free stats

සිසෙරියන් සැත්කම කිව්වම සාමාන්‍ය සමාජයේ තියෙන්නේ එතරම් හොඳ මතයක් නෙමෙයි. අම්ම කෙනෙක් උනාම දරු ප්‍රසූතිය වේදනාව දැනෙන්න ඕනේ, එහෙම නැත්නම් අම්මට දරු දුක දැනෙන්නෙ නෑ, සිසේරියන් සැත්කමක් කළාම ජීවිත කාලෙම පරිස්සම් වෙන්න ඕන, ඒ වගේ මතිමතාන්තර රාශියක් සමාජය තුළ තියෙනවා. නමුත් වෛද්‍යවරයෙක් යම්කිසි විශේෂ හේතුවක් නිසා යම් මවකට සිසෙරියන් සැත්කම නිර්දේශ කරනවා නම් අර සමාජ මතය මොකක් උනත් අම්මා සැත්කමට සූදානම් විය යුතුයි.

ඒ වගේම කවුරු හරි අම්මා කෙනෙකුට හිතෙනව නම් සාමාන්‍ය දරු ප්‍රසූතියට වඩා සිසේරියන් සැත්කම මගින් දරුවා බිහි කිරීම පහසුයි කියලා ඒ අම්මට සම්පූර්ණ අයිතිය තියෙනවා තමන්ගෙ වෛද්‍යවරයා එක්ක කතාබහ කරලා තමන් කැමති ක්‍රමයකට දරුවා බිහිකරන්න. ඒ වගේම නිවුන් දරු ප්‍රසූතියක් වගේ අවස්ථාවක සාමාන්‍ය දරු ප්‍රසූතියට වඩා වඩාත්ම සුදුසු වෙන්නේ සිසේරියන් සැත්කම.

කොහොම වුණත් සිසෙරියන් සැත්කම කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්න තරම් නරක, භයානක සැත්කමක් නෙවෙයි.

මේ සඳහා සාමාන්‍යයෙන් මිනිත්තු 45ක කාලයක් ගත වෙනවා. එයට සම්බන්ධ වෙන්නේ සිසේරියන් සැත්කම සහ දරු ප්‍රසූතිය සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙන දක්ෂ වෛද්‍යවරුන්. ඒ සියලු වෛද්‍යවරුන් සහ හෙදියන් ඔබේ දරු ප්‍රසූතිය පිළිබඳව සහ එහි ආරක්ෂාව පිළිබඳව සියලු වගකීම් දරනවා.

සැත්කමින් පසුව අවශ්‍ය සියලු උපදෙස් ලබාදෙනවා වගේම, ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් කරන්නට අවශ්‍ය සියලු ඖෂධ ප්‍රතිකාර, කායික මානසික යෝග්‍යතාවය සඳහා කල යුතු දෑ පිළිබඳ වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනවා.

ඒ වගේම ඔබ සිසේරියන් සැත්කමක් තෝරා ගන්නවා නම් එයට පෙර වෛද්‍යයවරයා හමු වෙලා තමන්ගේ තෝරා ගැනීම සුදුසු ද නැත කියන කාරණය පිළිබඳව ඔබට කතා කරලා තීරණ ගන්න පුළුවන්.

සිසේරියන් සැත්කම සාර්ථක කරගන්න අවශ්‍ය නම් මුලින්ම ඒ පිළිබඳව වෛද්‍යවරයා එක්ක කතා කරලා ඔබට තිබෙන සියලු ප්‍රශ්න සහ ගැටළු නිරාකරණය කරගන්න. ඒ වගේම සැත්කම සඳහා ඔබ රෝහලක් තෝරා ගන්නා විට එම රෝහල සියලු පහසුකම් වලින් සමන්විත හොඳම රෝහලක් වීම අනිවාර්ය යි.

මුලින්ම notebook එකක් අරගෙන සැත්කමින් පස්සේ ඔබේ ජීවිතය ගත විය යුත්තේ කොහොමද කියන එක ගැන පොඩි නෝට් එකක් තියාගන්න. ඔබේ යට ඇඳුම්, උඩට අඳින ඇඳුම්, සැත්කම සිදුකළ ස්ථානයට හානියක් නොවන පරිදි ඇඳීමත් වගකීමක්. ඒ වගේම සැත්කම් තුවාල සුව වන තුරු පිරිසිදුව එම ස්ථානය තබා ගැනීමත් කළ යුතුයි. කිසිම වෙලාවක සැත්කම සිදු කළ ස්ථානය පැසවන්න ඉඩ දෙන්න එපා. ඒ වගේමයි ඉවසන්න බැරි තරම් කැසීමක්, කහ පැහැති ශ්‍රාවයක් නිකුත් වීමක්, දුර්ගන්ධයක් වගේ තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස්වලට යොමු වීම අනිවාර්යෙන්ම කළ යුතුයි.

සැත්කමින් පස්සේ සාමාන්‍ය විදිහටම ජීවත් වෙන්න පුළුවන්. ආහාර වර්ග ගනිද්දී පිරිසිදු පෝෂදායී ආහාර ලබාගැනීමත්, හොඳින් දියර වර්ග පානය කිරීමත් කළ යුතුයි. කෙඳි සහිත ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සිරුරට ශක්තිය ලබා ගැනීමට හේතුවක් වෙනවා. පහසුවෙන් හොයාගන්න පුළුවන් පලතුරු වර්ග, එළවළු වර්ග, ගෙවත්තේ තියන කොළ වර්ග ඕන එකක් ආහාරයට ගන්න පුළුවන්.

තුන්වෙනි වැදගත්ම කාරණය වෙන්නේ සැත්කමින් පසුව ඔබ කායික සහ මානසිකව ශක්තිමත් වීමයි. දින කිහිපයකින් පසු ඇවිදීම, නෑම හා පිරිසුදු වීම කළ හැකියි. දින කිහිපයකට පස්සේ බබාව අරගෙන වෛද්‍යවරයා වෙත යන්න, සායනවලට යන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවල දී නිවසේ අනෙක් අයගෙන් සහාය ලබා ගැනීමත් ඉතාම වැදගත්.

ඔබ ශක්තිමත් මවක්, මව් පදවිය තරම් තවත් සුන්දර පදවියක් මේ ලෝකේ තවත් නැහැ. ඉතින් සිසේරියන් සැත්කමක් කළා කියලා ඔබ සහ දරුවා අතර ඇති වන බැඳීමට එයින් කිසිම බාධාවක් ඇති වෙන්නේ නෑ. බැඳීමක් කියලා කියන්නේ හදවතින් ඇති වන දෙයක්.

දරුවෙක් බිහිකිරීම කියලා කියන්නේ අපි කතා කරන තරම් සරල දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් අපි මාස නවයක් බොහෝ දේවල් හදවතින් ශරීරයෙන් දරාගෙන ඉන්නවා. ඉතින් ඒ බර හිතින් ගතින් සැහැල්ලු වෙන දවසට ඒ වෙනුවෙන් ට තෝරාගත හැකි සෞඛ්‍ය සම්පන්න පහසුම ක්‍රමය තෝරා ගැනීම ඔබේ අයිතියක්.