free stats

මුල් මාස තුන ඇත්තටම ගෙවුනේ හරිම අමාරුවෙන්. වමනය කලන්තෙ කැරකිල්ල අඩු උනේම නෑ. සමහර වෙලාවට මට කෙලින් ඉන්න බෑ. ගොඩක් වෙලාවට ඔෆිස් එකේ අය මගේ තත්වය තේරුම් අරගෙන මට උදව් කළා. අපි අහල පහල අයට නෑදෑයන්ට බබෙක් ලැබෙන ඉන්නවා කියලා නොකිව්වට මට ඇතිවුණු තත්ත්වයන් එක්ක ආයතනයේ අය හැමෝම වගේ ඒ ගැන දැනගත්තා. 

“අනේ මේ දවස් වලට අපිටත් ඔහොම තමයි. ඔයාට මතකද රේඛා ඉස්සර මට කොච්චර වමන ගියාද කියලා”

මාත් ඉන්න තැනම රේකයි එක්ක එහෙම කිව්වේ අමිලා. 

ඒ දවස් වලට සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට කලන්තෙ කැරකිල්ල වමනේ ඇතිවෙනවා. ඒක ඒ තරම් හිතට ගන්න දෙයක් නෙමෙයි. ඒත් ඔයාට ටිකක් අසාමාන්‍ය විදිහට ඔව් දෛනික වැඩ ටික කරගන්න බැරි තරමටම මේ තත්ත්වෙ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක වඩා හොඳයි. 

රේඛා යි අමිලා යි තමයි ඒ දවස් වල ඔෆිස් එකේ මගේ ලඟින්ම හිටියේ. 

“මේ ඇපල් ගෙනාවා. මේකෙන් චුට්ටක් කන්න. ඇඹුලට මොනාහරි කෑවම වමන ගතිය ටිකක් අඩු වෙනවා. ” 

ඇපල් ගෙඩියක් අරන් ආපු කේෂාන් එහෙම කියද්දී අනිත් කට්ටියට හිනා ගියා. 

“අප්පටසිරි මෙයා දන්න දේවල්”

කාවිංග කිවුවෙ හිනා වෙවී. 

“මම දන්න දෙයක් නෑ අනේ. ඔය අපෙ අම්මා අක්කට බබා ලැබෙන්න ඉද්දී කියපු දේවල් තමයි මම කිව්වේ. “

“මොනා උනත් කේෂාන් මැරිකරන කෙල්ල වසනාවන්තයි. දැන්ම ඉඳලා ම හැමදේම දන්නවා කියන්නේ ලොකු දෙයක්” 

ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ. හැමෝම විවාහ වෙනවා නම් අනිත් කෙනාගේ ඕනෑඑපාකම් ගැන දැනගෙන ඉන්න ඕනේ. අපහසුතා අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට තමයි දෙන්නෙක් අතර අන්‍යෝන්‍ය බැදීමක් ඇති වෙන්න ඕන කියලා කියන්නේ. 

දරුවෙක් ලැබෙන්න ඉන්න මුල් මාස කීපය කාන්තාවකට ලේසිපාසු කාලයක් නෙමෙයි. ඒ කාලෙදි එයාට සැමියාගෙන් ලොකු අවධානයක් අවශ්‍ය වෙනවා. ඇත්තම කිව්වොත් එයා ඒක බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමන්ගේ බිරිඳගේ අවශ්‍යතාව, එයාගෙ අපහසුතාව තේරුම් ගන්න පුළුවන් හොඳ සැමියෙක් වෙන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් බිරිඳකට තවත් නෑ. 

සමහර වෙලාවට සැමියගෙන් අතින් හැදෙන තේ උගුරකට, ආදරෙන් අනල කවන බත් කටකට හුඟක් දේවල් වෙනස් කරන්න පුලුවන්. 

ඔබත් විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න පිරිමි කෙනෙක් නම්, දරුවෙක් බලාපොරොත්තුවෙන් තාත්තා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ආදරණීය සැමියෙක් නම්, ඔබේ බිරිඳගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. 

දැන් තාක්ෂණය දියුණු නිසා youtube එකෙන් ගූගල් එකෙන් ඒ විතරක් නෙමේ ෆේස්බුක් එකෙන් පවා ඔබට අලුත් අදහස් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. 

ඔබ බිරිඳ සතුටින් තියන්න හොඳම ක්‍රමය ඔබට හමුවේවි. ඒක අහිංසක ප්‍රාර්ථනාවක් ❤️