free stats

පුංචි දරුවන්ට ආහාර හුරු කරාට පස්සේ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. දරුවන්ට ආහාර හුරු කරන්න පටන් ගන්න මුල්ම කාලේ දිනකට එක් අලුත් ආහාරයක් හඳුන්වාදීම පළවෙනි වැදගත් කාරණය. අපි මේ ගැන කලිනුත් කතා කරලා තියනවා. දිනකට එක් ආහාරයක් අලුතෙන් හඳුන්වා දීමෙන් දරුවාට යම් ආහාරයකට ආසාත්මිකතාවයක් තිබේද යන්න පිළිබඳව හඳුනා ගැනීම පහසුයි.

දෙවෙනි කාරණය තමයි සෑම ආහාරයක්ම දරුවාට හඳුන්වා දීම. උදාහරණයක් විදියට දරුවා අවුරුද්ද අවුරුදු එක හමාර සම්පූර්ණ කරන විට වැඩිහිටියෙක් ආහාරයට ගන්නා සියලුම ආහාර වර්ග ආහාරයට ගෙන තිබිය යුතුයි. අවුරුද්දෙන් පසුව තමයි එයාට බිත්තර සුදු මදය ලබාදෙන්නේ.

ඔවුන් ගන්නා ආහාර සම්බන්ධව ඔබට යම් ගැටලුවක් ඇති වෙනවා නම් පිළිබඳ උපදෙස් ගත යුතු වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ වෛද්‍යවරයා. මීට කලින් දරුවාට ආහාර ලබා දුන්න මවක්, පවුලේ හිතවතියක්, නිවසට යන එන කාන්තාව ක්, හෝ කිසිම වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොමැති කෙනෙක් ගෙන් උපදෙස් ලබා ගැනීම ඔබේ දරුවා දරුණු අවදානමකට පත් කරන්න හේතු වෙන්න පුළුවන්.

මීළඟ වැදගත් කාරණය වෙන්නේ ආදේශක ආහාර නොමැති වීම. බිත්තර වෙනුවට කොස් ඇට, හාල් මැස්සො වෙනුවට කතුරුමුරුංගා කොළ, මේ වගේ ආදේශක සෑහෙන ප්‍රමාණයක් අපේ අම්මලා අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

කොස් ඇට කියන්නේ ඉතාම ගුණවත් ආහාරයක්. ඒ පිළිබඳව කිසිම තර්කයක් නැහැ. හැබැයි වෛද්‍ය නිර්දේශය මත දරුවාට දිනකට බිත්තර තුනක් ආහාරයට දෙන්න කිව්වො ත්, නැතිනම් දිනපතා බිත්තරයක් ආහාරයට දෙන්න කිව්වොත් ඔබට බිත්තර වෙනුවට කොස් ඇට දෙන එක ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද. අපිට සතියේ දවස් හතම වුණත් හාල්මැස්සෝ කන්න පුළුවන්. හැබැයි සතිය දවස් හතම කතුරුමුරුංගා කොළ කන්න පුලුවන්ද.

අන්න ඒ නිසා ආදේශක ආහාර වලට හුරු වෙනකොට ඒ වායේ තියෙන ප්‍රායෝගික බව පිලිබඳවත් අවධානය යොමු කරන එක ඉතාම වැදගත්. මොකද බිත්තරයක් නං අපිට හිතෙන වෙලාවට තම්බලා දෙන්න පුළුවන්. හැබැයි කොස් ඇටයක් හිතන වෙලාවට තම්බලා දෙන්නත් බෑ දරුවෙක් කයි කියලා හිතන්නත් බෑ. අනිත් එක සාමාන්‍යයෙන් බිත්තර අවුරුද්ද ඕනම කලෙක හොයාගන්න පුළුවන්. හොඳ ගුණාත්මක කොස්ඇට හැමදාම හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.

කතුරුමුරුංගා කොළ ගැන වුණත් කියන්න තියෙන්නෙ එහෙම කතාවක් තමයි. සමහර අයට කරුවන්ව කෑවහම උදරාබාධ ඇති වීමේ අවදානමකුත් තියෙනවා. එනිසා ආහාර දෙන කොට ඔබේ පහසුව සහ දරුවාගේ පෝෂණය කියන කාරණා දෙකම බැලුවට කමක් නෑ.

ඒ වගේම දරුවාට රතු මස් ආහාරයට දෙද්දී වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා. ගොඩක් අයට ඌරු මස්, හරක් මස්, එළු මස් වගේ දේවල් අසාත්මිකතා ලක්ෂණ පෙන්වනවා. සමහර විට දරුවාට ඇතිවන මෙවැනි ආසාත්මිකතාවයක් භයානක තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අනිත් එක ගෙදර හැමෝටම රතු මස් කන්න පුළුවන් කියලා අලුත් ඉපදෙන බබාටත් රතු මස් කන්න පුළුවන් කියලා අනුමාන කරන්න බෑ. ඒ වගේම ගෙදර අයට රතු මස් ඇලජි කියලා බබාටත් රතු මස් ආසාත්මික වෙයි කියලා කියන්නත් බෑ.

අපේ ආහාර සංස්කෘතිය ගත්තාම ගොඩක් වෙලාවට ටිකක් බත් වැඩිපුර කන එක සහ එළවළු පලා වර්ග මස් මාළු වර්ග අඩුවෙන් කන එක දකින්න පුළුවන්. අනෙක් අතට සංස්කෘතික සහ ආගමික කාරණා නිසා මස් මාළු සහ බිත්තර වලට තියෙන කැමැත්තේ වෙනසකුත් දකින්න ලැබෙනවා. හැබැයි මස් මාළු සහ බිත්තර කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂක ද්‍රව්‍ය අඩංගු ආහාර වර්ග තුනක්. මේ ආහාර වර්ග වලින් සිරුරට අත්‍යවශ්‍යම විටමින් බී12 ලැබෙනවා. ඒ නිසා ආසාත්මිකතාවයක් නැත්නම් අඩුම වශයෙන් දරුවා වර්ධනය සම්පූර්ණ කරන තුරුවත් ඒ කියන්නේ දරුවාට අවුරුදු 18ක් සම්පූර්ණ වන තුරුවත් එයාට අවශ්‍ය පෝෂණය ලබා දීම නිසි ආකාරව ලබාදීම දෙමාපියන්ගේ වගකීමක්.

වැඩිහිටියෙක් උනාට පස්සේ දරුවා තීරණය කරයි තමන් නිර්මාංශ වෙනවද එහෙම නැත්නම් මස් මාළු ආහාරයට ගන්නවද කියලා. මොකද දරුවාගේ වර්ධනය අඩාල වීමක් සිදු වුනොත් ඒක එයාගෙ බුද්ධි වර්ධනයට, ශරීර වර්ධනයට, වගේම මානසික වර්ධනයටත් බලපානවා. මෙම ආකාර තුනම සිදුවන බලපෑම සමාජීය වර්ධනයේ ගැටලු ඇතිවීමට සෘජුව බලපෑම් කරනවා.