free stats

වෛද්‍ය චන්ද්‍රානි ගුණසේකර

පියයුරේ සහ තන පුඩුවේ හැඩය සහ විශාලත්වය කිරි දීමට බලපාන්නේ කෙසේද?

මෙය මවගෙන් මවට වෙනස් වෙයි. තන පුඩුව ගතහොත් එය සමහරවිට කෙටි වීමට හෝ පැතලි වීමට හෝ ඇතුළට ගිලා බැස හෝ පිහිටිය හැකිය.

විවිධාකාර හැඩවල පියයුරු සහ තනපුඩු

Image 1

සෑම මවක්ම මතක තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ ක්‍ෂීරධර කෝඨරක පිහිටා ඇත්තේ ඇරියෝලාවෙන් වට වූ කොටසේ මිස තනපුඩුව තුළ නොවන බවයි.

Image 2

නිසියාකාරව කිරි උරා බීමට නම් ක්‍ෂීරධර කෝඨරක අඩංගු ඇරියෝලාව දරුවාගේ මුඛය තුළට සම්පූර්ණයෙන් ඇතුළු කළ යුතු වෙයි.පූර්ව ප්‍රසව කාලයේදී ගිලුණු තනපුඩුව නිවැරදි කරගැනීමට උපකරණ හෝ මවගේ ඇඟිලි භාවිත කර ඉදිරියට ඇදීම නිශ්ඵල ක්‍රියාවකි. මෙවැනි අවස්ථාවක් ඇති වීට මව විසින් කළ යුතු වන්නේ දරුවා ලැබීමට ආසන්න කාලයේදී හෝ දරුවා බිහි වූ විගස පළපුරුදු සෞඛ්‍ය සේවිකාවකගේ සහාය ලබාගැනීමයි.

දරුවාගේ පළමු කිරි වේලේ සිටම දරුවාගේ මුඛය හොඳින් විවෘත කිරීමටත් ඒ අනුව සම්පූර්ණ ඇරියෝලාව උරා බීමටත් හුරු කළ යුතු වේ. කිහිප වතාවක් මෙය සිදු කළ විට තනපුඩුව ඉබේටම ඉදිරියට ඇදී එනු ඇත. කිරි දීමට ප්‍රථම මවගේ අතේ ඇඟිලි වලින් තනපුඩුව සම්භාහනය කර මඳක් ඉදිරියට ඇදීම යහපත් ක්‍රියාවකි. පියයුරේ කිරි තද වීමට කිසි විටෙක ඉඩ නොහැරිය යුතුයි. එසේ වුවහොත් දරුවාට කිරි පිරී තද වූ ඇරියෝලාව මුඛය තුළට ගැනීම අපහසු වෙයි. එවිට මව විසින් කළ යුතු වන්නේ ඇරියෝලාව දෙපසින් මදක් තද කර කිරි ස්වල්පයක් පිරිසිදු භාජනයකට එකතු කර තබා ඇරියෝලාව ලිහිල් කරගැනීමයි. ලිහිල් වූ බුරුල් වූ ඇරියෝලාවෙන් දරුවාට කිරි උරා බීමට පහසු වනු ඇත. කටට පහසුවෙන් කිරි ගලාගෙන එන විට බිළිඳා තව තවත් කිරි ඉරීමට පෙළඹෙනු ඇත. වෙළඳපොලේ ඇති කිරි එළියට ගැනීමට භාවිත කරන උපකරණය මගින් කිරි එළියට ගෙන එම කිරි බෝතලයක් මගින් දරුවාට පෙවීම සාර්ථක ක්‍රමයක් නොවේ. මන්ද යත් එවිට දරුවා පහසුවෙන් හැන්දෙන් හෝ සූප්පුවෙන් කිරි බී බඩ පුරවා ගැනීම සිදු කරයි. එවිට මවගෙන් කිරි උරා බීමට මැලිවනු ඇත. දරුවා මවගෙන් කිරි උරන විට ලැබෙන උණුසුම, දයාව, කරුණාව, ආදරය දරුවාට නොලැබෙනු ඇත.

කිරි දොවන උපකරණයේ එකම වාසිය වනුයේ උපකරණය තුළ ක්‍රියාත්මක වන අඩු පීඩනය නිසා තනපුඩුව පහසුවෙන් එළියට ඇදී ඒමයි. එවිට එළිය ඇඳුනු තනපුඩුව බබාට ඉරීමට සැලැස්විය යුතුයි. ඉන්පසු අවශ්‍ය නම් මුලින් දොවා පැත්තකින් තැබූ කිරි ටික හැන්දක් හෝ කුඩා කෝප්පයක ආධාරයෙන් බබාට බීමට දිය යුතුයි.

ඉහත සඳහන් කළ ආකාරයට කිරි දීමට අපහසු වුවහොත් තනපුඩුව පිටින් එකක් භාවිත කළ හැක. මුලින් ඇරියෝලාව මදක් තද කර මෙය තුළට කිරි බිංදු කිහිපයක් මිරිකීමෙන් දරුවා කිරි ඉරීමට උද්යෝගී වෙයි. මෙය වෙළදපොළෙන් පහසුවෙන් ලබාගත හැකි වුවත් නිවැරදි ප්‍රමාණය සහ වර්ගය පළපුරුදු සෞඛ්‍ය නිළධාරියෙකුගෙන් අසා දැන ගත යුතුයි. මේ සියලුම ක්‍රම ආසාර්ථක වුවහොත් පමණක් Breast pump භාවිතා කිරීමට පුළුවන. වඩාක් සාර්ථක ක්‍රමය වන්නේ මවගේ අතින් පියයුර සම්භාහනය කර අතින් කිරි දෙවීමයි.

