් කාන්තාවන්ට උසැති පෙනුමක් ලබා ගත හැකි බවත් හරස් අතට ඉරි සහිත ඇඳුම් වලින් ශරීරයට මහත පෙනුමක් ලබා ගත හැකි බවත් මෙම සායනයේ විශේෂඥයන්ගේ අදහසයි. වඩා සිහින් පෙනුමක් ලබා ගැනීමට නම් උරහිසට හොදින් තද වන ඇඳුම් සුදුසු යැයිද උරහිසෙන් එල්ලී සිටින ඇඳුම් නුසුදුසු යැයිද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

ගර්භණී මවක් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගැඹුරින් ආශ්වාස කරන නිසා කුස තද වන ලෙසට බෙල්ට් වර්ග ඇඳීම සුදුසු වන්නේ නැහැ. ඇතැම් සායවල සහ බ්ලව්ස් වර්ග වල කුස පෙදෙස තද වන ඉලාස්ටික් වර්ග අඩංගු වනවා. ගර්භණී කාලයේ එවන් ඇදුම් ඇදීමෙනුත් වැලකී සිටීම සුදුසුයි. එමගින් යම් යම් ස්වසන අපහසුතා ඇති වීමේ අවධානමක් තිබෙනවා. මොර්ජොලී ග්රීන්ෆීල්ඞ් හි වෛද්‍ය ස්පොක්මන්ට අනුව ගැබිණි කාලයේදී ඊට පෙර භාවිතයට ගත් ඇඟට හිර යට ඇදුම් වර්ග ඇතැම් කාන්තාවන්ට කුසේ වේදනාවන් ඇති කිරීමට ඉවහල් වනවා. ඒ වගේම මේ කාලයේදී පියයුරුද වර්ධනය වීමක් වන නිසා ගැබිණි මවක් ඒ වෙනුවෙන් සකස් කළ යට ඇදුම් භාවිතයට ගැනීමට ප‍්‍රවේශම් විය යුතුයි.

එසේම ගැබිණි කාන්තාවකට ඇදුම් තෝරාගැනීමේදී රෙදි වර්ගයත් වැදගත් වෙනවා. ගැබිණි කාලයේ පොලියස්ටර් වැනි රෙදි වර්ග එතරම් සුදුසු වන්නේ නැහැ. ඇතැම් රෙදි වර්ග නිෂ්පාදනයේදී අධික සැරකින් යුත් රසායන ද්‍රව්‍ය භාවිත කරන නිසා එවන් රෙදි වර්ග භාවිතයෙන් ඈත් විය යුතුයි. මවක් වීමට සිටින කාන්තාවකට වඩාත් සුදුසුම රෙදි වර්ග වන්නේ කපු වැනි ස්වභාවික රෙදි වර්ගයි. ඒවා භාවිතයෙන් ශරීරයේ ඇති වන කැසීම් මෙන්ම විවිධ සමේ රෝග වළක්වා ගන්න පුළුවන් යැයි මැටර්න්ටික් ප‍්‍රසව හා මාතෘ සායනයේ අධ්‍යක්ෂිකා තාරා එම් බූලූම් ගේ අදහසයි. ඒ අනුව ගර්භණී සමයේදී කාන්තාවන් විලාසිතාවන් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ගැබිණි කාලයට පෙර මෙන් තමන්ගේ සිතැගි අනුව ඇදුම් විලාසිතා තෝරා ගැනීම වෙනුවට මේ කාලයේදී තමාගේත් දරුවාගේත් ආරක්ෂාව සහ සුවපහසුව පිළිබදව සිතා ඇදුම් තෝරාගැනීමට ගැබිණි මවක් සැළකිලිමත් වීම නිරෝගී ගර්භනී සමයක් මෙන්ම නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට අතිශයින්ම වැදගත් වනවා.

දර්ගා දුලාංජලී ධර්මසිරී