free stats

භෞත චිකිත්සකවේදී නිලධාරි කාංචනා විතානගේ

මහමෝදර ශික්ෂණ රෝහල, ගාල්ල,

දරුවෙක් කුසේ දරාගෙන ඉන්න මාස දහයක කාලය කියන්නේ ඔබ ඉතාම පරෙස්සම් වෙන්න ඕනෑ කාලයක්. මේ කාලේදී ඔබේ ජිවන රටාව ගැලපෙන විදියට වෙනස් කරගන්නත් ඔබට සිදු වෙනවා.

අපි මුලින්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ වාහනයක ආසන පටි පැළදීමේදී ප්‍රවේසම් විය යුතු ආකාරය ගැනයි.

දුර ගමන් යන්න පුළුවන් වෙන්නේ කුමන මාසයෙන් පසුව ද?

ගැබිණි සමයේ සිදු වන අනතුරු වලින් සැලකිය යුතු ප්‍රතිශතයකට වාහන අනතුරු වග කියනවා. මේ බොහොමයක් අනතුරු වලදී තත්ත්වය බරපතල වීමට
හේතුව තමයි ආසන පටි පැළඳ නොසිටීම හෝ වැරදි ක්‍රමයට ආසන පටි පැළඳ සිටීම. සමහරුන් අතර වැරදි මතයක් තිබෙනවා ගර්භනී සමයේ ආසන පටි පැළඳීම සිදු නොකළ යුතු බවට, ඇත්තටම සාමාන්‍ය ආකාරයට ගැබිණි ඔබට ආසන පටි පළඳින්නට බැහැ. ඒ සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමයක් තිබෙනවා.

දරුවාට හානියක් නොවන ආකාරයට එය සිදු කළ යුතු ආකාරය තමයි මේ.

ඔබ මුලින්ම Lap Belt එක ඔබේ බඩට පහලින් උකුල ප්‍රදේශය හරහා පැළඳගත යුතුයි. ඉන් පසු Shoulder Belt එක ඔබේ පපු ප්‍රදේශය හරහා යන ලෙස පැළඳිය යුතුයි. මේ කිසිදු අවස්ථාවක Belt එක මඟින් ඔබේ බඳ තද වීම නොවිය යුතුයි. නෙරා ආ කුසෙහි කිසිම ස්ථානයක් Belt එක මඟින් ආවරණය වීම නොවිය යුතුයි. සමහර අය අතර වැරදි අදහසක් තිබෙනවා ආසන පටිය මඟින් බඳ ආවරණය විය යුතු බවට, එය සම්පුර්ණයෙන් වැරදි බව සිහි තබා ගන්න. මොකද එහෙම උනොත් යම් හදිසි අවස්ථාවක ගර්භයට යෙදෙන පීඩනය වැඩි වෙලා ඔබට හානියක් නොවුවත් දරුවාට හානියක් වීමේ ඉඩ තිබෙනවා. ඉතින් මේ ආකාරයට නිවැරදිව පළඳිනු ලබන ආසන පටියක් මඟින් ඔබේත් දරුවාගේත් ජීවිතවලට ඇති වන අවදානම අඩු කරගන්න.

මීළඟට අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ගර්භනී කාලය තුළ ගමන් බිමන් යන්න, එහෙමත් නැත්නම් විදේශ සංචාරවලට සහභාගිවෙන්න සුදුසු ද කියත කාරණාව පිළිබඳවයි.

සංචාරය සහ ගර්භනී තත්ත්වය ගත්තොත් මේ පිළිබඳව විවිධ මත පළවෙනවා, නමුත් දැන් ලබා තිබෙන සමාජ දියුණුවත්, ආකල්ප දියුණුවත් එක්ක මේ තත්ත්වය හුඟක් වෙනස්වෙලා අද බොහෝ කාන්තාවන් ගර්භනී තත්ත්වයට පත් වුනත් රැකියාව කරන කාර්ය බහුල කෙනෙක් බවට සමාජය තුළ පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට විවිධ කටයුතු කරගන්න, එහෙමත් නැත්නම් විවිධ වැඩමුළු, දේශන, විනෝද කටයුතු සඳහා සහභාගී වෙන්න අවශ්‍යතා ඇතිවීම බහුලයි. මේ සඳහා බසය, මෝටර් රථය, වෙනත් ප්‍රවාහන ක්‍රම භාවිත කරන්න සිද්ධ වෙනවා. ලංකාව තුළ පමණක් නෙමෙයි වෙනත් රටවල සංචාරය කරන්නටත් අද ගර්භනී කාන්තාවන්ට සිද්ධවෙලා තියෙනවා.

මෙවන් කාන්තාවන්ට සංචාරය සමඟ මුහුණ දෙන්නට වෙන ගැටලු රැසක් හඳුනාගන්න පුළුවනි. විශේෂයෙන් පළමු මාස තුන තුළ බොහෝ ගර්භනී මවුවරුන්ට වමනය, ඔක්කාරය, කරකැවිල්ල, ඇඟට පණ නැති ගතිය වැනි සුළු අසනීප ලක්ෂණ ගොඩක් තියෙනවා, මේවා සමඟ දුර ගමනක් යන විට කාන්තාවට එන අපහසුතා තව තවත් වැඩිවෙන්න පුළුවනි.