ගිලුනු තනපුඩුව නිසා මවට ඇති විය හැකි සංකූලතාවයක් වන්නේ තනපුඩු පැලීමයි. මෙම ලිපියේ පල කරන ලද දෙවන රූප සටහන නැවත අධ්‍යයනය කරන්න. කිරි උරා බීමේදී මවගේ තනපුඩුව මත දරුවාගේ දිවේ තුඩ පිරිමැදීම හේතුවෙන් එහි මතුපිට සම ගැලවී යාමට පුළුවන. තවද තනපුඩුව ආරම්භ කරන ස්ථානය දරුවා තොල් මගින් තදින් අල්ලා ගැනීම නිසා එහි පැල්මක් ඇති වීමට පුළුවන. ඉතාමත් වේදනාකාරී අවස්ථාවක් වන මෙය හැකි ඉක්මණින් නිවැරදි කරගත යුතුයි.

මෙහිදී පළපුරුදු සෞඛ්‍ය සේවිකාවකගේ සහාය ලබා ගත යුතු වෙයි. නිවැරදිව දරුවා පියයුරට සම්බන්ධ වූ විට මවට කිසිදු වේදනාවක් නොදැනෙයි. පැළුණු තනපුඩුව හරහා විෂබීජ මවගේ පියයුරට ඇතුළු වුවහොත් පියයුරේ ආසාධනයක් ඇති වේ.මෙවැනි තත්ත්වයකදී මවට ශාරීරික අපහසුතා, උණ, පියයුරේ කොටසක් රතු පැහැ ගැන්වීම, තද ගතිය එම කොටසින් කිරි ගලා නොඒම වැනි ලක්‍ෂණ ඇති වේ. මෙම අවස්ථාව ඉක්මණින් නිවැරදි කරගත යුතුයි. අඩුම තරමේ පැය 24 ක් තුළදිවත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. වෛද්‍ය උපදෙස් වන මවට ප්‍රති ජීවක වේදනා නාශක ලබාගත යුතුයි. පියයුරෙන් කිරි ඉවත් කිරීම සිදු කළ යුතුයි. භාවිත කිරීම ආරම්භ කළ පැය 24 ක් පමණ ගත වූ පසු දරුවාට කිරි උරා බීමට දිය හැකි වේ.නිසියාකාරව ප්‍රතිකාර නොකළහොත් ගෙඩියක් දක්වා මෙය වර්ධනය වීමට පුළුවන. එවිට ශල්‍ය වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගැනීම සිදු වනු ඇත.මේ ආකාරයටම පියයුරේ එක් කොටසකට පමණක් සීමා වූ තද ගතිය, රතු පැහැ ගැන්වීම, වේදනාකාරී බව ඇති හේතු වන්නේ ක්‍ෂීරධර කෝඨරක හෝ අදාල ක්‍ෂීර නාලිකා එකක් හෝ කිහිපයක ඇතිවන අවහිර වීමක් නිසා පියයුරේ එම කොටසින් නිසියාකාරව කිරි ගලා නොඒමයි.

Blocked Duct mastitis

මෙය මව විසින් දරුවා නිවැරදිව ස්ථාපිත නොකිරීම සහ දුර්වල සම්බන්ධය නිසා සිදුවිය හැක. කිරි උරා බොන අවස්ථාවේ මවගේ ඇඟිලිවලින් එක දිගටම තදින් පියයුර අල්ලාගෙන සිටීම එක් හේතුවක් වේ. එම නිසා මෙය මඟහරවා ගැනීම සඳහා දරුවා කිරි උරා බොන විට, විටින් විට මවගේ පියයුර අල්ලාගෙන සිටින අතේ ඇඟිලි ලිහිල් කළ යුතු වේ. අනවශ්‍ය පරිදි තද බ්‍රෙසියර පාවිච්චි කිරීමෙන්ද මෙය සිදු විය හැක.

මෙහිදී මව විසින් කළ යුතු වන්නේ කිරි දීමෙන් පසුව ඇඟිලි තුඩු පාවිච්චි කර පියයුර පරීක්‍ෂා කිරීමයි. යම් ස්ථානයක තද ගතියකින් යුත් ගැටිත්තක් ඇති නම් හැකි ඉක්මණින් එම ස්ථානය මදක් තදින් ඇරියෝලාව දෙසට පිරිමදින්න. නැවත ඇරියෝලාව තෙරපීමෙන් එම කොටසින් කිරි දොවා ඉවත් කරන්න. ගැටිත්ත මත අයිස් තබා විනාඩි 10-15 ක් පමණ අල්ලාගෙන සිටීමෙන් මෙය පහසු වේ. එසේ කරගැනීමට අපහසු වුවහොත් ඉක්මණින් වෛද්‍ය උපදෙස් හෝ පළපුරුදු සෞඛ්‍ය සේවිකාවකගේ සහය ලබාගන්න.