free stats

දන්ත සෞඛ්‍යය කියලා කියන්නේ ලස්සන දත් ටිකක්, සුදු පාටට පිරිසිදුවට තියෙනවා කියන එක විතරක්ම නෙමෙයි. සමහර විට මේ කියන්න යන කතාව අහලා ඔබ පුදුමයට පත්වෙයි. ඇත්තටම ඔබේ දරුවාගේ දන්ත සෞඛ්‍යය කියන්නේ එයාගේ කායික, මානසික සෞඛ්‍යයට වගේම සංවේදී භාවයන් ටත් බලපාන කාරණයක්.

නවතම අධ්‍යයන මඟින් පෙන්වා දෙන විදියට නරක දන්ත සෞඛ්‍යය තියෙන දරුවෙක්ට එයාගෙ අධ්‍යාපන කටයුතු හරියාකාරව කරගෙන යන්න බෑ වගේම, තීරණ ගැනීමේ හැකියාව අතිනුත් එයාලා අනිත් ළමයින්ට වඩා පහළ මට්ටමක තමයි ඉන්නේ. අධ්‍යාපනය අතින් ගත්තත් අනිත් ළමයින්ට වගේ දක්ෂතා පෙන්නන්න මේ දරුවන්ට බැහැ. ඒ වගේම ඔවුන්ට කතාබහ කිරීමේ ගැටලු, නිවැරදි ව අදහස් පෙළගැසීමේ ගැටලු සහ අදහස් ප්‍රකාශ කිරීමේ ගැටලු තිබෙනවා.

මේ පර්යේෂණයෙන් ලැබුණු ධනාත්මක අදහස තමයි එවැනි දරුවන් හොඳ මුඛ සෞඛ්‍යය පවත්වාගෙන යාම සඳහා හුරු කරවීමෙන් ඔවුන් දක්ෂතා සහිත දරුවන් බවට පත් කළ හැකි කියන කාරණය.

ඒ වගේම මේ පර්යේෂණ මගින් “හොද මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න බැරි දරුවන් ඉක්මනින් හෘද රෝගවලට ගොදුරු වන බව” අනාවරණය කරගෙන තිබෙනවා. දරුවා දිනපතා හොඳින් දත් මදින්නෙ නැත්නම්, විදුරුමස් සුපිරිසිදු කරන්න නැත්නම් මෙම දත් සහ විදුරුමස් අතර මැලියම් බැඳීමක් සිදු වෙනවා. මේ මැලියම් වල තිබෙන හානිකර බැක්ටීරියා මගින් හෘදයට සුවිශාල බලපෑමක් සිදු කරන්න පුළුවන්. එම මැලියම්වල තිබෙන බැක්ටීරියා රුධිරය සමඟ ගමන් කර හදවතට ඇතුළු වීමෙන් එහි හෘද වාහිනී වලට හානි කරන අතර ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට හේතු වෙනවා.

මැලියම් බැඳීම වැලැක්වීමට කල හැකි හොදම ප්‍රතිකාරය වන්නේ දිනපතා නිවැරදිව දත් මැදීමයි. ඒ වගේම මාස තුනකට වරක් ළමා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත දරුවා රැගෙන යාම මගින් දත් පරීක්ෂා කරවාගෙන දත් හා විදුරුමස් පිරිසුදු කර ගැනීම කළ හැකියි.

මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ වසරකට සෑම දරුවන් සිය දෙනෙක් ම තම වසරක පාසල් කාලය තුළ පැය පනස් අටක් හෝ පැය අසූවක පාසල් කාලයක් අහිමි කරගන්නා බවයි. එයට හේතුව වී ඇත්තේ මුඛ සෞඛ්‍ය ආශ්‍රිතව ඇතිවන ගැටළු බවත් එය දරුවාගේ අඛණ්ඩ අධ්‍යාපන වර්ධනයට මහත් සේ බලපෑම් කරන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

දරුවන්ට දන්ත කුහර ආශ්‍රිතව වේදනාවන් තිබේනම් ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු සඳහා මූලික අවධානය යොමු කිරීම අපහසුයි. එය ඔවුන්ගේ අධ්‍යාපනික දක්ෂතාවයන් පෙන්වීමට ඇති කරන්නේ දැඩි බලපෑමක්.

ඒ වගේම හොඳ දන්ත සෞඛ්‍යය නොමැතිවීම දරුවාගේ කථන හැකියාවටත් බලපෑම් එල්ල කරනවා. විශේෂයෙන්ම වචන කතා කිරීමේ අපහසුතාවය, මුඛ සෞඛ්‍යය ගැටලු නිසා (දුර්ගන්ධය වැනි) කතා කිරීමට මැලිකමක් දැක්වීම, ඒ නිසාම ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු ඇති වීම, දරුවා සමාජශීලී බවින් ඈත්වීම සිදුවිය හැකියි.

දරුවා නිසි පරිදි සිය මුඛ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු නොකරයි නම් එයින් මුඛයේ තුවාල ඇතිවීම, විදුරුමස්වල තුවාල ඇති සහ ගෙඩි ඇතිවීම, විදුරුමස්වලින් ලේ ගැලීම ආදිය සිදුවීමට ඉඩ තිබෙනවා.

මෙවැනි ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. එයින් පසුව දරුවාගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමත්, හොඳ මුඛ සෞඛ්‍යය ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම සඳහා දරුවාට සහය වීමත් ය.