ඒත් එක්කම ගර්භනී තත්ත්වයට පත්වීමත් සමඟ මුත්‍රාශයේ මුත්‍ර දරාගැනීමට ඇති හැකියාව එන්න එන්නම අඩුවෙලා යනවා.

එම නිසා ගර්භනී කාන්තාවට නිතර නිතර මුත්‍ර පහකරන්නට අවශ්‍ය වෙනවා. දුර ගමනක් යනවිට මේවා සලකා බැලීම ඉතා වැදගත්. අපි ලබාදෙන එක අවවාදයක් තමයි මාස තුන සම්පූර්ණ වනතෙක් දුර බැහැර ප්‍රදේශවලට ගමන් බිමන් නොයනවා නම් හොඳයි. එවන් ගමනක් යන්න අත්‍යවශ්‍ය නම් ගමන අතර මැද නවතා විවේකයක් ලබාගෙන ගමන් කිරීමට හැකි පහසු ගමනාගමන ක්‍රමයක් භාවිත කිරීම, විශේෂයෙන්ම දුර බැහැර ගමනක් නම් සැම පැයකට වරක්ම ගමන නවතා ගමන් කිරීම ඉතා සුදුසුයි. එම විවේකයන් තුළදී ආහාර ලබා ගැනීම, දියර වර්ග පානය මුත්‍ර පිට කිරීම කර නැවත සැප පහසුවෙන් ගමන ආරම්භ කරනවා නම් හොඳයි.

විදේශ සංචාරවලදී නම් විශේෂයෙන් වමනය, කරකැවිල්ල මඟ හැරෙන තෙක් අඩුම ගානේ හතරවන මාසය වනතෙක්වත් සංචාරයන් යොදා නොගැනීම හොඳයි.
සංචාරය හා ගර්භනි තත්වය පිළිබද විවිධ මත තියෙනවා.

අපි හතරවන මාසයේ ඉඳලා හත්වන මාසය දක්වා ඒ කියන්නේ සුමාන 14-32, 34 වෙනතුරු වෙන වෛද්‍ය සංකූලතා නැත්නම් ගර්භනී දුර ගමන් යාමට සුදුසු කාලයක් කියලා සඳහන් කරනවා. කාන්තාවට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා කියලා මානසිකවත් තේරුම් ගන්න පුළුවනි. මෙම කාල සීමාවේදිත් ගමන් කරන කොට ගමනා ගමනය සඳහා යොදා ගන්නා වාහනයේ සැප පහසුකම, හැම ගමනක්ම පැයකට පැය එකහමාරකට සීමා කිරීම, ඒ සමගම මුත්‍ර පිට කිරීමට අවස්ථාව ලබාදීම, තරමක විවේක කාලයක් ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ගමන සූදානම් කර ගැනීම ඉතාම යෝග්‍යයි.

ගර්භනී මවක් ගුවන් ගතවීමට විශේෂ අවසරයක් අවශ්‍යද?

නීතියක් ලෙස ගර්භනී කාන්තාවන් ගුවන් ගතවීමේදී ඇගේ ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඇයට ගුවන්ගත වීමට සුදුසුදැයි යන්න ඇතුළත් ලියවිල්ලක් රැගෙන යාම අවශ්‍ය වෙනවා. මෙහිදි දරුගැබට සුමාන 37 ට වඩා අඩු බව සඳහන් කළ යුතුමයි. ඒත් එක්කම ගාරීරිකව ගුවන් ගමනකට සුදුසු තත්ත්වයේ පසුවන බව ද සනාථ විය යුතුයි.

ගුවන් ගමනක යෙදෙනවා නම් වරින්වර ගුවන්යානයේ කැබින් එකේ ඇවිදීම ඉතා යෝග්‍යයයි. නැත්නම් රුධිර කැට ගැසීමකට භාජනය වෙන්න පුළුවනි. ගුවන් යානය අහසේ පියාසර කරනවිට වෙනත් ප්‍රශ්නයක් නැත්නම්, බඳ පටි පැළඳිය යුතු සලකුණ නොමැති නම් කැබින් එකේ ටිකක් ඇවිදීම සහ කකුලට සුළු සුළු ව්‍යායාම කිරීම ඉතා හොඳයි. මෙවන් ගමනකදී ඇති වෙන්න දියර වර්ග පානය සහ මුත්‍ර පිට කිරීම ඉතා වැදගත් වෙනවා.

දියර වර්ග අවශ්‍ය ප්‍රමාණයට ගැනීමෙන් විජලන තත්ත්වය මඟ හැරෙනවා වගේම කකුලට සහ අනෙක් කොටස්වලට සුළු සුළු ව්‍යායාම කිරීමෙන් ගර්භනී තත්ත්වයේදී බහුලව එන ලේ කැටි ගැසීම වළක්වනවා. සාමාන්‍යයෙන් සුමාන 37 සම්පූර්ණ වූ මවකට ගුවන් ගතවීම වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ.

මෙසේ කරන්නේ ගර්භනී කාන්තාවගේ යහපත සඳහායි. ඒ හදිසියේදී දරු ප්‍රසුතියකට අවස්ථාවක් උදාවුනොත් එම පහසුකම් ගුවන් ගමන්වලදී නොමැති නිසා සංචාරයකදී ගර්භනී කාන්තාවක් තමන් ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුමයි. විශේෂයෙන් පානීය ජලය ගැන සැලකිලිමත් විය යුතුයි. මුහුදු ආහාර වැඩිපුර ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. පාචන තත්ත්වයන් මේ වගේ කාලය තුළදී ඇති වීමෙන් කළලය ඇතැම් විට ගබ්සාවීම් වලට පවා භාජනය වෙන්න පුළුවනි. යම්කිසි ආහාරයක් පිටතින් ලබා ගන්නවා නම් එහි සනීපාරක්ෂක ක්‍රමවේදය පිළිබඳව සලකා බලන්න. වතුර වගේ දේවල් තමාට ගෙනියන්න පුළුවනි නම් හොඳයි පිටතින් වතුර ගන්නේ නැතිව.

තවත් මෙතැනදී සැලකිලිමත්විය යුතු තත්ත්වයක් තමයි තමාගේ ඇඳුම් වල තිබෙන පහසුකම්, පහසු ඇඳුම් ඇඳ ගමත් කිරීම ඉතා හොඳයි. ගමනේ සැහැල්ලුව විනෝදය ලබන එකත් ඉතා වැදගත් වෙනවා.

සති 34 න් පසුව දුර ගමන් යන එක ගැන නම් තව ටිකක් හිතන්න ඕන, මොකද දරු ප්‍රසූතියක් වෙන්නට තිබෙන ඉඩකඩ වැඩි නිසා. මේ වගේ වෙලාවට දුර ගමනක් යන්නේ නම් තම ගර්භනී තත්ත්වය සායන සටහන්, වෛද්‍ය වාර්තා ආදිය ද රැගෙනයාම ඉතා වැදගත්. සමහර ස්ථාන වල දරු ප්‍රසූතිය සඳහා පහසුකම් නැති නිසා ඉතා කල්පනාකාරි විය යුතුයි.

ගමනක් යනවිට සති 28 ට පසුව තමන්ගේ වැඩිහිටියෙක් සමග හෝ ස්වාමි පුරුෂයා, මව වැනි දැනුම් තේරුම් ඇති කෙනෙක් සමඟ ගමන් කිරීම ඉතාම සුදුසුයි. සමහර වෙලාවට කුසයේ සිටින දරුවා වටේ තියෙන කළල තරලය හෙවත් කෝෂය කැඩුණොත් දරු ප්‍රසූතියක් වෙන්නට අවස්ථාවක් ඇති වුනොත් තමන්ට තමාව බලා ගැනීමට නොහැකි තත්ත්වයක් ඉස්මතු වෙනවා.

ඒ නිසා, තමා යන ප්‍රදේශයේ තිබෙන දරු ප්‍රසූතිය සඳහා පහසුකම් සලකා බලා දැනුවත්වී යන එකත් වැදගත් වෙනවා. අපේ සමාජය තුළ තිබෙන මිත්‍යා මතයක් තමයි දුර ගමන් යාමෙන් ගබිසාවීම් ඇති වෙනවා කියන එක. දුර ගමන් සහ ගබ්සාවීමත් අතර සෘජු සම්බන්ධතාවක් නැහැ. කාන්තාවකට ගබ්සාවීමේ ප්‍රවණතාවන් තිබෙනවා නම් ඒ පිළිබදව වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා දුර ගමන් වලින් වැළකී ඉන්න කියලා.

ගබ්සාවීමකට හේතුවන ලෙස ලේ වහනයක් ආවොත් වෛද්‍යවරයෙක් කරා යොමුවීමට අපහසුතාව සහ පරක්කුව ගබ්සාවීමකට හේතු වෙන්න පුළුවනි.

නමුත් දුර ගමනක් ගියා කියන කාරණාවයි ගබ්සාවීමයි අතරේ සෘජු සම්බන්ධතාවක් නැහැ. ගබ්සාවීමක් සඳහා ඉතාම අධික තෙහෙට්ටුව විශේෂයෙන් දවස් දෙකක, තුනක දුර ගමනක් යාමේදී ඇතිවන තෙහෙට්ටුව හේතු වෙන්න පුළුවනි.
සාමාන්‍ය ගමනක් බිමනක් ගියාම. රැකියාවට ගියාම, ගබ්සාවීමක් ඇතිවෙන්නේ නැහැ. විශේෂයෙන් ගැබ් ගැනීම එක්ක ත්‍රීවීලර්වල ගියාට, පාරවල්වලදී ගැස්සුනාම ගබ්සාවීමක් ඇති වෙන්නේ නැති බව මතක තබා ගන්න.


සටහන කුසිනාරා අහංගම